එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයකු රුපියල් ලක්‍ෂ 40ක වියදමින් හදන්න යන බෞද්ධ චෛත්‍යය

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයකු රුපියල් ලක්‍ෂ 40ක වියදමින් හදන්න යන බෞද්ධ චෛත්‍යය

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයකු රුපියල් ලක්‍ෂ 40ක වියදමින් හදන්න යන බෞද්ධ චෛත්‍යය

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයකු රුපියල් ලක්‍ෂ 40ක වියදමින් බෞද්ධ විහාරස්ථානයක චෛත්‍යයක් හදන්න බාර අරන්. මේ කතාව ඇහුවාම පොඩි අමුත්තක් දැනෙන්න ඇති. මෙය පසුගිය දින කිහිපයේ අන්තර්ජාලයේ උණුසුම් ලෙස හුවමාරු වෙන්නත් ඒකම හේතුවත් වෙන්න ඇති. හැබැයි මේ කතාව බොරුවක් නෙවේ ඇත්තක්.

මේ සිදුවීම අපට වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලිඔය ශ්‍රී දේවගිරි විහාරස්ථානයෙන්. එම විහාරස්ථානයට විශාල අඩුවක්ව පැවැති චෛත්‍යයක් ඉදිකර දීමට ඉදිරිපත් වෙලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්ව හමුදාවට බාර වීමෙන් පසුව පුනරුත්ථාපනය වී මේ වන විට කොන්ත්‍රාත්කරුවකු ලෙස ව්‍යාපාරික කටයුතු කරන්නෙකි. හෙතෙම සිය ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්‍ෂ 40ක් වියදම් කර දේවගිරි විහාරස්ථානයට චෛත්‍ය ඉදිරකර දීමේ වගකීම බාරගෙන තිබේ.
උපතින්ම හින්දු භක්තිකයකු වන කිරුබාකරන් බෞද්ධ පොතපත කියැවීමෙන් හා භික්‍ෂුන් වහන්සේලාගෙන් ලබාගත් දැනුමෙන් බෞද්ධ ආගම කෙරෙහි ආශාවක් ඇතිකර ගෙන තිබේ. එතැන් පටන් බෞද්ධාගම වැළඳගන්නා කිරුබාකරන් දානමාන, පුණ්‍යකර්මවලට ඉදිරිපත්ව ඇත්තේ දැඩි කැමැත්තෙනි.

සටන්බිමේදී පාදයක් අහිමි වූ ඔහු මේ වන විට සිය ධන පරිත්‍යාගයෙන් කර ඇති පින්කම් රාශියකි. ඒ අතර, වැලිඔය නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ ලක්‍ෂ හයහමාරක වියදමින් කළ බුද්ධ ප්‍රතිමාව තවත් විශේෂ පුණ්‍යකර්මයකි.
වරක් අනුරාධපුර රුවන්මැලි සෑරදුන් වන්දනා කරන්නට පැමිණි කිරුබාකරන්ට බෞද්ධ පොතපත කියැවීමේ ආශාවක් සහ පෙළඹවීමක් ඇති වී තිබෙන අතර, එතැන් පටන් සිය කැමැත්ත අත්නොහළ ඔහු බෞද්ධාගම පිළිබඳව බොහෝ දේ දැනඉගෙන ගත් බව පැවැසේ. මේ වන විට 38 හැවිරිදි කිරුබාකරන් දෙදරු පියෙකි. ඔහු සිය කතාව මාධ්‍යයට හෙළිකළේ මෙලෙසිනි.

මගේ අම්මයි, තාත්තයි දෙන්නම ජීවතුන් අතර ඉන්නවා. තාත්තා රත්තරන් බඩු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒ නිසා අපට හොඳට සල්ලි තිබුණා. අයියා කෙනෙක්, නංගිලා දෙන්නෙක් හා මල්ලි කෙනෙක් මට ඉන්නවා. මම පවුලේ දෙවැනියා. එක නංගී කෙනෙක් යුද්ධය කාලේ මියගියා.

මම ඉගෙන ගත්තේ මුලතිව් විද්‍යානන්ද මහා විද්‍යාලයෙන්. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒ කාලයේ එක පවුලකින් කෙනෙක් සංවිධානයට බැඳිය යුතු බවට නියෝගයක් පනවා තිබුණා. එහෙම නැත්නම් ගෙදරට ඇවිත් හරි බලහත්කාරයෙන් පැහැරගෙන යනවා. ඒ අනුව එම නියෝගයට අවනත වෙමින් මම එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණා. මම 10 වැනි වසර දක්වා පමණක් ඉගෙනගෙන තිබෙනවා. 2006 වසරේ මම කොටි සංවිධානයට බැඳුණා. එතකොට මගේ වයස අවුරුදු 23ක් වෙනවා. ගරිල්ලා සටන් ක්‍රම පිළිබඳව මාස 3ක පුහුණුවක් ලැබුවා. කොටි සංවිධානයේ මගේ ලියාපදිංචි අංකය 563. සංවිධානය මට ‘කාර්මුගිලන්’ කියන නම ලබා දුන්නා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එවකට සිටි ප්‍රධාන පෙළේ නායකයකු වන කර්නල් තීපන් යටතේ ඔහුගේ සන්නද්ධ බළකායේ සේවය කළා. කොටි සෙබළෙක් විදිහට බැඳුණු මම පසුකාලයක කපිතාන් තනතුරට උසස් කළා.
මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ හමුදාවක් එක්ක සටන් කිරීමට ගොස් එක් කකුලකට වෙඩි වැදී බරපතළ තුවාල වුණා. ඉන්පසු කොටි සංවිධානයේ වෛද්‍යවරු ශල්‍යකර්මයකින් එම වෙඩි වැදුණු කකුල දණ හිස පහළින් කපා ඉවත් කළා.

මාස හතරක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවය ලැබූ පසු ඉදිරිපෙළ කොටි සටන්කරුවන්ට කෑම – බීම සැපැයීමට මාව යෙදෙව්වා.

වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ අවසන් සටන් පැවැති වකවානුවේ එනම් 2009 වසරේ අප්‍රේල් මාසයේ 05 වැනිදා කොටි අඩවියෙන් පැන ඇවිත් යුද හමුදාවට බාර වුණා. මාත් එක්ක එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් දහදෙනකු පමණ සාමාන්‍ය ජනතාව අතරේ සැඟවී එදා හමුදා පාලන ප්‍රදේශයට කොටි වෙඩි වරුසා මැද්දේ පැන ආවා.
අපි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරිපෙළ සටන්කරුවන් වුවත්, යුද හමුදාව අපිට කිසිම කරදරයක්, හිරිහැරයක් කළේ නැහැ. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනෑ. යුද හමුදාව අපිට හොඳට සැලකුවා. පසුව පුනරුත්ථාපනයට යැව්වා. මම එහිදී හොඳට සිංහල කතා කරන්න ඉගෙන ගත්තා.

අපි එල්.ටී.ටී.ඊ. එකට බැඳුණට පස්සේ නායකයන් ඉගැන්නුවේ සිංහල ජාතිය මිනීමරු ජාතියක් කියලයි. එය පට්ටපල් බොරුවක් බව පස්සේ අවබෝධ වුණා. අපේ ජාතියටත් වඩා සිංහල ජාතිය හොඳයි කියා මා බය නැතිව කියනවා.
පස්සෙ කාලෙක මං නයාරු ගුරුකන්ද පන්සලේ මේධාලංකාර කිත්ති හිමියන්ගේ ඇසුරට පත්වුණා. උන්වහන්සේගෙන් බණ දහම් ගැන අවබෝධයක් ලබාගත්තා. දෙමළ භාෂාවෙන් ලියැවුණු බෞද්ධාගමික පොතපත කියවා දැනුම තවදුරටත් වැඩිදියුණු කරගත්තා. දවසක් මම අනුරාධපුර රුවන්මැලිසෑය වඳින්න ගියා. ඒ වෙලාවේ තමා බුදුදහම ඉගෙන ගන්න ඕනෑ කියා මුලින්ම අදහසක් පහළ වුණේ. මේධාලංකාර හිමියන් මේ වෙනකොට අපවත් වෙලා. මේධාලංකාර හිමියන්ගේ දේහය පන්සලට ගේන්න ඉඩ දෙන්න බැහැ කියා දෙමළ අන්තවාදීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණා. මේධාලංකාර නාහිමියන්ට කරන ගෞරවයක් වශයෙන් මම ලක්‍ෂ 6 1/2ක් විතර වියදම් කරලා බුදුපිළිමයක් පන්සලේ හැදුවා. ජල පහසුකම් ලබාදුන්නා.

වැලිඔය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානයට කාලයක් තිස්සේ ලොකු අඩුපාඩුවක්ව පැවැති චෛත්‍යයක් ඉදිකිරීමේ වැඩ මේ වෙනකොට ආරම්භ කර තිබෙනවා. චෛත්‍යයේ ඉදිකිරීම්වලට ලක්‍ෂ 40ක් විතර වැයවන බවට ගණන් බලා තිබෙනවා.

රුවන්මැලි මහසෑය පිහිටි ස්ථානයේ 2019 වසරේ ලක්‍ෂ 3 1/2ක් විතර වියදම් කර පිඩලි ඇල්ලුවා.
මම කාලයක ඉඳලා සෑම පොහොයකටම අනුරාධපුරයට ගිහින් රුවන්මැලි මහාසෑය වන්දනා කරන්න අමතක කරන්නේ නැහැ. මම ඉපදුණේ 1982 වසරේ සැප්තැම්බර් මාසයේ 18 වැනිදා. පසුගිය වසරේ මගේ උපන් දිනය දවසේ අටපිරිකර 150ක් රුවන්මැලි සෑයට පූජා කළා.

ප්‍රභාකරන් හමුදාවෙන් වෙඩි කා මියගිය බව අසා මා ලොකු සතුටකට පත්වුණා. මේ කිව්වේ ඇත්තමයි. අද අපි කවුරුත් නිදහසේ ජීවත් වෙනවා. ඒ නිදහස සෑම ජාතිකයකුටම අත්කර දුන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ලාට සමස්ත ජාතියේම ප්‍රණාමය හා ගෞරවය හිමිවෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරි පෙළ සටන්කරුවන් වුණත් අපිට ජීවිත දානය ලැබුණේ එතුමන්ලා නිසා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *