කොමිසම්වලින් JVP බියවැද්දිය හැකියැයි සිතන්නේ නම් එය බරපතළ වැරදීමක් – ජනතා විමුක්ති පෙරමුණ

දඬුවම් කොමිසම්වලින් ජ.වි.පෙ. බියවැද්දිය හැකියැයි සිතන්නේ නම් එය බරපතළ වැරදීමක් - ජනතා විමුක්ති පෙරමුණ

දඬුවම් කොමිසම්වලින් ජ.වි.පෙ. බියවැද්දිය හැකියැයි සිතන්නේ නම් එය බරපතළ වැරදීමක් - ජනතා විමුක්ති පෙරමුණ

දඬුවම් කොමිෂන් හරහා ජ.වි.පෙ. බියවද්දා වංචනිකයින් දූෂිතයින් හෙළිදරව් කිරීම නැවැත්වීම හැකියැයි සිතනවා නම් එය බරපතළ දේශපාලන වැරදීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා (01) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළකරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පසුගිය 29 වැනි දින ගැසට් පත්‍රයක් මගින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසම හරහා සිදුකිරීමට යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමර්ග පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා:

“ජනධිපතිවරයා පසුගිය 29 වැනිදා අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කළා. එමගින් අලුතින් ජනාධිපති කොමිසමක් පත් කළා. අපි දන්නවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් පසුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා දෙකක් පත් කළා. එකක් පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා. දැන් එය කිසිදු ප්‍රතිඵලයක් නොලබාම අවසන් වී තිබෙනවා. අනෙක දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවයි. එහි වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා අතට පත්වීමෙන් පසුව දැන් එහි නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කැබිනට් තීරණයක් ලබා ගත්තා. ඉන්පසුව දැන් ඒ සම්බන්ධ දඬුවම් දීමට අදාළව කටයුතු කිරීම සඳහා මේ නව ජනාධිපති කොමිසම පත්කොට තිබෙනවා.

ජනාධිපතිවරයාගේ පළිගැනීම් කොමිසමේ නිර්දේශයක් තිබෙනවා නඩු පැවරීමට මැදිහත් වුණු අයට නඩු පවරන්න. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම නව ජනාධිපති කොමිසම පත්කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙක් මෙහි කොමසාරිස්වරුන් ලෙස පත්කොට තිබෙනවා. ඔවුන්ට පැවරී තිබෙන්නේ කලින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ තීරණ ගැනීමයි. මේ අලුත් කොමිසමේ විශේෂත්වයක් තියෙනවා. ඒක පරීක්ෂණ කොමිසමක් නොවෙයි. කලින් කොමිසම පරීක්ෂණ කොමිසමක්. මීට කලිනුත් ජනාධිපතිවරු පරීක්ෂණ කොමිසම් විශාල සංඛ්‍යාවක් පත්කර තිබෙනවා. ඒවායේ වාර්තාද ඉදිරිපත් කර තිබෙනවා. ඒවායේ බොහොමයක් වාර්තා ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඒක සම්ප්‍රදායක් වෙලා තිබුණා.

නමුත් ජනවාරි 29 පත්කළ කොමිසම, පරීක්ෂණ කොමිසමකින් ඔබ්බට ගොස් දඬුවම් නියම කිරීමේ අධිකරණ බලයක් සහිත කොමිසමක්. අපි විශ්වාස කරනවා, අපේ සමාජය විසින් මෙය අවබෝධ කර ගත යුතු බරපතළ තත්වයක් කියලා.”

“මෙවැනි කොමිසමක් පත්කරන්නේ ඇයි? ජනාධිපතිවරයාට මෙම කොමිසම පත්කිරීමේ අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ඔහුගේ පවුලේ අයට සහ හිතවතුන්ට වංචා-දූෂණ, රාජ්‍ය දේපළ අවභාවිතාව, මිනිස් ඝාතන සම්බන්ධයෙන් පැවරී ඇති නඩුවලින් ඔවුන් නිදහස් කර ගැනීම. ඇතැමුන්ට එරෙහිව දැනට අධිකරණයන්හි නඩු විභාග වෙමින් තිබෙනවා. තවත් ඒවා අවසන් වී තීන්දු ලබා දී තිබෙනවා. එවැනි නඩු 79කින් චෝදනා ලබා තිබෙන පිරිස නිදහස් කර ගැනීමට ඔවුන්ට වුවමනා වී තිබෙනවා. එයට කොමිසමක් අවශ්‍ය වන්නේ ඇයි? නඩු විභාගකරමින් තිබියෙදී, ඔවුන් නිවැරදිකරුවන් නම් එය අධිකරණය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂීභාවය පෙන්විය යුතුයි. අධිකරණයට දේශපාලන බලපෑම් එල්ලවෙනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට කියන්න බැහැ. දේශපාලන බලයේ සිටින්නේ ඔවුන්. ඔහු ජනාධිපති, ඔහුගේ සොහොයුරා අගමැති, අලි සබි්‍ර මහතා අධිකරණ ඇමති, ලෙස සිටියදී විපක්ෂයෙන් අධිකරණයට බලපෑම් වනවායැයි කිසිවෙක් කියන්නේ නැහැ. එමනිසා ඔවුන් කළ යුතුව තිබෙන්නේ එම නඩුවලට පෙනී සිට, තමන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය ඉදිරියේ ඔප්පුකර සිටීමයි. එහෙත් දැන් ඔවුන් උසාවි පැමිණීමට බියවී තිබෙනවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතාත් පසුගිය කාලය පුරාවටම අධිකරණයේ පෙනී නොසිටීම සඳහා නියෝග ලබා ගත්තා. ඔහු නඩු එකකටවත් උසාවිය හමුවේ පෙනී සිටියේ නැහැ. ඔවුන් පවතින අධිකරණයට බයයි. ඒ, මේ නඩු විභාග වුවහොත් ඒවා ඔප්පු වන නිසයි. මේවා දේශපාලන පළිගැනීම් නම් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට එන්නැයි අපි ගෝඨාභය මහතාට අභියෝග කරනවා. අප විසින් පවරන ලද නඩු ගණනාවක්ද මේ තුළ තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් අපට ලැබී ඇති තොරතුරු අධිකරණය හමුවේ ඔප්පු කරන්න අපි සූදානම්. ඔවුන් බිය වී සිටින්නේ එම තත්වයටයි. මෙම චෝදනා ලබා ඇති පවුලේ පිරිස සහ හිතවතුන් නිදහස් කර ගැනීම සඳහා හොර පාරක් මේ කොමිෂන් හරහා කපා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. කලින් කොමිසමෙන් තමන්ට අවශ්‍ය වාර්තාවක් හදාගත්තා. එම කැකිල්ලේ කොමිසමෙන් ලබාගත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ බලයක් සහිත මෙම නව ජනාධිපති කොමිසම පත්කර තිබෙනවා.

මෙම කොමිසම පත්කිරීමේ අනෙක් අරමුණ වන්නේ තමන්ගේ විරුද්ධවාදීන්ට දඬුවම් පැමිණවීමේ වුවමනාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාත්, පවුලේ අයත්, සිතේ අමාරුවෙන් සහ කෝපයෙන් සිටින බව අපි දන්නවා. ඔවුන් නඩු පැවරූ අයගෙන් පළිගැනීමේ වුවමනාවෙන් සිටිනවා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් පළිගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. නව කොමිසම පත්කිරීමේ අරමුණම වැරදියි. ගෝඨාභය රාජපක්ෂ මහතා කලින් පත් කළ කොමිසම නම් කළේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසම ලෙසයි. නමුත් අපි කියන්නේ එය තමන්ට විරුද්ධව නඩු පැවරූ අයගෙන් ‘පළිගැනීමේ කොමිසම’ක් කියලයි. එයින් ලබාගත් නිර්දේශ මත අධිකරණ ක්‍රියාමාර්ග ගන්න යනවා නම් එය ඉතාමත් පහත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. නීතිය අවභාවිතා නොකරන්නයි අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට කියා සිටිනවා. ඔහු තමාගේ විධායක බලය පාවිච්චි කරමින් නීතිය අවභාවිත කරනවා. අපේ රටේ නඩු ඇසීම සඳහා අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. යම් අධිකරණයකින් ලැබෙන තීන්දුවලට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනා කළ හැකියි. මේ පටිපාටිය මගහරිමින් විශේෂ කොමිෂන් පත්කරන්නේ නීතිය අවභාවිතා කිරීමේ අරමුණ වෙනුවෙන්. ඉතිහාසයේ 1972 සහ 1978 කොමිෂන් සභා දෙක පිහිටවූයෙත් තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහායි. ඒවා ශිෂ්ට සමාජය පිළිගන්නේ නැහැ. ඒවා ගෝත්‍රික ලක්ෂණ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් සූදානම් වන්නේ ඒ පාරේ යන්නයි. දේශපාලන පළිගැනීම් සෙවීම සඳහා යැයි කොමිසමක් පත්කර දේශපාලන පළිගැනීම් කිරීමට ඔහු සූදානම් වෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *