පාස්කු කොමිසමට ගිය වියදමක තරම

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 650ක් පමණ වැය වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කොමිෂන් සභාවෙහි අවසාන අදියර සඳහා වන වියදම් තවමත් නිසි ගණනය කර නොමැති බැවින් මුළු පිරිවැය රුපියල් මිලියන 650ටත් වඩා වැඩි විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසන්න වශයෙන් පිටු 1,00,000ක් පමණ සහිත කොමිෂන් සභාවේ අවසාන වාර්තාව පසුගිය පෙබරවාරි 1 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් අතර එය මුද්‍රණය කිරීම සඳහා පමණක් රු. මිලියන 10කට ආසන්න මුදලක් වැය වූ බව මීට පෙර වාර්තා විය. වාර්තාවේ පිටු 40,000කට ආසන්න සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මාසයේදී පත් කරන ලද කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය 2019 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ සහ බන්දුල අතපත්තු යන මහත්ම මහත්මීන් ය.

වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ සාක්ෂිකරුවන් 450ක් පමණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදුන් අතර තවත් 1,100කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකය ඉදිරියේ ප්‍රකාශ සටහන් කරන ලදී. ජනවාරි මස 27 වන දින කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු අවසන් බව නිවේදනය කළ අතර එය හමුවේ අවසන් වරට සාක්ෂි ලබාදුන්නේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *