පොළොන්නරුවේ වකුගඩු රෝහල විවෘතකර දින සිට අද වනතුරු අධ්‍යක්ෂවරයෙක් නැහැ

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැළකෙන පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල විවෘතකර මාස 4කට අධික කාලයක් ගතව ඇතත් මේ දක්වා එම රෝහලට අධ්‍යක්ෂවරයෙක් හෝ පත්කර නොතිබීම ගැන කණගාටුවට පත්වෙන බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දින (17) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

රට පුරා රෝගීන් ප්‍රතිකාර සඳහා එම රෝහලට යන තත්ත්වයක එමෙන්ම වර්තමාන රජය විසින්ම ජාතික වෘක්කවේද විශේෂඥ රෝහල ලෙස නම් කර තිබුණද ඊට දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

”දැන් පොහොර ප්‍රශ්නය ගත් විටත් මම පැහැදිලි කරන්න ඕනේ මම අහගෙන හිටිය මාධ්‍ය තුළත් පාර්ලිමේන්තුවේත් කිහිප තැනකම කියනවා පොළොන්නරුවේ හදපු වකුගඩු රෝහල මේ රසායනික පොහොර ප්‍රශ්නය අවසන් කරලා රටම කාබනික පොහොර වුණහම මේ රෝහල්වලින් වඩක් නැහැ කියල. වකුගඩු රෝගය ගැන කතාකරන විට මේ රටේ වෛද්‍යවරයෙකුගේන් ඇහුවොත් කියයි වකුගඩු රෝග කොච්චර තියෙනවා ද කියල. වකුගඩු රෝග සිය ගාණක් තිබෙනවා. හඳුනානොගත් වකුගඩු රෝගයටම නෙවෙයි පොළොන්නරුවේ වකුගඩු රෝහල හැදුවේ. රට තුළ ජාතික වෘක්කවේද විශේෂඥ රෝහල විදිහටත් රජය නම් කරල තියෙනවා වර්තමාන රජය යටතේ.හේතුව මුළු රටේම රෝගීන් දැන් එතනට යනවා. නමුත් වකුගඩු රෝහල ගැන මම කියන විට ප්‍රධාන වශයෙන් මතක් කරන්නට ඕනේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එය විවෘත කරන්න ගිහිල්ල එදා අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන්ට උපදෙස් දුන්නා මාස තුනක් ඇතුළත රෝහල සියලු සේවාවන් ඉෂ්ට වෙන තත්ත්වයට පත්කරන්න කියල. නමුත් අද වෙන විටත් මෙම රෝහලේ මම ඉතාම කණගාටුවෙන් කියන්න ඕනේ එක්ස්රේ කාමර අද වෙන තුරු ඇරලා නැහැ. රෝහලට අධ්‍යක්ෂවරයෙක් පත්කරලා නැහැ. රසායනාගාර විවෘත කරලා නැහැ. CT ස්කෑන් කෝටි 15ක විතර යන්ත්‍රයක් තියෙනවා. තාම ඒක කාමරේක වහල තියෙනවා. වකුගඩු බද්ද කරන්න ඔපරේෂන් තියටර් හයක් තියෙනවා. අද වෙනකන් ඒවා ක්‍රියාත්මක නැහැ. අඩු වශයෙන් රෝහලට අධ්‍යක්ෂවරයෙක් පත් නොකිරීම ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. මේ රටේම ජනතාව පොළොන්නරුවේ වකුගඩු රෝහල දිහා බලාගෙන ඉන්නවා ප්‍රයෝජන, ප්‍රතිකාර ගැනීම සඳහා. පසුගිය සතියේ සෞඛ්‍ය ඇමතිතුමා හමුවුණ විටත් මේ තත්ත්වයන් පැහැදිලි කළා. මේ තිබෙන ප්‍රශ්න වලදී අපි විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග ඉතාම වැදගත් වෙනවා මේ සම්බන්ධයෙන් කොයි විදිහටද කටයුතු කළ යුත්තේ කියන කාරණාවේදී.” ලෙස හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *