මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට යයි

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් ටැං යැං තායි මහතා අතර හමුවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මැලේසියානු රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් පිහිටුවීම ගැන අවධානය යොමු කර ඇත.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි 2016 වසරේදී මැලේසියානු පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

එම ගිවිසුම නැවත සලකා බලා කඩිනමින් පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළ පියවර ගැනීමට ඇමැතිවරයා සහ මහ කොමසාරිස්වරයා එකඟත්වය පළකළේය.

විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සදහා වැඩි ශ්‍රමිකයින් පිරිසක් යැවීමටත්,ඔවුන්ට ආරම්භ කිරීමට අපේක්ෂිත මැලේසියානු පුහුණු මධ්‍යස්ථානය හරහා විශේෂ පුහුණුවක් ලබාදීමටත් මෙහිදී අවධානය යොමුවිය.

මැලේසියාවේ ශ්‍රමිකයින් සදහා අවම වැටුපක් හදුන්වාදී ඇති අතර,ලංකාවේ සිට මැලේසියාවට ගොස් රැකියා කරන ශ්‍රමිකයින්ගේ සේවා ගිවිසුම් සදහා එම අවම වැටුප ඇතුළත් කිරීමට හැකි බවද මැලේසියානු මහ කොමසාරිස්වරයා, ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *