කොරෝනා ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව වරාය නගර පනත – විජයදාස රාජපක්ෂ

කොළඹ වරාය නගර පනත සම්මත කර ගැනීමට පමා වේ යන අරමුණෙන් රජය අළුත් අවුරුදු උත්සව සමයේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කරන සෞඛ්‍ය උපදෙස් නොසලකා හරින ලදී.

සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම් අනුව අවුරුදු උත්සව සමයේ සංචරණ සීමාවන් පනවා තිබුණා නම් මෙවැනි දරුණු බලපෑමකට මුහුණ දීමට සිදු නොවන්නට තිබිණි.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතේ වගන්ති 25ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ බවද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.

රාජ්‍ය නායකයන් සහ ආණ්ඩුව වරද පිළිගත යුතුයි යැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා, ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වී අදහස් ප්‍රකාශ කිරීමේ දී මේ බව පවසා ඇත.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව පවසමින් රජය උත්සව සමයේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුව මහජනතාවට කාලයක් ලබා දුන්නේ නැත. එක් දිනක් තුළ මෙම පනතට එරෙහිව පෙත්සම් 20ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වුණි.

රටේ සීමාවෙන් පිටත අලුතින් ගොඩනගන ලද කොළඹ වරාය නගරයේ පාලන බලය රටේ පොදු නීති රීතිවලට පටහැනිව එක් රටක් තුළ වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මගපාදයි. එමෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම පනතේ කිසිඳු වගන්තියක් ඇතුළත් කර තිබුණේ නැත.

චීනයේ ක්‍රියා පිළිවෙත රටේ බහුල වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම තත්ත්වය මත මෙම පනත තුළින් චීන සමාගම්වලට ප්‍රමුඛතාවයක් ලබා දීම භූගෝලීය මට්ටමින් බලපෑම් එල්ල විය හැකි බව මා පැවසුවෙමි.

2003 වර්ෂයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ඉඩම් පනත, දිවිනැඟුම පනත වැනි පනත් මෙවැනි පසුබිමක විමර්ශනයට ලක් කරන ලදී.

කොවිඩ් වෛරස බලපෑමෙන් භූගෝලීය මට්ටමේ අර්බුදයන් අසාර්ථක වී ඇති මොහොතක රජය මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. රටට නොගැළපෙන, අනවශ්‍ය ක්‍රියාකාරකම් අතහැර රජය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *