මුහුදු මාර්ගයෙන් පිරිසක් කැනඩා යවන්න හැදූ ජාවාරම්කරු ඇතුළු 08ක් යළි රිමාන්ඩ්

මුහුදු මාර්ගය ඔස්සේ පිරිසක් කැනඩාවට රැගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු 8 දෙනෙකු මෙම මස 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් අද (12) හලාවත දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

පසුගිය 09 වනදා බහුදින යත්‍රාවකින් මුහුදු මාර්ගය ඔස්සේ කැනඩාව දක්වා රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයන් 19 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නැවත හලාවත වෙරළට පැමිණ සිටිය දී නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබිණි.

එම පිරිස කැඳවාගෙන යාම සඳහා පැමිණි වෑන් රථයේ රියදුරු, රිය සහායකවරයා, කාන්තාවක් සහ කුඩා දරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර විය.

විමර්ශන වලින් අනතුරුව මෙම පිරිස මුහුදු මාර්ගයෙන් බහුදින යාත්‍රාවලින් රැගෙන ගිය  පස් දෙනෙකුව ද පොලීසිය විසින් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී කුඩා දරුවන් තිදෙනාව නඩු කටයුත්තෙන් මුදා හැරීමට දිසා විනිසුරුවරයා නියම කරන ලදී. සෙසු සැකකරුවන් 12දෙනා සහ සැකකාරියව රුපියල් ලක්ෂ 5 බැගින් වන පුද්ගල ඇප 2ක් මත මුදා හැරීමට දිසා විනිසුරුවරයා නියම කර ඇත.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ ප්‍රබලයෙකු බව විමර්ශනවල දී අනාවරණ වී තිබේ.

කන්නන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු බෝම්බ පිපිරවීම් රැසක් සිදුකර ඇති අයෙකු බවට ද හඳුනාගෙන තිබේ.

ඔහුට එරෙහිව මහනුවර ඇතුළු අධිකරණ කීපයකම නඩු විභාග වන නමුත් කාලයක් මැලේසියාවට පැන ගොස් ජීවත් වී ඇති ඔහු නැවත මෙරටට පැමිණ මිනිස් ජාවාරම්වල නිරත වී ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

සැකකරු මීට පෙර අවස්ථාවකදී ද 22 කුගෙන් සමන්විත කණ්ඩායමක් මුහුදු මාර්ගය ඔස්සේ මෙරටින් පිටකර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

ඔවුන් දැනට ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *