අගමැති පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකයි; වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව පවසයි

අගමැති පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකයි; වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව පවසයි

අගමැති පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකයි; වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව පවසයි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සැම සිහිකරමින් අරලියගහ මන්දිරයේ දී (21) පෙරවරුවේ පහන් දැල්වීය.

පළමුව ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනා සිහිකරමින් පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව පහන් දල්වමින් ඔවුන් සැම අනුස්මරණය කළේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා සමඟ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියාය.

මෙයට වසර දෙකකට පෙර අද වැනි දිනෙක අන්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් දෙසිය හැත්තෑවකට අධික පිරිසක් මිය ගිය අතර පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ මහත්වරු සහ බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා එක්ව සිටියහ.

වගකිවයුත්තන් නීතිය හමුවට

මේ අතර පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු සභාගැබේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි. එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු කොමිසම මගින් හෙළිදරව් කර ගත් තොරතුරු පදනම්කරගෙන සකස් කළ වාර්තාව සහ අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව.

ගරු කථානායකතුමනි,

අද අපි මීට වසර දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් 21 පාස්කු දිනයේ ලංකා ඉතිහාසයේ ඇති වූ අඳුරුතම දිනයක දෙවන අනුස්මරණය ඉතා සංවේගයෙන් සමරනවා. එදා පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට සහභාගී වූ අහිංසක ජනතාව ඇතුළු 259 ක් මරුමුවට පත්කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදෙස් ආදරණීය ජනතාව අපි ඉතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ ආත්මයන්ට ස්වර්ගීය සැනසීමත්, අනෙකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත් වේවායිත් ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම එදා තුවාල වූ ආබාධිත වූ සිය ගණනක් ජනතාව අදත් ශාරීරිකව හා මානසිකව පීඩා විඳිනවා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එසේම මිය ගිය සහ ආබාධිත වූ තුවාල වූ සියළු දෙනාගේ පවුල් වල සාමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය පුද කරනවා.

ඒ වගේම පාස්කු කොමිසම මගින් හෙලිදරව් කරගත් තොරතුරු අනුව සකස් කල වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් ගරු නීතිපතිතුමා වෙත යොමුකර තිබෙනවා.
අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අප මැදිහත්වීමට කටයුතු නොකලත් එම ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට අප රජයක් හැටියට සූදානම් බව කියන්න කැමතියි.

එසේම කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විමර්ශණ කටයුතු මේ වන විට ඉතාම ස්වාධීනව සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් අතිගරු ජනාධිපතිතුමා විසින් සලසාදී තිබෙනවා. ඒ පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදි කටයුතු කරයි කියල අපට විශ්වාසයි.

පසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශණවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබදව කණගාටු වෙනවා. ඊට අමතරව ඒ මියගිය සියළු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන අතරම එවන් අවාසනාවන්ත තත්ත්වයත් යලි කිසිදා ඇති නොවීමටත් අප රජයක් හැටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

ඒ වගේම මෙම කුරිරු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමතියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *