හිජාස් හිස්බුල්ලා “කොන්දේසි විරහිතව නිදහස් කරන්න” – ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එකතුව

මුස්ලිම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා "කොන්දේසි විරහිතව නිදහස් කරන්න" ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එකතුව

මුස්ලිම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා "කොන්දේසි විරහිතව නිදහස් කරන්න" ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එකතුව

මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා “කිසිදු විශ්වසනීය සාක්ෂියකින් තොරව” ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 15 ක් මුළුල්ලේ රඳවාගනු ලැබ සිටීම පිළිබඳව බරපතල අවධානය පළකරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එකතුවක්, කොන්දේසි විරහිතව ඔහු වහාම නිදහස් කරන මෙන් ශ්‍රී ලංකාවට කියා සිටිති.

2020 අප්‍රේල් මස 14 වෙනි දින සිවිල් ක්‍රියාධරයෙකු ද වන නීතිඥ හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරකයෙකු වූ ඉන්ශාෆ් අහමඩ්ට (Inshaf Ahamed) ආධාර සහ අනුබල දීමේ (aiding and abetting) චෝදනාව යටතේ බව පෙන්වාදෙන එම සංවිධාන, මේ වනවිට බලධාරීන් ඉහත කී චෝදනාව ඉවත්කරගෙන ඇති බවත් පෙන්වා දෙති.

එම සංවිධාන පවසන අන්දමට සහ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පරිදි, ගතවගිය මාස කිහිපය ඇතුළත පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහි චෝදනා අවස්ථා ගණනාවකදීම වෙනස් කර තිබේ.

ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන බදාදා නිකුත් කළ නිවේදනය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව පවසන්නේ, නීතිවේදී හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ කිසිදු දේශපාලන උවමනාවකට නොවන බවය.

පහත දැක්වෙන්නේ නීතිවේදී හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට පසුබිම් වූ කරුණු, ඔහුට එරෙහි චෝදනා සහ ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට මෙතෙක් සිදුවීම් පෙළගැසුණු ආකාරය ගැන විමසුමකි.

# 2020 අප්‍රේල් 14 වෙනි දින, සිංහල, දෙමළ අලුත් අවුරුදු දිනයේ නීතිවේදී හිජාස් හිස්බුල්ලා ගේ නිවසට කඩා වැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නිවසේ සහ කාර්යාලයේ පැවති ඔහුගේ ගනුදෙනුකරුවන් සම්බන්ධ සියලු ලිපි ලේඛන ද පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

# අත්අඩංගුවට ගත් වහාම පොලිසිය කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ එක් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වූ ඉන්ශාෆ් ඊබ්‍රහිම්ට ලබා දුන් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය. එහෙත් 2020 අගෝස්තු 19 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ චෝදනාවල දැක්වෙන්නේ ඔහු වසර පහක් තුළ ඉන්ශාෆ් ඊබ්‍රහිම් වෙත ලබා දී තිබෙන්නේ ඇමතුම් 14 ක් පමණක් බවය.

# ඉන්ශාෆ් ඊබ්‍රහිම් සම්බන්ධ ඉඩම් නඩු දෙකක් වෙනුවෙන් හිජාස් හිස්බුල්ලා පෙනී සිටීමට පෙරාතුව එම නඩු විභාග වෙනුවෙන් පෙනී සිට තිබෙන්නේ, එවකට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ද නීතිවේදියා වූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ය. එම නඩු විභාග සම්බන්ධ සියලු ලිපි ලේඛන ද හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය භාරයට ගෙන තිබේ.

– ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අධිකරණ අමාත්‍ය පදවියට පත්කෙරිණ.

# 2018 ඔක්තෝබර් මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධී ලෙසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ, පෙත්සම්කරුවෙකු වූ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් වෙනුවෙන් පෙනී සිටිමින් “ඔහු ඉතා තර්කානුකූලව කළ කරුණු දැක්වීම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනාගේ දැඩි ප්‍රසාදයට ලක්වූ,” බව මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පෙන්වා දී තිබිණ.
“අලු‍ත්ගම ජාතිවාදී කෝලාහල පැන නැගුන අවස්ථාවේ පීඩාවට පත් මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු, වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහි අන්දෝලනාත්මක නඩුවේ එම වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද විය,” යනුවෙන්ද මානව හිමිකම් ක්‍රියාකාරිනියකද වන ජයනි අබේසේකර සිය ලිපියේ සඳහන් කරයි.

# නීතිඥ වෘත්තිය හැරුණු විට, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ සිවිල් ක්‍රියාධරයෙකු ද වූ ඔහු අත්අඩංගුවට පත්වීමට දින කිහිපයකට පෙරාතුව කොවිඩ්-19 වසංගතයෙන් මියයන මුස්ලිම් වැසියන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව මුස්ලිම් උගතුන් පිරිසක් සමඟ පර්යේෂණ පත්‍රිකාවක්ද ප්‍රකාශයට පත් කළේය.

හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මීට ඉහතදී පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, මරාගෙන මැරෙන බෝම්කරුවෙකු සමඟ හිජාස් හිස්බුල්ලා ප්‍රහාරයට පෙර “තුන් වතාවක් දුරකතනයෙන් කතා කර තිබෙන,” බවය. “ඒ වගේම එයා විවාහවෙලා තියෙන්නෙත් ඊජිප්තු කාන්තාවක්. ඒ කාන්තාවත් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධයි,” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

 

# සේව් ද පර්ල්ස් (Save the Pearls) නම් පුණ්‍යායතනයේ සාමාජිකයකු සහ හිටපු සභාපතිවරයෙකු ලෙසින් හිජාස් හිස්බුල්ලා කොළඹ වීථි සරණ දරුවන් 24 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දී ඔවුන්ට රැඩිකල් අදහස් පෙවීමට සම්බන්ධ වී ඇති බවට ද පොලිසිය චෝදනා කළේය.

– රාජ්‍ය බුද්ධි සේවයේ ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ප්‍රධානී මහීල් ඩොල් (Mahil Dole) ඇතුළු විශ්‍රාමික සිවිල් නිලධාරීන් සහ නීති නිලධාරීන් පිරිසක් එම පුණ්‍යායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන අතර, එහි කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රියාවක් සිදු නොවූ බවට මහීල් ඩොල් දිවුරුම් ප්‍රකාශයක් දෙමින් පවසා තිබේ.

# පුණ්‍යායතනයේ වෙනත් කිසිදු අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, ආයතනය යටතේ පවතින විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, හිජාස් හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන බව අධිකරණය වෙත දැනුම්දීමට පෙර දිනයේ දීය.
– කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට වසා දමා තිබුණ එම පාසල – පුත්තලමේ අල් සුහාරියා අරාබි විද්‍යාලය – දැන් යළිත් පාසලේ කටයුතු පවත්වාගෙන යයි.

# ජගත් සංවිධාන එකොළහක් මතුකරන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, “මෙතන කිසිදු දේපාලන උවමනාවක් නෑ. අපි ත්‍රස්තවාදය මැඩපවත්වන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. මොහු කුඩා ළමුන් ත්‍රස්තවාදයට යොමුකරන්න ක්‍රියා කරලා තියෙනවා. මොහු සහරාන්ව ගෙන්නලා, නෞෆර් මව්ලවිව ගෙන්නලා ඒ ළමයින්ට ත්‍රස්තවාදය ව්‍යාප්තකරන්න දේශණ පවත්වලා තියෙනවා කියන එක උඩ තමයි මෙතෙක් රඳවාගෙන ප්‍රශ්ණ කරන්නේ,” යනුවෙනි.

“මේවා මේ NGO ප්‍රකාශ. ත්‍රස්තවාදයට සෘජුව නෙමෙයි වක්‍රව හරි සම්බන්ධ නම් අපි අවශ්‍ය පියවර ගන්නවා. මේ NGO හරහා රජයට බලපෑම් කිරීමට තමයි මේ අය ලැහැස්තිවෙන්නේ,” යනුවෙන් ද අමාත්‍ය සරත් වීරසේකර බීබීසී සමඟ පැවසීය.


“ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්” – හෙලනා කෙනඩි සාමිවරිය

# නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවාගෙන සිටීම පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ (IBAHRI) අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සාමිවරිය, නීතියේ ආධිපත්‍යය ප්‍රකාර කටයුතු නොකිරීම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව දැඩි දෝෂදර්ශනයට ලක් කළාය.

“ලංකාවේ මේ වගේ දේවල් නිතර සිදුවන බව අපි දකිනවා. තමන්ගේ ප්‍රතිවාදීන් දඩයම් කරන්න “ත්‍රස්තවාදය” කියන ලේබලය නිදහසේ යොදාගන්න පුළුවන්,” යනුවෙන් ද රාජ නීතිඥ හෙලනා කෙනඩි සාමිවරිය සඳහන් කළාය.

# නීතිවේදී හිජාස් හිස්බුල්ලාට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබාදෙන මෙන් පොලිසිය තමන්ට බලපෑම් කළ නමුත් තමන් එයට එකඟ නොවූ බව පවසමින්, අත්අඩංගුවට ගන්නා ලද අල් සුහාරියා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික හිමිකම් පෙත්සම් ගොනු කර තිබේ.
හිජාස් හිස්බුල්ලාට එරෙහිව ව්‍යාජ සාක්ෂි දුන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කරන බවට පොලිසිය ප්‍රතිඥා දුන් බවටද ඔවුහු චෝදනා කරති. එම ගුරුවරුන් පවසන්නේ, තමන් හිජාස් හිස්බුල්ලා නොහඳුනන බවය.

# Save the Pearls පුණ්‍යායතනය “කටාර් චැරිටි” (Qatar Charity) නම් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පිහිටි Islamic Relief Fund නම් රාජ්‍ය නොවන සංවිධානය වෙත ලබාදෙන ආධාර වක්‍රාකාරයෙන් ලබාගෙන ඇති බවට ද පොලිසිය චෝදනා කළේය. Qatar Charity ත්‍රස්තවාදයට අනුබල දෙන ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අමාත්‍ය සරත් වීරසේකර ද පැවසීය.

– Qatar Charity ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් නොවේ; කටාරයේ ආණ්ඩුවට ඉතා සමීප, ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් සංවිධානයක් වන එය, කොළඹ 03 පිහිටි සිය කාර්යාලය මාර්ගයෙන් තවමත් ශ්‍රී ලංකාවේ පුණ්‍ය කටයුතු මෙහෙයවයි.

# අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය පෙබරවාරි 18 වෙනි දින නීතිවේදී හිජාස් හිස්බුල්ලාට එරෙහිව චෝදනා ගොනුකරනු ලැබ තිබේ. ඒ, ඉහත කී පාසලේ දරුවෙකුගේ ප්‍රකාශයක් මත පදනම්වය.

# හිස්බුල්ලා නම් නීතිඥයෙක් පැමිණ, තමන්ට මඩකලපුවේ විශ්වවිද්‍යාලයක් තිබෙන බවත්, නිසි වයස පැමිණි විට විශ්වවිද්‍යාලයට බඳවාගන්නා බවටත් පොරොන්දු වූ බව එම ශිෂ්‍යයාගේ ප්‍රකාශයේ දැක්වේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ට පහර දිය යුතු යයි හිජාස් හිස්බුල්ලා පවසන ලදැයි ද ශිෂ්‍යයා උපුටා දක්වමින් චෝදනා පත්‍රයේ සඳහන් වේ.

– ඒ අනුව පොලිසිය විසින් චෝදනා ගොනුකරනු ලැබ තිබෙන්නේ “ද්වේෂසහගත ප්‍රකාශ කිරීම” යටතේය. පාස්කු ප්‍රහාරයට අදාළ කිසිවක් චෝදනාවලට ඇතුළත් නැත.

– හිජාස් හිස්බුල්ලාට මඩකලපුවේ විශ්වවිද්‍යාලයක් නොමැති අතර, තමන් බිය ගන්වා පාපොච්ඡාරණ ලබාගැනීමට උත්සහ කළ බව පවසමින් එම පාසලේ දරුවන් සිව් දෙනෙක් පොලිසියට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබේ.

නීතිවේදී හිජාස් හිස්බුල්ලා දේශපාලන සිරකරුවෙක් (prisoner of conscience) ලෙසින් පසුගියදා ඇම්නස්ටි ඉන්ටනැෂනල් ජගත් මානව හිමිකම් සංවිධානය විසින් නම් කරනු ලැබිණ.

# පොලිසිය විසින් පසුගිය ජුලි 15 වෙනි දින හිජාස් හිස්බුල්ලාට අධි චෝදනා භාරදෙනු ලැබීය.

# හිජාස් හිස්බුල්ලා ඇතුළු පිරිස රඳවාගනු ලැබ තිබෙන ත්‍රස්ත විරෝධී නීතිය වහාම ඉවත්කරගන්නා මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරමින් මෑතදී යෝජනාවක් සම්මත කළ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව, එසේ නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ජීඑස්පී (GSP) වරණීය බදු සහනය ඉවත්කරන මෙන් යුරෝපා කොමිසමට යෝජනා කර තිබිණ.

අත්අඩංගුවේ පසුවන සිය බාල සොහොයුරා ගැන පසුගිය වසරේ ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියට ලිපියක් සපයමින් ඔහුගේ සොයුරු හිෆ්රාස් හිස්බුල්ලා පවසන්නේ, “ඔහුගේ අහිංසක බව ගැන කියාපෑමත්, කවදා හෝ යුක්තිය ඉටුවේයැ’යි බලාපොරොත්තු සහගතව ජීවිතය ගෙවනවා විනා වෙන කිසිවක් කළ නොහැකි වීම ගැන මට ඇත්තේ නොදැරිය හැකි වේදනාවකි,” බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *