ශ්‍රී ලාංකිකයින්ට වන්දි ලබා ගැනීමේදී සහ යුක්තිය ඉටු කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යංශය වගකීම් නිසි පරිදි ඉටු කර නෑ

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

විදේශ රැකියාවල යෙදී සිටියදී මිය ගිය සහ අනතුරුවලට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ට වන්දි ලබා ගැනීමේදී සහ යුක්තිය ඉටු කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යංශය ඊට අදාළ වගකීම් නිසි පරිදි ඉටු කර නැතැයි, ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
සිය නිරීක්ෂණ මගින් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශය එහිදී ඉතා නොසැලකිලිමත්ව සහ මන්දගාමිව කටයුතු කර ඇති බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව පවසයි.

මැද පෙරදිග රටවල සේවය කරමින් සිටියදී මියගිය සහ ආබාධිත වූවන් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය වසර 10කට වැඩි කාලයක් ප්‍රමාද වී ඇතැයි, අදාළ වාර්තාවේ සඳහන් වේ.

2012 වසරේ සෞදි අරාබියේදී අනතුරකට ලක් වී පූර්ණ ආබාධීත වු පුද්ගලයකු වෙනුවෙන් ලැබිය යුතු වන්දි ලබා ගැනීම වසර 10ක් ප්‍රමාද වී ඇති අතර ඊට අදාළ නඩු ගොනුව අමාත්‍යාංශයේ නොසැලකිල්ල හේතුවෙන් වසර කිහිපයක් අස්ථානගත වී ඇතැයිද, ජාතික විගණන කාර්යාලය පවසයි.

2009 වසරේ කුවේට් රාජ්‍යයේදී ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ අවයව ඉවත් කර ඇති බවට පසුව අනාවරණය වුවත්, එම මරණය සිදුවී වසර 10ක් ගත වුවත්, ඊට අදාළව අධිකරණ වෛද්‍ය වාර්තාවක් මෙතෙක් ලබාගෙන නැතැයි, අදාළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

මේ අතර විදේශ දූත මණ්ඩල සේවය සඳහා විදෙස්ගත වූ පිරිස් වෙත ලබා දෙන නිවාස වෙනුවෙන් තබන ලද ආරක්ෂක තැන්පතුවලින්, රුපියල් පන් කෝටි පනස් හය ලක්ෂ දහ නමදහස් අටසිට හතළිස් දෙකක් තැන්පත් කර තිබෙන්නේ භාවිත නොකරන ලද නිවාස වලට‍යි.

එයින් රුපියල් එක් කෝටි විසිදෙලක්ෂ අනුහයදහස් අටසිය හැත්තෑපහක් වූ තැන්පතු, වසර 20ක් යන තුරු ආපසු අයකර ගැනීමට අමාත්‍යාංශය කටයුතු කර නැතැයි, ජාතික විගණන කාර්යාලය පවසයි.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ විදේශ අමාත්‍යාංශය සතුව තිබී, 2019 වසරේ විදුලි බල අමාත්‍යාංශය වෙත පවරන ලද රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් වටිනා වාහනයක් සහ 2020 වසරේ අපහරණය කරන ලද රුපියල් දෙකෝටි දොලොස් ලක්ෂ පනස් දහසක් වටිනා වාහන 5ක් පිළිබඳව කිසිදු තොරතුරක් මූල්‍ය ප්‍රකාශනවල සඳහන් නොවන බවයි.

2011 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් දූත මණ්ඩලයේ සිදුවූ ඩොලර් 1,583ක සොරකමක්, අදටත් නිරවුල් කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

2021 වසරේ සැප්තැම්බර් සිට 2022 වසරේ නොවැම්බර් දක්වා කාලය තුළ අමාත්‍යාංශය විසින් වැය කළ රුපියල් තුන් කෝටි දහඅටලක්ෂ ලක්ෂ පනස් දහස් එකසිය හැට නමයක් සහ විදේශ දූත මණ්ඩල දෙකක චෙක් පත් දොළහක් වැය කර ඇත්තේ කුමටදැයි, නිශ්චිතව හෙළි නොවන බවද, ජාතික විගණන කාර්යාලය සිය නිරීක්ෂණවල දක්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *