ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔලිම්පික් තරග විනිශ්චයට සහ තීරක කටයුතු සඳහා ලාංකිකයෙක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔලිම්පික් තරග විනිශ්චයට සහ තීරක කටයුතු සඳහා ලාංකිකයෙක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔලිම්පික් තරග විනිශ්චයට සහ තීරක කටයුතු සඳහා ලාංකිකයෙක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ සඳහා සුදුසුකම් ලබා තිබේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ද මෙය රන් අකුරින් සටහන් වනු ඇත.

ඒ අනුව, 2021 වසරේ ජපානයේ තෝකියේ නගරයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ බොක්සිං තරග තීරක හා විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමට ඇය තෝරා පත්කරගෙන තිබේ.

ගාල්ල, රිපන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය 1997 වසරේදී ආධුනික කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට එක් වූවාය. 2021 වසරේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට සහභාගි වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව වන්නේද ඇයයි.

2001 වසරේ සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බොක්සිං තරගාවලි සඳහා සහභාගි වූ ඇය ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ ජයග්‍රහණයන් අත්කරදී ඇති අතර අඛණ්ඩව වසර 5ක් දක්ෂතම බොක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනාගත්තාය.

2009 වසරේදී පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරග තීරක වශයෙන් සමත් වූ ඇය 2011 වසරේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබුවාය. 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා විනිසුරුවරිය ලෙස ඇය ඉතිහාසගතවී ඇත.

මෙම නිලධාරිනිය ඉහත තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත 2011 වර්ෂයේදීම ලන්ඩන් නගරයේ පැවැති ඔලිම්පික් පූර්ව තේරීම් තරගාවලියට සහභාගි වීමට වරම් ලබා ඇති අතර එහි දෙවැනි දිනම අන්තර්ජාතික දෙවැනි පෙළ විනිසුරුවරියක ලෙස ද උසස්වීම් ලැබුවාය.

2013 වසරේ ඉතාලියේ කතානියා නගරයේ පැවති බොක්සිං තරග තීරක විනිසුරු විභාගයෙන් සමත්ව අන්තර්ජාතික 3 වන පෙළ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලැබූ ඇය බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළ ම තලය ලබා ඇති දක්ෂ නිලධාරිනියකි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 3 වන පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරියක් වීමේ ගෞරවය ද ඇය හිමිකරගෙන තිබුණාය.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ වනවිට ලෝක ශූරතා පිරිමි බොක්සිං තරගාවලිය, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලිය සහ යොවුන් කාන්තා සහ පිරිමි ලෝක ශූරතා බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලිය විනිශ්චය සඳහා සහභාගි වූ ප්‍රථම කාන්තා නියෝජනය වීම ද විශේෂත්වයකි.

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලි ඔලිම්පික් තේරීම් තරගාවලි, ආසියානු මහද්වීප බොක්සිං තරගාවලි, අග්නිදිග ආසියානු බොක්සිං තරගාවලිය හා වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරගාවලි රැසක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ද ඉමහත් ගෞරවයක් ගෙනදීමට ඇය සමත් වූවාය.

2017 වසරේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානය ද ඇය විසින් හිමිකරගෙන ඇති අතර එය ආසියානු කාන්තාවක් විසින් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මානයක් ලබාගත් ප්‍රථම අවස්ථාවද විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *