කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා බැණුම් අසාගෙන, ගුටි කාගෙන හෝ ඉදිරියට යා යුතුයි – ජනාධිපති

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මෙය හොඳ දෙයක් බැවින් දුෂ්කර කාර්යයක් වුවත්, බැණුම් අසාගෙන, ගුටි කාගෙන හෝ කළ යුතු යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර ඇතැයි කී ජනාධිපතිවරයා මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා එය ක්‍රියාත්මක කිරීමට මහජන නියෝජිතයින් කටයුතු කළ යුතු බව ද කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩිස්ථාවර වී ඇතැයි කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා එය ක්‍රියාත්මකවිය යුතු බව පැවසීය.

පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්තද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇතැයිද ජනාධිපතිවරයා කීය.

එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම හදිසියේ ගත් තීරණයක් නොවන බව කී ජනාධිපතිවරයා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙන්ම පසුගිය අයවැයේදීද මේ පිළිබඳව රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ බව කීවේය.

කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියකට හේතුවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණපෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවද ප්‍රකාශ කළේය.

ගොවියා දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට ගොදුරු වූ බවත්, අනාගත පරපුර එම තත්ත්වයෙන් ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ වගකීම වියයුතු බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *