“කොවිඩ් එන්නත සහ ලේ කැටි ගැසීම අතර පැහැදිලි සම්බන්ධයක් නෑ” – සෞඛ්‍ය ඇමැතිනි

කොවිඩ් එන්නත දීමෙන් රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාවක් ඇති වේදැයි මේ දක්වා පැහැදිලි සාක්ෂියක් ලැබී නොමැති බවත් එය දී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීමේ රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තා වී ඇති අතර මෙරටින්ද එවැනි අවස්ථා 6ක් වාර්තා වූ බවත් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පෙරේදා(21) ප්‍රකාශ කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර, ඍජු සම්බන්ධතාවක් හඳුනා ගෙන නොමැති බවද ඇමැතිවරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය.

ඇස්ට්‍රාසෙනෙකා නොව ඕනෑම එන්නතකින් සංකූලතා ඇති විය හැකි බව කී ඇමැතිවරිය කලාතුරකින් ඇති වන ආසාත්මිකතා තත්ත්වයන්ට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීමෙන් එන්නත්කරණය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකි බවද පැවසුවාය.

මෙරට කොවිඩ් එන්නත දීමෙන් පසු යම් පුද්ගලයකුට සංකුලතාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට 0113-415985 යන අංකය දී ඇති බවත් සඳහන් කළාය.

මේ දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක අතර, ඊට අමතරව කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ක්‍රියාත්මක වන බව පැවසුවාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *