මෛත්‍රීගේ ඉල්ලීමට, චීනය තෑගි දුන් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට

මෛත්‍රීගේ ඉල්ලීමට, චීනය තෑගි දුන් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට

පොළොන්නරුවේ ඉදි කෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (11) පෙරවරුවේ විවෘත කෙරිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරය දැරූ 2015 වසරේ චීනයේ සිදුකළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස මෙම රෝහල ශ්‍රී ලංකාවට හිමිවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු විසින් මෙහි සමරු ඵලකය නිරාවරණය කරමින් රෝහල් සංකීර්ණය විවෘත කළ අතර අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රෝහල් සංකීර්ණය ද නිරීෂණය කළහ.

චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකෙරුණු මෙම රෝහල් සංකීර්ණය අක්කර16ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගත වූ කාලය මාස30 කි. වකුගඩු බද්ධ කිරීම සඳහා අවශ්‍ය නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05 කින් යුත් මෙහි එක්වර රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයිය හැක. එහි දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20ක් වන අතර යන්ත්‍ර 100කින් සමන්විත මෙම රෝහලට රුධිර කාන්ද්‍රකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවා සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ. වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් ද මෙහි තිබෙන අතර රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා මෙහිදී අදහස් දැක්වීය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල, සුරේන් රාඝවන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *