වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 91කින් සම්මතයි, සමඟි ජන බලවේගයේ ඉෂාක්-රහීම් පක්ෂ වෙයි

සමඟි ජන බලවේගයේ ඉෂාක්-රහීම් පක්ෂ වෙයි | පක්ෂව 149යි – විරුද්ධව 58යි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 91කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සම්මත විය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 149ක්ද විරුද්ධව ඡන්ද 58ක්ද හිමි විය. ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද 91කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලු පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වේ. පනත් කෙටුම්පත සඳහා පක්ෂව සමඟි ජන බලවේගය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ දැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් විමසා සිටියේය. එහිදී ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටින බවත් විරෝධය සටහන් කර ගන්නා ලෙසත් කිරිඇල්ල මහතා කථානායකවරයාට දැනුම් දුන්නේය.

ඉන් පසුව නැඟී සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, ඒ අනුව දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරිණ.

ඉන් පසු කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීම සිදු විය. සංශෝධන ඉදිරිපත් කිරීමේදී ඇතැම් සංශෝධන සඳහාත් වෙන වෙනම විපක්ෂය විසින් ඡන්ද විමසීම් ඉල්ලා සිටියේය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත එවා තිබූ අතර, එම තීන්දුව කථානායකවරයා විසින් 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් පසු ඊයේ හා පෙරේදා යන දින දෙක පුරා විවාදය පැවති අතර, ඡන්ද විමසීම ඉන් අනතුරුව සිදු විය.

මීට අමතරව පසුගිය දිනවල පෝට්සිටි කෙටුම්පත දැඩීව විවේචනය කළ විජේදාස රාජපක්ෂ මහතා එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *