ණය අර්බුදයට එකම විසඳුම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණයි, ඊටත් IMF සහාය අත්‍යාවශ්‍යයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ගත හැකි එකම ක්‍රියාමාර්ගය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් බවත් ඊට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යාවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“ෆිච් ආයතනය කියනවා 2026 වෙනකල් එන අවුරුදු හතරට, ඩොලර් බිලියන 29ක් තියෙනවා ගෙවන්න කියලා. හැම අවුරුද්දෙම ඩොලර් බිලියන හතර හමාරක් පහක් විතර තියෙනවා ආණ්ඩුවට ගෙවන්න. ආණ්ඩුව අතේ තිබුණෙ පෙරේදා විතර වෙනකල් මං හිතන්නෙ පාවිච්චි කරන්න පුළුවන් සංචිත බිලියන තුන හමාරයි. ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් ඊයෙ ගත්තා නම් සංවර්ධන බැඳුම්කරය ගෙවන්න, ඊට පස්සෙ තව බිලියනයක් කල්පිරෙන ස්වෛරී බැඳුම්කරයක් තියෙනවා. අතේ ඉතුරු වෙන්නෙ නෑ අවශ්‍ය ප්‍රමාණයට.

කොච්චර ආනයන සම්බාධක දැම්මත් කාගෙන් ගිහිල්ලා මිලියන 200ක් 300ක් ඉල්ලා ගත්තත් මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මේක තේරුම් ගන්න ඕනෙ. ඒකෙන් වෙන්නෙ ජාත්‍යන්තරයත් ආයෝජකයොත් තේරුම් ගන්නවා මේක මේ කරන්න බැරි දෙයක් කරන්න යන්නෙ කියලා. එතකොට ඔවුන්ට ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය තවත් වැටෙනවා සහ මේ විශාල මුදල් අච්චු ගැසීමෙන් අපි හිතනවා නූතන මුදල් න්‍යායට අනුව රුපියල එක පැත්තකින් කඩාගෙන වැටෙනවා ඩොලරයට සාපේක්ෂව, අනිත් පැත්තෙන් කඩාගෙන වැටෙනවා භාණ්ඩ හා සේවාවල මිලට සාපේක්ෂව. දෙවනි එකට අපි කියනවා උද්ධමනය කියලා. තවදුරටත් ගියොතින් එහෙම මෙහෙම, සමාජය පාලනය කරගන්න බැරි තැනකට මේක තල්ලු වෙනවා.

කළහැකි එකම දේ කෙටිකාලීනව මේ සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආයෝජකයින්ට කතා කරන්න වෙනවා. ආයෝජකයින්ට කතා කරන්න යම්කිසි අපට අවස්ථාවක් සලසන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදේශ ආයෝජකයින් සමග කරන සාකච්ඡාවේදී රීප්‍රෝෆයිල් කරන්න වෙනවා මේ ණය. ඒ කියන්නෙ අපි ණය සම්පූර්ණයෙන්ම ගෙවන්න බාරගන්නවා, නමුත් පොළිය මාස 36කින් සහ වාරිකය මාස 48කින් වගේ කාලයකින් අපට කල්දාලා දෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලන්න වෙනවා. කල්දාන්න කියලා ඉල්ලා ගත්තොත් එතකොට අපට ඩොලර් බිලියන පහක් විතර අවුරුද්දකට ඉතුරු කරගන්න පුළුවන් වෙනවා මේ ණය නොගෙවා. අපට පුළුවන් වෙනවා ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න. මේ තියෙන මහ විශාල අර්බුදයෙන් ගොඩ එන්න නම් අපට වෙන කිසිම විකල්පයක් නෑ ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නැතුව” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ 01වන දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *