කොරෝනා වසංගතයෙන් ඉතාලි ආර්ථිකයට ලොකු ලාභයක්

බ්‍රිතාන්‍ය ආර්ථික විශේෂඥයෙකු වූ තෝමස් රොබර්ට් මල්තුස් පැවසුවේ ආර්ථික සංවර්ධනය සමබර කිරීමට නම් උපත් පාලනය සීමා කර ජනගහන වර්ධනය සීමා කිරීමට පියවර ගත යුතු බවයි. මල්තුස්ගේ ජනගහන දර්ශනය ලෙස ප්‍රකට වූ මෙම න්‍යායය කෙතරම් නරුම දුෂ්ඨිවාදයක්ද යත් සාගත, යුද්ධ හා වසංගත වර්ධනය වීමට සලස්වා ජනගහන වර්ධනය සීමාකර එමගින් ආර්ථිකය සමබර කිරීමට ඔහු යෝජනා කරනු ලැබීය. මෙම ආර්ථික න්‍යාය සනාථ කරමින් ඉතාලියේ l’Istituto nazionale della previdenza sociale (INPS) ආර්ථික ආයතනය කොරෝනා වසංගතය මගින් යුරෝ බිලියන 1.11ක් ලාභයක් උපයා ගැනීමට ඉතාලිය සමත් වූ බවට වාර්තාවක් නිකුත් කිරීමත් සමඟ යුරෝපයේ ලිබරල් පුවත්පත් තුල පවා දැඩි විවේචනයක් එල්ල කරමින් ඇති බව වාර්තා වේ.

2008 ආර්ථික අර්බුදය හේතුවෙන් ලොව පුරා රටවල් තම බැංකු පද්ධතිය ආරක්ෂා කරගනු ලැබුවේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට හා සමාජ සුබසාධනය වෙන් කළ මුදල් දැවැන්ත ලෙස කපා දමමිනි. මෙහි ප්‍රථිපලයක් ලොව සංවර්ධිත රටවල පවා ජනතාව ලෙස කොරෝනා වසංගතය හේතුවෙන් බුරුතු පිටින් මිය ගියේ සෞඛ්‍ය පහසුකම්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩල හිඟ වීම නිසාවෙන් හා රෝහල් තුල ඇතිවූ අධික තදබදය හේතුවෙනි. ඉතාලියේ කොරෝනා වසංගතය හේතුවෙන් එරට ජනගහණයෙන් මිලියන 1.5කට රෝගය වැළඳී, පුද්ගලයින් 153,000ක් මේ දක්වා මිය ගොස් ඇත.

එහෙත් පෙබරවාරි 17 වැනිදා ඉතාලි රජයට සම්බන්ධ l’Istituto nazionale della previdenza sociale (INPS) නම් රාජ්‍ය ආයතනය තම වාර්ෂික වාර්තාවකින් පවසා සිටිනුයේ මිය ගිය 153,000 ක පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි විශ්‍රාම වැටුප් ලැබූ පිරිසක් බවයි. 2020 වර්ෂයේදී විශ්‍රාමිකයින් 79,318 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා නොදුන් අතර එමගින් යුරෝ බිලියන 1.11ක් අදායමක් උපයා ගැනීමට ඉතාලි ආර්ථිකය සමත් වූ බවත් මෙය 2029 වන විට බිලියන 11.9 වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම වාර්තාවේ දක්වා තිබේ.

ජපානයට පසුව ලෝකයේ විශාලතම විශ්‍රාමික ප්‍රජාවක් සිටින රට හා උපත් අනුපාතය අවම ප්‍රතිශතයක පවතින රට වනුයේ ඉතාලිය වේ. (වයස අවුරුදු 65ට වැඩි ප්‍රමාණය 22%ක් හා වයස 80ට වැඩි 7%ක් ලෙස දැක්වේ). එසේම ඉතාලිය තම අභ්‍යන්තර දල ජාතික නිෂ්පාදනයෙන් 16.6%ක් වැයකරනුයේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වේ. කොරෝනා වසංගතය මෙම අගය 14.9% දක්වා 2024 දී අඩුකරනු ඇත.

2035 දී තත්වය සමතුලිත වනු ඇතැයි අපේක්‍ෂා කරනු ලබන අතර විශ්‍රාම යාමේ වයස අඩු වීමත්, රටේ ශ්‍රම බලකාය අඩුවීමත්, වයසට යාමේ ප්‍රතිශතය ඉහළයාම වැනි කාරනා අදාළ අරමුණ සාක්‍ෂාත් කරගැනීමට ඇති බාධා ලෙස එම වාර්තාව පෙන්වා දේ. ඒ සඳහා ඉතාලියේ විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමටද ඒ අනුව රජය බලාපොරොත්තු වේ.

මෙම තත්වය මග හරවා ගැනීම සඳහා පසුගිය 2020 වසරේදී පමණක් සමාජ සුබසාධනය වෙනුවෙන් වියදම් කල යුරෝ බිලියන 510ක අගය අඩු කල යුතු බවටද යෝජනා කර ඇත. විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි ජනගහනය 2030දී ජනගහනයෙන් 26.5ක් වීමට නියමිතය. වයස අවුරුදු 80ට වැඩි වැඩිහිටියන් සංඛ්‍යාව පසුගිය වසර 20තුල 150%කින් වැඩි වී ඇත. ඒ අනුව ඉතාලියේ MARIO DRAGHI රජයේ කම්කරු අමාත්‍යංශය විශ්‍රාම යාමේ කාල සීමාව වයස 64 දක්වා වැඩි කිරීම සඳහා තීරණය කර ඇති අතර ඒ සඳහා රටේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ලබන සතියේ රැස්වීමටද නියමිතය.

කෙසේ වෙතත් ඉතාලි රජයේ මෙම වාර්තාව පිළිබඳව යුරෝපය පුරා සමාජ ජාලාවල දැඩි පිළිකුලට හා විවේචනයට ලක් වී ඇත්තේ කොරෝනා වසංගතය අවසන් නොවූ තත්වයක් තුල විපතට පත්වූ ජනතාව හා ඔවුන්ගේ පවුලේ අයගේ කඳුළු වේලීමටත් පෙර මෙවැනි සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කිරීම නරුම හා දුෂ්ඨ ක්‍රියාවක් ලෙස පෙන්වා දෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *