චීන පොහොර නැවට ඩොලර් ලක්‍ෂ 67ක් ගෙවයි! – යෝජනාව මහින්දානන්දගේ හා අලි සබ්රිගේ

චීනයේ ක්වින්ඩාවෝ සමාගමේ ඝන කාබනික පොහොර ගැටලුවට විසඳුමක් වශයෙන් එම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට දෙසැම්බර් 13 වැනිදා පැවති කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් වූ කොළඹ වාණිජ මහාධිකරණ නඩුව සමථයකට පත්කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව නීතිපතිවරයා එම නඩුව මෝසමක් මගින් කැඳවා මෙම සමථකරණ එකඟතාව අධිකරණයට දැනුම් දීමට නියමිත අතර එය බොහෝ විට මෙම නඩුව නැවත කැඳවීමට නියමිත දෙසැම්බර් 23 දිනට පෙර සිදුකිරීමට නියමිතය.

දැනට වාණිජ මහාධිකරණය මහජන බැංකුවට ලබාදී ඇති එම පොහොර ගනුදෙනුවේ ණයවර ලිපිවලට අදාළ මුදල් නොගෙවීමේ තාවකාලික වාරණ නියෝගය ස්ථීර නියෝගයක් බවට පත්කරනවාද නැද්ද යන්න තීන්දුව ලබාදීමට නියමිත දිනය එය වීම එයට හේතුව වශයෙන් වාර්තා වේ.

චීන සමාගම සමඟ සමථකරණයකට එළඹ එම මුදල් ගෙවීම සම්බන්ධයෙන් වූ යෝජනාව දෙසැම්බර් 13 දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි

වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් මගින්ය. එම දිනයට අදාළ ප්‍රකාශයට පත්කර ඇති කැබිනට් මණ්ඩල තීරණවල මෙම කැබිනට් තීරණය ගැන සඳහන් නොවන අතර මෙම කැබිනට් තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල කාර්යාලය දෙසැම්බර් 14 දින සහිතව රහසිගතයි යනුවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම්වරයා අමතමින් දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් මුදල්, කෘෂිකර්ම හා අධිකරණ අමාත්‍යාංශ කටයුතු කළ යුතු බව එහි පිටපත් යොමු කරමින් දැනුම් දී ඇති අතර ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, නීතිපතිවරයා හා විදේශ කටයුතු අමාත්‍යාංශයටද එහි පිටපත් යොමු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ අලි සබ්රි ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාව ‘පොහොර සම්බන්ධ ආරවුල් මඟහරවා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සංවර්ධනය කිරීම’ යනුවෙන් ඉදිරිපත් කර ඇත. එහි සඳහන් කරන්නේ චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයොටෙක් සමාගම 2021 නොවැම්බර් 09 දින ඉදිරිපත් කරන ලද යෝජනාවකට පසුව එම සමාගමේ නීතිඥවරුන් සහ නීතිපතිවරයා නොවැම්බර් 25 දින සාකච්ඡාවක් පැවැත්වූ බවය. එම සාකච්ඡාව අතරතුර චීන සමාගමේ නීතිඥවරුන් යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවත් එම යෝජනාව සමාලෝචනය කර නීතිපති දෙපාර්තමේන්තුවේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ, එම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් නිරීක්ෂණ ලබාගෙන නැවත චීන සමාගමේ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කළ බවත්ය. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනාගේ නිරීක්ෂණවලට චීන සමාගමේ නීතිඥවරුන් එකඟ නොවන බව දැනුම් දුන් බවයි. ඒ අනුව මෙම ගැටලුව චීන සමාගම යෝජනා කළ ආකාරයට සාමකාමීව විසඳා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නීතිපතිවරයා යෝජනා කර ඇති කරුණු ඔහු සඳහන් කරයි.

ඒ අනුව නීතිපතිවරයාගේ දැනුම් දීම වී ඇත්තේ පොහොර තොගයේ වටිනාකමින් සියයට 75ක් හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් මහජන බැංකුව විසින් ගෙවීම, වාණිජ මහාධිකරණයේ නඩුව අවසන් කිරීම, ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වන කාර්ය සාධන බැඳුම්කර මුදල් බවට පත්කිරීම ආදියය. මෙම සියයට 75ක් වන සමථකරණ මුදල චීන සමාගමේ අධ්‍යක්ෂ ෂොන්ග් හයි මෙයි විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට ඉදිරිපත් කළ ලිපිවලද දැක්වේ.

මහින්දානන්ද ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාව නම් කර ඇත්තේ ‘කාබනික පොහොර ආනයනය කිරීමට අදාලව සීමාසහිත ලංකා පොහොර සමාගම, සීමාසහිත කොළඹ කොමර්ෂල් සමාගම සහ ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමූහ සමාගම අතර ඇති ආරවුල නිරාකරණය’ යන්නය.

එහි දැක්වෙන්නේ මෙම පොහොර ආරවුල වාණිජ මට්ටමින් ඔබ්බට යන රාජ්‍ය තාන්ත්‍රික මට්ටම දක්වා පැතිර ගොස් ඇති බැවින් එය නිරාකරණය සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා, අධිකරණ ඇමතිවරයා හා චීන තානාපති නිලධාරීන් අතර මෙම ගැටලුව සුහඳව විසඳා ගැනීමට සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වූ බවය.

ඒ අනුව නීතිපතිවරයා විසින් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහාත් එම සමථකරණය හේතුවෙන් රජයට ඇතිවිය හැකි ඕනෑම ආකාරයක මූල්‍යමය බැඳීමක් භාණ්ඩාගාරය විසින් දැරීමටත් අනුමැතිය ඉල්ලා ඇත

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *