ඇෆ්ගනිස්ථානයේ බලය නැවතත් තලේබාන් සංවිධානයට – ජනාධිපති ටජිකිස්තානයට පළා යයි

Taliban fighters stand on a vehicle along the roadside in Kandahar on August 13, 2021. (Photo by - / AFP)

ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමට මේ වනවිට තලේබාන් සංවිධානය සමත් වී තිබෙනවා. ඊයේ දිනයේදී එම සංවිධානයේ සාමාජිකයන් අගනුවර ඇතුළු වී රාජ්‍ය මර්මස්ථාන ඔවුන්ගේ යටතට පත්කර ගැනීමට කටයුතු කළේය.

තලේබාන් සාමාජිකයන් බලයට තහවුරු කර ගැනීමට පැය කිහිපයකට පෙර ජනාධිපති අස්රෆ් ඝානි මහතා ටජිකිස්තානය වෙත පළාගොස් තිබෙනවා.

බලය තහවුරු කර ගැනීමෙන් පසුව තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු අල්-ජසීරා වෙත පවසා තිබෙන්නේ ඉතා ඉක්මනින් රජයක් පිහිටුවා රට සාමාන්‍ය තත්වයට පත් කරන බවයි. රටේ නිදහස හා ජනතාවගේ ස්වාධීනත්වය වෙනුවෙන් තම සංවිධානය අපේක්ෂා කළ තත්වය ලඟාකර ගැනීමට සමත් වී ඇති බවත්, වෙනත් පුද්ගලයන්ගේ අවශතා වෙනුවෙන් ඇෆ්ගන් ජනතාවගේ ඉඩම් භාවිතා කිරීමට මින්පසු කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් ඔහු පවසා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් සහ විදෙස් ජාතිකයන් මේ වනවිට යුහුසුලුව ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට කටයුතු කරමින් සිටින අතර මේ නිසා කාබුල් අගනුවර ගුවන් තොටුපල තුළ දැඩි තදබදයක් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින විදෙස් ජාතිකයන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ රටවලට යාමට අවස්ථාව ලබාදෙන බව තලේබාන් සංවිධානය මීට පෙර අවධාරණය කර තිබිණි.

මෙරට විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ ඇ‍ෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කරමින් සිටින බවයි.

ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු එරට රැඳී සිටින අතර ඔවුන් සතු සියලු විස්තර අමාත්‍යංශය සතුව තිබෙන බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *