මියදෙන රූමස්සල හා බිඳවැටෙන සංචාරක කර්මාන්තය – ආචාර්ය ශම්මික ලියනගේ

මියදෙන රූමස්සල හා බිඳවැටෙන සංචාරක කර්මාන්තය - ආචාර්ය ශම්මික ලියනගේ

මියදෙන රූමස්සල හා බිඳවැටෙන සංචාරක කර්මාන්තය - ආචාර්ය ශම්මික ලියනගේ

රුහුනු විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ විසින් සම්පාදනය කළ ලියවිල්ලක් වන අතර එය මෙසේ අප විසින් පල කරනු ලැබේ.

රාම රාවනා ඓතිහාසික පුවත සමගත් නාවික වෙළද ආර්ථික මධ්‍යාස්ථානයක් ලෙසත් කෝට්ටේ යුගයේ රචිත කොවුල් මයුර පරවි යන සංදේශ කාව්‍යවලත් රූමස්සල පිළිබඳව සදහන් වන්නේය. ලංකාව පිළිබදව වාර්තා ලිපි සපයන ලද කබේල් ගත් කතුවරයාද, 1796 රූමස්සල අවට දඩයමේ ගිය විලියම් කාල් මයිල් ටිබේසන් විසින් රචිත ගාලු ඉතිහාසය නමැති කෘතියේද, මෙම ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම් පිළිබඳ සඳහන් ව ඇත. රූමස්සල හා ඓන්ද්‍රීය සම්බන්ධතාවක් ඇති දෙවොල් දෙවියන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුදවස වේරගොඩ දෙවියන් ලෙස හඳුන්වාදුන් අතර එම දෙවිඳු වෙනුවෙන් මෙම ප්‍රදේශය පුදකරන ලද බව දනවන තඹ සන්නසක් පිළිබඳව සඳහන් කරන ආචාර්ය දැරණියගල මහතා එම සන්නසෙහි පිටපතක් පිටපත් කොට ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය නාවික භටයින් මෙන්ම මිෂනාරී පුජකයින් භූමිදානය කළ සුසාන භූමියක් ලෙසද, යටත් විජිත සමයේදී ශ්‍රී ලංකාව තුළ සිතියම්කරණයෙදි මැනුම් කටයුතු වලට සම්බන්ධිත ත්‍රිකෝණමිතික ස්ථානයක් ලෙසද, ප්‍ර‍කටවන මෙම ප්‍රදේශය ගාල්ල ට පැමිණෙන මුහුදු යාත්‍රා සදහා ජලය සම්පාදනය කළ ස්වාභාවික මිරිදිය ජල සම්පතින් ආඩ්‍යය වූ මෙන් ම හා ඊට ම ආවේනික සුවිශේෂී මත්ස්‍ය සම්පතකින් සමන්විත සුවිශේෂි කොරල්පර සහිත සාගර කලාපයක පිහිටි කඳු වැටියකි. 1993 ලෝක සංරක්ෂණ සංගමය (IUCN) මෙම කලාපය තුළ රතු දත්ත පොතෙහි වාර්තාවන මත්ෂ්‍ය විශේෂ 72 න් 36 ක්ම ජීවත්වන බවත් මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා නොවු මතස්‍ය වර්ග 64 ක් ජීවත් වන ප්‍රදේශයක් වන බොනවිස්ටා කොරල්පරය හඳුනාගෙන ඇත. මීට අමතරව කොරල් මසුන් 350 ක් හා ලොව වඳවි යන කැස්බෑ විශේෂ 5/7 ක්ම මෙම මුහුදු තීරයට පැමිණෙන සත්ත්ව විශේෂයන් ලෙස හඳුනාගෙන ඇත. සමනල විශේෂ 75 හා පක්ෂි විශේෂ 80 කින් මෙම සුවිශේස පරිසර පද්ධතිය සමන්විත වේ.

රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෝලිද සිල්වා මෙම ප්‍රදේශය රන් ඔසු උයන ලෙස ප්‍ර‍කටව පැවති බවත් එම ඹෞෂධීය වනානන්තරයේ වැදගත් කම පිළිබඳ සඳහන් කොට ඇති අතර එම විශ්ව විද්‍යාලයේම මාහාචර්ය සමරකෝන් (1991) මෙම ප්‍රදේශයේ ආවේනික ඹෞෂධ වර්ග 141 ක් පවතින බව පෙන්වා දෙයි. පාම්පරික වෛද්‍ය ක්‍ර‍මයේ රෝග 108 කට යොදාගනු ලබන ගොපළු ගුලිය නම් ප්‍රධාන ඖෂධයට භාවිතාකරන කෝන්තාලන් ශාඛය ඇත්තේ ද මෙම ප්‍රදේශය තුළ වීම සුවිශේෂි වැදගත් කමකි.

සමාජ පාරිසරික වෙනස්කම්

රූමස්සල ප්‍රදේශයේ සමාජ පාරිසරික වෙනස්කම ආරම්භ වන්නේ 50 දශකයේ ආතර් සි. ක්ලාක් මෙම ප්‍රදේශයට පැමිණීමත් සමඟ ය. බස්නාහිරට රූමස්සල කඳුවැටියත් නැගෙනහිරට හාල්පන්දෙනියට මැදින් වැටි ඇති ප්‍රදේශය රජයේ ඉඩම් (ක්‍රවුන් ලෑන්ඩ්) ප්‍රදේශයක් ලෙස හැදින්වූ අතර එම කඳු පන්තීන්ගේ බෑවුම් ප්‍රදේශයන්හි ජනතාව පදිංචිව සිට ඇත. අද මෙන් නොව එදා ජන ඝණත්වයක් නොතිබූ මෙම භූමි ප්‍රදේශය පවුල් කිහිපයක් මත බෙදි ගොස් තිබිණ. 60 දශකයේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ඇරඹීම සදහා කොස්වත්ත (සිමෙන්ති කම්හලට පවරා ගත් ඉඩම් ප්‍රදේශය එකල හැදින්වූ නාමය) සිට නුගදූව දක්වා ප්‍රදේශයේ සිටි ජනතාව රූමස්සල ප්‍රදේශයේ පදිංචිකරවූ අතර යක්දෙහිමුල්ල හා ජාකොටුව ප්‍රදේශයේ ධීවර ජනතාව රූමස්සල ප්‍රදේශයේ දංවල ප්‍රදේශයටත් සංක්‍ර‍ණය වු අතර මෙම ප්‍රදේශයේ වු පළමු ජනපදකරණය සිමෙන්ති කර්මාන්ත ශාලාව ස්ථානගත විමත් සමග ඇතිවිය. මේ සමඟ සැලකිය යුතු පාරිසරික හා ජෛව විවිධත්වයට බලපෑමක් මෙම කරුණ මත ද රූමස්සලට සිදුවිය.

කෙසේ වුවද, ආතර් සී. ක්ලාක් මහතා 1964 දී රූමස්සල පිළිබඳ තබන ලද රූමස්සල සොභා අසිරිය පිළිබද පහත සටහන විදේශිකයන් ලංකාවේ මෙම ප්‍රදේශයට ආකර්ෂණය වීමට බලපෑ සාධකයක් විය. “An always it is the same. The slender palm trees leaning over the white and sand , the warm sun sparkling on the waves as they break on the inshore reef, the outrigger fishing boats, drawn up high on the beach. This alone is real. The rest is but a dream from which I shall awake.” මෙහිදී ක්ලාක් විසින් සිදුකල මෙම ප්‍ර‍කාශනය උණවුටන වෙත ධනවත්, පරිසරලෝලී, අධ්‍යයනික සංචාරකයන් ආකර්ශණය කිරීමට සමත්විය. ඔවුන් රූමස්සල කේන්ද්‍රකොට එකල සංචරණයේ යෙදුන බව සංචාරක කර්මාන්තයේ යෙදෙන පැරැන්ණෝ සහ එම ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ සදහන් කරයි. ගෘහස්ථ සංචාරක කර්මාන්තයක් ලෙස ප්‍ර‍ජා සංචාරක ව්‍යාපාරයක් ලෙස ගොඩනැගුණ රූමස්සල සංචාරක පුරවරය විවෘත වෙළද පොළ ආර්ථිකය හඳුන්වාදීමත් සමග වෙනස්කම් රැසකට භාජනය විය.

ඉතාලි පන්නයේ ආහාර පාන සැකසුම් මධ්‍යස්ථානයක් සමග ආරම්භ කල උණවටුන බීච් රිසෝට් කුඩා හෝටලයක ස්වරූපයෙන් කාමර 5 කින් ඇරඹි වෛද්‍ය ඩී. ඩී. පෙරේරා ට අයිතිව තිබූ නිවාසය පාදකව ආරම්භ කල සංචාරක හෝටල් ආගමනය අද වන විට සංචාරක ස්ථාන 1000 කට අධික ප්‍ර‍මාණයක් දක්වා වර්ධනයව ඇත. ඒ අනුව රූමස්සල, උණවටුන. යද්දෙහිමුල්ල, ප්‍රදේශවල ජීවත්වන 99% ක ගේ ප්‍ර‍ධාන ජීවනෝපාය බවට සංචාරක කර්මාන්තය පත්ව ඇත. ඊට අමතරව රූමස්සල ප්‍රදේශය කේන්ද්‍රකොට තිරස් ලෙස විහිදි ගිය සංචාරක කර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිසක් හිනටිගල, මහරඹ, කළහෙ හා මිහිර්පැන්න ආශ්‍රීතව ජීවත්විම තුළ මෙම ප්‍රදේශයේ පාරිසරික හා ජෛව විවිධත්වය කේන්ද්‍රීය සංචාරක ව්‍යපාරය ශක්තිමත් කරවීමේ රාජ්‍ය කේන්ද්‍රීය මැදිහත්විමක අවශ්‍යතාවය ඉස්මතුව පවති. නුමුත් ක්‍ර‍මානුකූලව රජය හා ප්‍රාග්ධන හිමි පන්තිය විසින් මහජනතාව සතු වත්කම් හා ජීවනෝපාය මාර්ග එක් පිරිසක් වටා කේනද්‍ර‍ගත කරළීමේ උත්සාහයන් දශක 2 කක පමණ කාලයක් සිට ක්‍රියාත්මක වන බවට ක්‍ර‍මාණුකූල අධ්‍යයනයේදී අපට පෙනී යයි.

රූමස්සල විනාශය

ගල්කොරි මගින් ඇති කල බලපෑම
දිය කඩනය ඉදිකිරිම මගින් ඇතිකරන බලපෑම
අරලිය හෝටලය මගින් ඇති කරන බලපැම.
ගල්කොරි මගින් ඇතිකරන බලපැම

අනූව දශකයේ ඇතිවු ගල්කොරි ව්‍යාපාරය උණවටුන හා හාල්පන්දෙනිය කඳු ශිඛර පාදක ව සිදුවූ මෙම විනාශකාරී ව්‍යාපෘතීන් තුළ ප්‍රදේශවාසින්ටත් සංවාරක කර්මාන්තයේ නියැලෙන අයවලුන්ටත් එවකට ප්‍රදේශයේ දේශපාලන ආයතන නියෝජනය කල මහජන නියෝජිතයින්, ප්‍රදේශවාසින් මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍ර‍මුමුඛ හිටපු අමාත්‍ය රිචඩ් පතිරණ, අමරසිරි දොඩංගොඩ හා හිටපු පාර්ලිම්න්තු මන්ර්‍ත්‍රී නන්ද ගුණසිංහ වැනි මහජන නියෝජිතයින් මූලික ව රූමස්සල කන්ද ආරක්ෂාකර ගැනීමේ පුළුල් මහජන පෙරමුණක් බිහිවූ අතර එමගින් එම විනාශය යම් පමණකට අවමකර ගතහැකි විය.

එහි ප්‍ර‍තිඵල ලෙස 2003 ජනවාරි 23 වන දින 1969/25 ගැසට් පත්‍ර‍ මගින් රූමස්සල මුහුදේ හෙක්ටයාර 1707 ක භූමි ප්‍රමාණ සාමූද්‍රික අභය භූමියක් ලෙස නීතී ගතකල අතර 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනත හා 2011 සංශෝධිත අංක 49 දරණ පනත මගින් ද මෙම ප්‍රදේශය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආවරණය ලබන ප්‍රදේශයක් විය. එහිදි වෙරළේ සිට මීටර් 300 ක් ඇතුළත ඇති ප්‍රදේශයෙහි ඉදිකිරීම් සිදුකිරීමේ දි තක්සේරු වාර්තාවන් ලබාගතයුතු බවට සදහන් කර ඇති අතර ඊට අමතරව මෙම ප්‍රදේශය 2009 අංක 22 දරණ වෘක්ෂලතා ආඥාපණත හා F.F.P.O (Fauna and Flora Protection Ordinance) යටතේ විශේෂිත ආරක්ෂාවක් හිමිවේ. එමෙන්ම 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පණත හා 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත මගින් ද මෙම ප්‍රදේශය රැකවරණය ලබනු ලබයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 1976 51 දරණ පණතට යටත්වන තේත බිම් සංරක්ෂණය පිළිබද රැම්සා සම්මුතිය යටතේ රෑමස්සල කොරල් පරය හා ජෛව පද්ධතීන් රැකගැනිමට රජය ජාත්‍යන්තරිකව බැදී ඇත. කෙසේ වුවද ස්වාභාවිකව නිර්මාණය වූ එල් නිනෝ ක්‍රියාවලිය හා සුනාමි උවදුරත් 2010 දී ඇතිවු සුළි සුලං ත්ත්වයත් නිසා රූමස්සලට පාරිසරික හානියක් සිදු විය. එහිදී වූ දියවැල් ප්‍රවාහයන්ගේ වෙනස්කම් මත උණවටුන බටහිර වෙරළ තීරය ඛාදනය වීම සිදුවන ලදී.

දිය කඩනය ඉදිකිරිම මගින් සිදුවන බලපැම

එහිදි ප්‍රදේශවාසින් හා ඇතැම් රාජ්‍ය නිළධාරින් පවසන ආකාරයට විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව දිය කඩනයක් මෙම ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ අධිකාරිය මගින් ඉදිකරන ලදී. එම දියකඩනය කරනකොට ගෙන

I. අනතුරුදායක හා මුහුද තටාකයක් නිර්මාණය විම.
II. අවිධිමත් හා අස්වාභාවික වෙරළ තීරයක් නිර්මාණ විම.
III. රන්වන් වෙරළක් වෙනුවට දුඹුරු පැහැ වැලි සහිත වෙරළක් ඇති විම.
IV. සුදුවැලි සහිත වෙරළක් වෙනුවට රළු වැලි සහිත වෙරළක් නිර්මාණය විම.
V. ක්‍ර‍මානුකූල බෑවුම් සහිත වෙරළ වෙනුවට අධික බෑවුම් සහිත වෙරළක් ඇති විම.
VI. සංචාරකයින්ට මුහුදු වෙරළේ ගැවසීමට නොහැකි ලෙස වෙරළ රත්විමට ලක්වීම.
VII. වසර මුළුල්ලේම සංචාරකයින්ට දියනෑමට හැකිව තිබු පරිසරය කෙටිකලකට සිමා විම.
VIII. පැවති සුවශේෂි පාරිසරික වෙනස් විම් මත ඉහළ වියදමක් දැරෑ අධ්‍යාපනික සංචාරකයින් ඈත් විම.
IX. මතස්‍ය අභිජනනය අවම වි ජෛව විවිධත්වය අවම විම.

මෙම තත්වයන් අධ්‍යයනය කිරිම පිළිබද පාර්ලිමේන්තු උපදේශණ කාරක සභාවේ අවධානයට ලක්වු අතර 2013 .11. 15 දින රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අවධානයට ලක්වි ඒ අනුව වෙරළ සංරක්ෂණ උපදේස් මත එල්. එච්. අයි ආයතනය හෙවත් ලංකා හයිඩ්‍රොලික් ඉන්ස්ටිටියුට් ආයනය මගින් සිදුකල පර්යේෂණ වාර්තාවේ සංක්ෂිප්ත සටහන අනුව “ …Removal of breakwater couple with sand nourishment is a the desired option in the morphological perspective” ඒ අනුව අවිද්‍යාකත්මක ක්‍රියාකාරකම් මත සමස්ථ ජන ජීවිතයේ යහපැවත්මට මෙමගින් ඇති කර ඇති බලපැම ලඝු කාරක නොවන්නේය. මෙලෙස 2014 – 2016 කාලයේ, සංචාරක කර්මාන්තය මෙම ප්‍ර‍දේශයේ දැඩි බලපැමට ලක්විය. 2013 ලෝන්ලි ප්ලැනට් එකේ 13 වන ස්ථානයට තිබුණ මෙම කලාපය 20 වන ස්ථානය දක්වා පහතවැටි ඇත.

අරලිය හෝටලය මගින් කරන බලපෑම‍

උණවටුනේ දශක පහක පමණ කාලයක සිට පැවත එන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්ත ව්‍යාප්තිය හා එකි කර්මාන්තයෙන් සංචාරක ව්‍යාපාරයට මෙන්ම ආර්ථිකයට ලැබුණ දායකත්වය නොසලකා සහ උණවටුන පරිසරය නොතකමින් අරලිය හෝටලය නම් අධි උස (High Rise Building) මහා පරිමාන සංචාරක ව්‍යාපාර ස්ථානයක් ඉදිකර අවසන්ව ඇත. නමුත් එකි ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍යවන මූලික නෛතික අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ නොකිරීමේ හේතවෙන් එකී හෝටලය ආරම්භ කිරීම සදහා මෙතෙක් අනුමැතිව ලබාදී නොමැත.

ඉහත කි ව්‍යාපෘතිය නිතියට අනුව අනුමැතියන් ලබා නොගෙන ඇති නීතී විරෝධී ව්‍යාපෘතියක් වේ. නීතී විරෝධීභාවයට උදාහරණ,

2003.01.03 දිනැති අංක 1269/25 දරණ ගැසට් පත්‍රයෙන් උණවටුන රූමස්සල අභය භූමියක් බවට පත්කර ඇති අතර ඉහත කී ව්‍යාපෘතිය එකි සංවේදී පාරිසරික කලාපය තුළ හා/හෝ මායිම් තුළ ක්‍රියාත්මක වීම.
එම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන පනතේ පනවා ඇති රෙගුලාසි මත අධි උස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජිත ඉඩම අඩි 40 ක් පළලැති මාර්ග ප්‍රවේශයකට මුහුණලා තිබිය යුතුය යන්න අනිවාර්යයෙන් පිළිපැදිය යුතු රෙගුලාසියක් වේ. මේ සදහා මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවක් වන SC/FR 621/2010 නඩු තින්දුව බලපැවැත්වේ. මෙම හෝටලය සඳහා හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාර්ග ලේඛණයන්ට අනුව වැල්ලේ දේවාල පාර, බොනවිස්ටා පාර, කුළුණු කන්ද පාර යන සියළු පාරවල් 2014 ගැසට් පත්‍ර‍ට අනුව අඩි 16 ට වඩා අඩු මාර්ග ප්‍රවේශයන් වන්නේය.
ඉහතකී හොටලය ඉදිකිරීමේ දී බැහැරකරන අප ද්‍ර‍ව්‍ය හා අපවිත්‍ර‍ජලය (Sewerage and waste water) බැහැරකිරීමට යෝජිත වූයේ එකතැන පල්වන උණවටුන ඕලන්ද ඇළට සහ ඒ හරහා උණවටුන සංවේදී සමූද්‍ර‍ පරිසරයට බැහැර කිරීමට වන අතර එමගින් අතිශය බරපතල පාරිසරික ගැටළු උද්ගත වනු නියතය.

උණවටුන වැල්ල දේවාලය ආසන්නයේ ඇති මුහුදු වෙරළ දෙස් විදෙස් සංචාරකයින්ගේ තෝතැන්නක් වන නමුත් එකී ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු එකී මුහුදු වෙරළ හෝටලයේ ආධිපත්‍යයට යට වීමෙන් දෙස් විදෙස් සංචාරකයින්ට භාාවිතා කිරීමට ඇති මහජන අයිතියට බලපානු නියතය.
ඉහතකි ව්‍යාපෘතිය මුලින්ම කාමර 250 ක් හා තට්ටු 14 ක් සදහා වන පාරිසරික අගැයීමේ වාර්තාව අනුමත කොට පසුව ඉන් බැහැරව කාමර 300 ක් බවට පත්කිරීම නිතියට පටහැනි හා පරිසරයට බලපාන ව්‍යාපෘතියක් බවට හඳුනාගෙන ඇත.

උණවටුන සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යාපාරය අභිබවා යා හැකි ඉහත කි හෝටලයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමෙන් පසු උණවටුන සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යාපාරයට සහ ප්‍රදේශයේ වැසියන්ට සිදුවිය හැකි බලපෑම අවමකර ගැනිම සදහා ක්‍ර‍මවේදයක් සංචාරක සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් සකස් කලයුතුය. මීට අමතරව රූමස්සල ප්‍රදේශයේ ඇති කඩොලාන ප්‍රදේශය විනාශකොට ඉදිකල මෙම හෝටලය 1986.03.10 දින දරණ නාගරික සංවර්ධණ අධිකාරියේ ගැසට් පත්‍රයේ 27, 29, සහ 30 වගන්ති උල්ලංඝණය කර ඇත්තිසේම ඉදිකිරීම් අනුමැතිය ලබාගැනීමේදි අඩි 40 ක පාරක් ලබාගත යතු වන කොන්දේසිය ද උල්්ලංඝනය කොට ඇත. තවද ග්‍රේටර් ගෝල් සංවර්ධන ව්‍යාපෘතිය මගින් මෙම ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස හදුනාගෙන ඇති අතර …….. හෝ දැවමය ඉදිකිරීම් වශයෙන් පමණක් ඉදිකිරීම් සිදුකිරීමට අනුමැතිය දී ඇත. ඒ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2021 ජනවාරි 21 පැවති පාර්ලිමේන්තු සැසියේදී ගරු නාලක ගොඩහේවා රාජ්‍ය ඇමතිතුමා සිදුකල කථාවේදීද තහවුරු කොට ඇත.

මහා පරිමාණ මල අපද්‍රව්‍ය, අධි සාන්ද්‍ර අපද්‍රව්‍ය, කරදිය ජලය පිරිපහදු කිරීමෙන් නැවත පරිසරයට එක්වන අධිලවන සංඝටක සහ මහාපරිමාන හෝටලයක දෛනික ක්‍රියාකාරකම් ඔස්සේ එක්වන අධිසාන්ද්‍ර පිරිසිදු කාරක නිසා සිදුවන රෑමස්සල සහ උණවටුන සංවේදී ජීවි පද්ධතිය අසමතුලිත කිරීම නැවත කිසිඳු ආකාරයකින් නිවැරදි කර ගත නොහැකි මහා පරිසර සංහාරයක් වනු නියතය. රෑමස්සල හරහා අඩි 40 ක පාරක් ඉදිකිරීම ඔස්සේ මෙම සංවේදී කළාපය හරහා දිවා රෑ සිදුවන මහා පරිමාන වාහන ගමනාගමනය හේතු කොට ඒ අවට පරිසරයේ සිදුවන පරිසර දුෂණය, ශබ්ද දුෂණය, වායු දූෂණය සහ ජල දූෂණය මෙන්ම ජෛව විවිධත්වයට එනම් එම සංවේදී පරිසරයේ ජීවත්වන ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට සිදුවන හානීය ගණනය කිරීමට පවා අපහසු විශාල ධාරිතාවකින් සිදු වීම නියතයක් වන අතර එය ධන කුවේරයන්ගේ ධනය භාවිතයෙන් නැවත නිවැරදි කල නොහැක. මේ සියල්ල සළකා බැලිමෙදී අපට ප්‍රත්‍යක්ශ වන්නේ රෑමස්සලට රෑමස්සල ලෙස පැවතීමේ අයිතිය උදුරා ගැනීමට භු දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් සහ මහා පරිමාණ ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් සැළසුම් කෙටුම්පත් සකස්වන බවයි. විවිධ දේශපාලනික ප්‍රවාහයන් සහ ව්‍යාපාරිකයින් රෑමස්සල දෙස බලන්නේ විවිධ කෝණයන්ගෙන් පටු ආර්ථික වුවමනාවන් වෙනුවෙන් වුවද පරිසරයට ආදරය කරන පරිසරයේ අයීතින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන්, පරිසර ලෝලීන් සහ සබුද්ධික ජනතාව රෑමස්සල දෙස බලන්නේ සජීවි සංවේදී පරිසර පද්ධතියක් ලෙසයි. රෑමස්සල සුවිශේෂි පරිසර පද්ධතිය ගාල්ලේ උරැමයකි, දකුණු පළාතේ උරැමයකි, ජාතික උරැමයකි, ලෝක උරැමයකි. රෑමස්සලට රෑමස්සල ලෙස ජීවත්වීමේ අයිතිය සුරැකිමු. බොනවිස්ටා නාමයේ ගැබ් වූ දැකුම්කළු දසුන ආරක්ෂා කරමු.

සුරකිමු රෑමස්සල ජනතා ව්‍යාපාරය / ජීවයේ අයිතිය ව්‍යාපාරය
සැකැස්ම
ආචාර්ය ශම්මික ලියනගේ

(මෙම සටහන කෙටුම්පතකි. සංශෝධනයන්ට යටත්ය)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *