පසක් හැදෙන්නෙ හැටි – ආචාර්ය වර්ෂි දන්දෙණිය

පසක් හැදෙන්නෙ හැටි - ආචාර්ය වර්ෂි දන්දෙණිය

පසක් හැදෙන්නෙ හැටි - ආචාර්ය වර්ෂි දන්දෙණිය

පසක් හැදෙන්නෙ පාෂාණ ජීර්ණය වීමෙන් බව ආචාර්ය වර්ෂි ශ්‍යාමිලා දන්දෙණිය පවසනවා. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියයි. කාලයත් සමග පාෂාණ ජීර්ණය වීමෙන් පස නිර්මාණය වන අතර කල් යත්ම පාංශු පැතිකඩක වෙනස් කලාප හදුනාගන්න ලැබෙන බවයි සඳහන් වන්නේ.

“උඩින්ම ඇත්තේ වයසින් වැඩි පසක් වන අතර යටට යන විට මාතෘ පාෂාණ ද්‍රව්‍යයත් සමග මුහු වූ අලුත් පස් තිබෙනවා. උඩ නොඑසේනම් මතුපිට පසේ ඛනිජ බොහෝ දුරට ජීර්ණය වෙලා තියෙනවා. නමුත් පහල ස්ථර වල පස අඩුයි, පාෂාණ කොටස් වැඩියි. පසේ ඛනිජ ජීර්ණය වී ඇති තරම අනුව ඒ ඒ පසේ ඇති මූලද්‍රව්‍ය සංයුතිය වෙනස්. පස නිර්මාණය කියන්නෙ සංකීර්ණ ක්‍රියාවලියක්. මාතෘ පාෂාණය ජීර්ණයට අමතරව තව බොහෝ ක්‍රියාවලීන් අඩු වැඩි වශයෙන් සිදුවන නිසා පාංශු විවිධත්වය ඉහලයි” යනුවෙන් අචාර්ය දන්න්දෙණිය පවසනවා.

“පාංශු පරීක්ෂණ වලට යොදාගැනීමට පෙර අපි පාංශු නියැදිය මිලිමීටර 2ක විවර ඇති පෙනේරයකින් හලනවා. ඒ පස කියල අපි හදුන්වන්නෙ මිලිමීටර 2කට වඩා විශ්කම්භයකින් අඩු පාංශු ද්‍රව්‍යය නිසා. ඉතින් එකම මාතෘ පාෂාණයක් මත නිර්මාණය වුනත් ගැඹුරත් එක්ක පසේ රසායනික සංයුතිය වෙනස් වෙනවා” යයි සඳහන් කරනවා.

“පස පිළිබඳව සමහරක් අය අහන ප්‍රශ්නය දිහා බලමු. මතුපිට පසේ යම් මූලද්‍රව්‍යයක සාන්ද්‍රනය වැඩි වූ පමණින් එය පිටින් එකතු කළ දෙයක් කියන්නට හැකිද. උත්තරයනම් එසේ සරලව කිව නොහැකියි යන්නයි. එයට හේතු ගණනාවක් තිබෙනවා” යි පවසන ආචාර්ය වර්ෂි දන්දෙනිය ඒවා ප්‍රධාන, මූලික කරුණු තුනක් මත බව පෙන්වා දෙනවා.

ඇය මේ පිළිබඳව කරුණු තුනක් පමණක් දක්වනවා.

1. මුලින් කී ලෙස ඛනිජ ජීර්ණය වී ඇති ප්‍රමාණය පස තුළ ඒකාකාර නැහැ. සමහර මූලද්‍රව්‍යවල සුලභතාව මතුපිට පස්වල එනිසා වැඩිවෙන්න පුලුවන්.

2. ශාක වර්ධනය වන විට විවිධ ගැඹුරට විහිදී යන මුල් පද්ධතිය මගින් උරාගන්නා පෝෂක සහ වෙනත් මූලද්‍රව්‍ය ශාකයේ ඉහලට ගමන් කරනවා. ශාක පත්‍ර පතනය මගින් මෙම සියලු මූලද්‍රව්‍ය නැවතත් පසට එකතු වෙනවා. එම නිසා ශාක හේතුවෙන් මතුපිට ස්ථරයේ ස්වභාවිකවම මූලද්‍රව්‍ය සාන්ද්‍රණය උපස්ථරයට වඩා වැඩි වෙනවා.

3. දේශගුණික තත්ත්ව, පස තුළ ජල වහන රටාව, ක්ෂරණය සහ විවිධ ක්‍රියාවලීන් නිසා පස තුළ මූලද්‍රව්‍ය පවතින ස්වරූපය සහ ඒවායේ ව්‍යාප්තිය වෙනස් වෙනවා.

උදාහරණයක් ලෙස කැල්සයිට් වැනි ඛනිජ අඩංගු පාෂාණ ජීර්ණයෙන් කැල්සියම් අයන පසට එකතු වෙනවා. නමුත් පසේ භූ ගත ජල මට්ටම නොගැඹුරු ප්‍රදේශවල හෝ කාල වල (වැසි අධික කාල වල) මෙම කැල්සියම් වැනි අයන ජලයේ පවතින අතර ජල වාශ්පීකරණය වැඩි කාලවලදී මෙම ජලයත් සමග මතුපිට පස වෙත පැමිණ එහි සාන්ද්‍රණය වෙනවා. මන්ද යත් ජලය වාෂ්ප වූවත් අයන වාෂ්ප නොවෙන නිසයි. ඉතින් සමහර ප්‍රදේශවල මතුපිට පසේ කැල්සියම් සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය සුලභතාව උපස්ථර පසට වඩා වැඩියි. එනිසා කැල්සියම් වැඩිවුනේ බාහිර යෙදවුම් නිසා කියා අපි කියන්නේ නෑ.

මේ කරුණු නිසා බැර ලෝහද ඇතුලුව බොහොමයක් මූලද්‍රව්‍යවල සාන්ද්‍රණය ස්වභාවයෙන්ම මතුපිට පසේ වැඩියි උපස්ථරයට වඩා”

බාහිර යෙදවුම් නිසා යම් මූලද්‍රව්‍යයක් එක්වූවාදැයි කිව හැකිද යන්නද ඇය පැහැදිලි කරමින් පවසන්නේ එසේ විය හැකි බවයි.

“විධිමත් පරීක්ෂණ තුළින් එය කිව හැකියි. නමුත් ඒ සදහා එක් පසක මතුපිට සිට ගැඹුරට යම් මූලද්‍රව්‍යයක ව්‍යාප්තිය පමණක් බැලීම ප්‍රමාණවත් නැහැ. ඒ සදහා මිනිසාගේ බලපෑම අවම වශයෙන් ඇති එම පරීක්ෂාවට ලක් කරන ක්ශේත්‍රයට ආසන්නවම පිහිටි එකම geoponics එකක පසක එම මූලද්‍රව්‍යයේ ව්‍යාප්තිය සමඟ සංසන්දනය කළයුතු වෙනවා.

එපමණක් නොවෙයි එම ප්‍රදේශයේ එම පාංශු කාණ්ඩයට අදාළ බේස් ලයින් අගයන් සමග සංසන්දනය කර ගණනය කිරීම් කළයුතු වෙනවා”

විද්‍යාත්මක පත්‍රිකාවක පර්යේෂණ පළකරන විට මෙලෙස ක්‍රමවත් විශ්ලේෂණ කර ඇත්දැයි බලන බවත් මීට අදාල පර්‍යේශන පත්‍රිකා දෙකක් උපුටමින් ඇය සඳහන් කර ඇත්තේ “මගේ උගත් මිතුරන්ට ඒවා කියවීමට තරම් ඉංග්‍රීසි දැනුමක් සහ සංයමයක් ඇතැයි සිතමි” යි පවසමින්.

– A5

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *