චීන මෙගා තානාපති කාර්යාලයට බ්‍රිතාන්‍ය රජයෙන් අනුමැතිය
චීන මෙගා තානාපති කාර්යාලයට බ්‍රිතාන්‍ය රජයෙන් අනුමැතිය
මධ්‍යම ලන්ඩනයේ දැවැන්ත තානාපති කාර්යාලයක් ඉදිකිරිම සඳහා වන චීන සැලසුමට බ්‍රිතාන්‍ය රජයේ අනුමැතිය ලැබී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.
වසර 2018 දී එවකට ස්ටාර්ලිං පවුම් මිලියන 225කට චීනය විසින් මිලදී ගනු ලැබූ වර්ග මීටර් විසිදහසකින් සමන්විත භූමියක එම තානාපති කාර්යාලය ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, එය යුරෝපයේ විශාලතම තානාපති කාර්යාලය බවට පත්වනු ඇතැයිද වාර්තා වේ. එල්ල වූ විරෝධතා හේතුවෙන් මීට පෙර බ්‍රිතාන්‍යයේ පැවති රජයන් කිහිපයක්ම එම සැලසුමට අනුමැතිය ලබාදීම කල් දැමූ අතර, අවසානයේදී ඒ සඳහා අනුමැතිය ලබාදීමට වත්මන් අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ පාලනය පියවර ගෙන තිබේ.
ආරම්භයේ සිටම මේ දැවැන්ත තානාපති කාර්යාලය ඉදිකිරිමේ සැලසුම ආන්දෝලනයකට තුඩු දුන් අතර, ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමේ සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට පාර්ශ්ව රැසක් බ්‍රිතාන්‍ය රජයට අනතුරු අඟවා තිබූ බවද බිබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
තානාපති කාර්යාලයේ ඉදිකිරිමේ සැලසුමට අනුමැතිය ලබා නොදෙන ලෙස ලන්ඩන් නුවර පසුගිය කාලය පුරා අඛණ්ඩ විරෝධතා පවත්වා ඇති අතර, පසුගිය සෙනසුරාදා දිනයේදී විරෝධතාකරුවන් පිරිසක් ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ බව බීබීසී පුවත් සේවය සඳහන් කළේය. චීනයට හිස නොනමනු යැයි සඳහන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් සිය ගණනක් එදින මධ්‍යම ලන්ඩනයේ විරෝධතාවට සහභාගි වූ බවත්, එරට ප්‍රධානතම විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ නායිකා කෙමී බඩෙනොව්ගේ ප්‍රධානත්වයෙන් විරෝධතාව පැවැති බවත් වාර්තා වේ.






