ජාතික සභාවට විවිධ පක්ෂවලින් මන්ත්‍රීවරුන් 27ක්, සජබ 7ක්, ජාජබ, TNA නෑ

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

ආණ්ඩුකරණයට විපක්ෂයද සම්බන්ධ කරගනිමින් රටේ ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවනු ලැබූ ජාතික සභාවට පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලින් මන්ත්‍රීවරුන් 27 දෙනෙකු පත්කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්දා, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර, සමසමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ නායක විමල් වීරවංශ, එක්සත් මහජන පක්ෂ ලේකම් ටිරාන් අලස්, පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල, මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, වතු කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම්, දෙමළ මහජන ජාතික සන්ධානයේ සී.වී. විග්නේශ්වරන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඒ.එල්.එම්. අතාවුල්ලා, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අලි සබ්‍රි යන මන්ත්‍රිවරුන් මෙසේ ජාතික සභාවට පත්කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම, මෙම සභාවේ ප්‍රධාන අරමුණු බව අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීමේ බලයද ජාතික සභාවට හිමිවන්නේ යැයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ජාතික සභාව පිළිබද යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කරමින් කථානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් නම් කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් ජාතික සභාව සමන්විත විය යුතු බව ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් පිරිසකගේ නම් ලැබිය යුතුව ඇතැයිද ඒවා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන්නේ යැයිද කතානායකවරයා මෙහිදී සඳහන් කළේය.

ජාතික සභාව පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පසුගිය 20වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර දෙමළ ජාතික සන්ධානය හා ජාතික ජන බලවේගය එහි නියෝජනය කිරීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේග සන්ධානය හැටියට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන මන්ත්‍රීවරුන් දැනටමත් ජාතික සභාවට නම් කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ සිය පක්ෂයෙන් නම් තුනක් ඊට යෝජනා කරන බවයි. සමගි ජන බලවේගය ජාතික සභාවට කිසිදු විරුද්ධත්වයක් නැතැයි කී හෙතෙම හදිසියේ කළ විමසීම නිසා නම් ලබා දීම පමා වී යැයිද කීය.

ඒ අනුව, පක්ෂයේ කළමනාකරණ කමිටුව මඟින් අදාළ නම් නිර්දේශ කරනු ඇතැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික සභාවක් පිහිටුවීමක් ගැන මුල් වරට සාකච්ඡා වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ අවසන් සමයේ ජාතික එකඟතා ආණ්ඩුවක් යටතේ ඊට සම්බන්ධ වන පක්ෂ නායකයන්ගෙන් සමන්විතව පිහිටුවීමටය.

නව අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය නම් කිරීම එම ජාතික සභාව මගින් සිදුකිරීමට යෝජනා වී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳවද ජාතික සභාව විසින් තීරණය වනු ඇතැයිද එහිදී එම සාකච්ඡාවලට සහභාගි වූ ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කරන්නේ යැයි ජනපති කාර්යාලය පසුගිය අප්‍රේල් මස 29වනදා නිවේදයක් නිකුත් කරමින් පැවසුවේ ඉන් පසුවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *