ලොව ජීවත්ව සිටින වේගවත්ම කාන්තාවත් ජැමෙයිකාවෙන් – ශෙලී ඈන්

මේ වනවිට ලොව ජීවත්ව සිටින වේගවත්ම ධාවන ශූරිය බවට පත්වීමට ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූරි ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් 05වන දින ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි පැවති ධාවන තරඟයකදී සමත්ව තිබේ.

“පොකට් රොකට්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කෙටි දුර ධාවන ශූරිය එදින ජැමෙයිකාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී කාන්තා මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10. 63 කින් නිමකරමින් මෙම දක්ෂතාවය දක්වා ඇත. මෙම වාර්තාවත් සමඟ කාන්තා මීටර් සියය ධාවන ඉසව්වෙන් මෙතෙක් ඉතිහාසයේ ලොව දෙවන වේගවත් කාන්තාව බවට ඇය පත් වන අතර එය කාන්තා මීටර් 100 අංශයේ සිව් වන හොඳම කාලය බවට වාර්තා පොත් අතරට එක් වේ.

මීට පෙර හිටපු අමෙරිකානු කෙටිදුර ධාවන ශූරියක වන ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් 1988 වසරේ අවස්ථා තුනකදී කාන්තා මීටර 100 ධාවන ඉසව්වේ හොඳම කාලයන් වාර්තා කර තිබුණි. කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක වාර්තාව ද සමගින් පිළිවෙලින් ග්‍රිෆිත් ජොයිනර් වාර්තා කළ හොඳම කාලයන් වන්නේ තත්පර 10.49, 10.61 සහ 10.62ය. 34 හැවිරිදි ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් වාර්තා කළ තත්පර 10.63ක කාලය කාන්තා මීටර 100 ධාවන ඉසව්වේ නව ජැමෙයිකානු ජාතික වාර්තාවක්ද වෙයි. 2009 වසරේදී මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව තත්පර 10.64 ධාවනය කළ ඇමරිකානු ක්‍රිඩිකා කර්මෙලිටා ජෙටර් සතුව මේ දක්වා පැවති වාර්තාව මේ සමඟ බිඳ වැටුණි.

1986 වසරේ උපන් ශෙලී ඈන් ෆ්‍රේසර් 2008 බීජිං සහ 2012 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලි දෙකේදී මීටර් 100 ඉසව්වෙන් රන් පදක්ම් දිනා සිටින අතර ආබාධයකට ලක්වීමෙන් පසුව 2016 පැවති රියෝ ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. අඛණ්ඩව ඔලිම්පික් තරඟාවලි තුනකදී මීටර් 100 කාන්තා ධාවන ඉසව්වෙන් පදක්කම් දිනූ පළමු ක්‍රීඩිකාව බවට ඇය පත්විය.

එසේම ලෝක මළල ක්‍රීඩා තරඟාවලියේදී මේ දක්වා රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. 2009, 2013, 2015 සහ 2019 දී මීටර 100 කාන්තා ලෝක ශූරතා 4 ක් දිනාගත් එකම ක්‍රීඩිකාව ඇයයි. 2019 දී ඇය දිනූ රන් පදක්කම ලෝක ශූරතා තරඟාවලියකදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ ලොව වයස්ගතම කාන්තාව වෙමින්ද වාර්තාවක් තැබීමට ඇය සමත් වූ අතර ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 32කි.

 

About The Author