දිනෙන් දින ලෝකය අල්ලන කොරියානු වෙබ්ටූන්ස් (Manhwa)

දිනෙන් දින ලෝකය අල්ලන කොරියානු වෙබ්ටූන්ස් (Manhwa)

දිනෙන් දින ලෝකය අල්ලන කොරියානු වෙබ්ටූන්ස් (Manhwa)

පසුගිය වසරේ නොවැම්බර් මස 3 වන දින කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් වෙනස් ආකාරයේ මුව ආවරණයක් පැළඳගෙන නීල මන්දිරයේ පැවති රැස්වීමකට සහභාගිවනවා. මේ මුව ආවරණය නිෂ්පාදනය කරලා තිබුණේ කොරියාවේ සංස්කෘතික අමාත්‍යාංශය විසින්. අළු පැහැය මිශ්‍රවුණ නිල් රෙදි කඩකින් මසා තිබූ මේ මුව ආවරණයේ අතිශය ජනප්‍රිය වෙබ්ටූන් කතාවක් වුණ TEN හි ප්‍රධාන චරිතයේ රූපයක් මුද්‍රණය කර තිබුණා.

තමා මෙවැනි මුව ආවරණයක් පැළඳීමට හේතුව සඳහන් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ දිනෙන් දින ලෝකය පුරා ජනප්‍රියවන කොරියානු වෙබ්ටූන් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තමාගේ අරමුණ වූ බවයි. කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් කොරියානු වෙබ්ටූන් කර්මාන්තය විශාල ප්‍රගතියක් ඇති බවත් එය මේ වනවිට ගෝලීය වශයෙන් ද අතිශය ජනප්‍රිය වෙමින් පවතින බව ඔහු පවසා සිටියා. එමෙන්ම කොරියානු කලාව හා සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීමේ කොරියානු රැල්ලේ (Korean Wave/Hallyu) ප්‍රධාන අංගයක් ලෙස වෙබ්ටූන්ස් හඳුනාගෙන ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මොනවද මේ වෙබ්ටූන්ස්?

වෙබ්ටූන්ස් යන වචනය බිහිවන්නේ 2003 වසරේ දකුණු කොරියානු web portal එකක් වන Daum විසින් නොමිලේ වෙබ්ටූන් සේවාව ඇරඹීමත් සමඟයි. Daum අනුගමනය කරමින් තවත් web portal එකක් වන Naver විසින් 2004 වසරේදී වෙබ්ටූන් සේවාවක් අරඹන අතර ඔවුන් 2005 වසරේදී Line Webtoon නමින් වෙබ්ටූන් සඳහා වෙබ් අඩවියක් අරඹනවා.

මෙම සමාගම් දෙකේ එවක අරමුණ වුණේ ආදායම් උපයනවාට වඩා වෙබ්ටූන්ස් මගින් තමන්ගේ වෙබ් අඩවිවලට වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීම. නමුත් ගෙවුන දශකය පුරා වෙබ්ටූන්ස් අතිශය ජනප්‍රිය වන අතර සමාගම්වලට ඉතා විශාල මුදලක් උපයා දෙන කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා.

2010 වසරේ සිට වෙබ්ටූන්ස් සඳහා ඉංග්‍රීසි පරිවර්තන ලබාදීම මෙන්ම smart phone සහ Tabletවල විකාශනයත් මෙයට උපකාරී වුණා. කොරියානු වෙබ්ටූන්ස් smart phones මගින් පහසුවෙන් කියවීමට හැකිවන ලෙස ප්‍රකාශයට පත් කිරීම එයට හේතුවයි. එමෙන්ම කතාවට අදාල වන ලෙස සංගීතය සැපයීම මෙන්ම එක් එක් පරිච්ඡේද අවසන් වූ පසු කතාව කියවන වෙනත් පාඨකයන් සමඟ අදහස් හුවමාරු කරගන්නට හැකිවීමත් වෙබ්ටූන්ස් ජනප්‍රිය වන්නට හේතූන් ලෙස දැක්විය හැකියි.

දකුණු කොරියානු සංස්කෘතික අමාත්‍යාංශයට අනුව ගෝලීය කොමික් වෙළෙඳපොළේ පස්වන තැන එරටට හිමිව තිබෙනවා. මේ වන විට ඇමරිකාව, ජපානය ඇතුළු ලෝකයේ රටවල් රැසක වෙබ්ටූන්ස් බොහෝ ජනප්‍රිය වී තිබෙනවා. The Economist සඟරාව වෙබ්ටූන්ස් හඳුන්වන්නේ දකුණු කොරියාවේ නවතම සංස්කෘතික අපනයනය ලෙසයි. 2020 වසරේදී වෙබ්ටූන්ස් වෙළෙඳපොළේ ප්‍රමාණය දකුණු කොරියානු වොන් ට්‍රිලියනයක් (ඇමරිකානු ඩොලර් මිලියන 845) පමණ වූ බව වාර්තා වෙනවා.

වෙබ්ටූන්ස් මේ ආකාරයෙන් ජනප්‍රිය වන්නට තවත් හේතුවක් වන්නේ ඒවා ආශ්‍රයෙන් ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිශ්පාදනය වීමයි. එලෙස වෙබ්ටූන්ස් ආශ්‍රයෙන් නිශ්පාදනය වූ නාට්‍ය කිහිපයක් වන True Beauty, What’s Wrong with Secretary Kim, Itaewon Class, Cheese in the Trap, Hell is Other People, Love Alarm, Memorist, Mystic Pop-Up Bar, Extraordinary You, Nevertheless හා My ID is Gangnam Beauty විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තා.

Naver Webtoons, Daum Webtoons, Toomics, KakaoPage හා Lezhin Comics වෙබ්ටූන්ස් කියැවීම සඳහා ඉතාම ප්‍රචලිත වෙබ්අඩවි කිහිපයක් වනවා.

Webtoon වෙළෙඳ⁣පොලේ විවිධත්වය සහ විශාලත්වය මැනවින් තේරුම් ගෙන සිටින කොරියාව නිර්මාණකරනයේ හැකියාව ඇති ලොව පුරා විසිර සිටින නිර්මාණකරුවන්ගේ නිර්මාණ ද පල කරනවා.

ශ්‍රී ලාංකේය නිර්මාණ ශිල්පිනියක් වන අචින්ත්‍යා අමරකෝන්ගේ This Fluffy Love නම් නිර්මාණය දකුණු කොරියානු වෙබ්ටූන් ආයතනයක් වන Toomicsවලට අනුබද්ධ Lalatoon නම් ඇප් එකෙන් කියවන්න පුළුවන්.

නිර්මාණශීලීත්වය මනාව කළමනාකරණය කරගැනීමෙන් ආර්ථික වාසි ලබාගන්නා දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ද විශාල ආදර්ශයක් ලබා ගත හැකියි.

– Methmalie Dissanayake(Fb)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *