ඉන්දියානු ගොවි වීදි විරෝධය සහ ගෞතම් අදානි

ඉන්දියානු ගොවි වීදි විරෝධය සහ ගෞතම් අදානි

ඉන්දියානු ගොවි වීදි විරෝධය සහ ගෞතම් අදානි

ගොවි ජන දුක

ලෝක බැංකු වාර්තාවලට අනුව ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් 40%ක් ගොවියෝ වෙති. 2014 සිට 2019 කාල පරාසය තුළ ගොවීන්ගේ වැටුප් අඩු මට්ටමක පැවති අතර ඔවුන් මුහුණ දුන් නියඟය සහ ජල ගැලීම් හේතුවෙන් ඔවුන්ගේ ආදායම පහළ වැටුණු අවස්ථාද තිබේ. 2017 වසරේ පැවති 2.5%ක උද්ධමනය 2019දී එය 7.7%ක අගයක් ගනු ලැබීමද ගොවීන්ගේ ජීවන වියදම කෙරෙහි බලපාන ලද සාධකයක් විය. කෘෂි ප්‍රතිපත්ති විද්වතෙකු වන දේවින්ද ෂර්මාට අනුව දශක ගණනාවක් මුළුල්ලේ ගොවීන්ගේ ආදායම එකම මට්ටමක පැවති අතර ඔවුන්ගේ ආදායම මසකට රුපියල් දෙතුන් දහසකින් වැඩිවීමක් සිදුවුවද එය පවතින උද්ධමනකාරී තත්ත්වය සමග සසඳා බැලීමේදී එහි සැලකිය යුතු වටිනාකමක් නොමැත.

Organisation for Economic Co-operation and Development වාර්තාවකට අනුව ගොවීන්ගේ ආදායම වාර්ෂිකව වැඩිවී ඇත්තේ 2%ක ප්‍රමාණයකින් පමණය.

2017 වසරේදී රජයේ කමිටු වාර්තාවකට අනුව 2022දී ගොවීන්ගේ ආදායම දෙගුණයක් වීම සඳහා 2015 වසරේ සිට ඔවුන්ගේ ආදායම 10.4%කින් වර්ධනය විය යුතු බව පෙන්වා දුන්නද එවැනි ආදායම් වර්ධනයක් ඇති නොවීය.
National Bank for Agriculture and Rural Development විසින් කරන ලද සමීක්ෂණයකට අනුව 2016 වසරේ සිට ඉදිරි වසර තුනක කාලය තුළ ගොවීන්ගේ ණයගැතිභාවය දෙගුණයකින් වර්ධනය වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2019 වසරේදී ගොවීන්ට වාර්ෂිකව ඉන්දීය රුපියල් 6000ක මූල්‍ය ආධාරයක් ලබාදිය යුතු බව ප්‍රකාශ කරනු ලදුව එය ප්‍රාන්ත හයක ක්‍රියාත්මක විය. ෂර්මාට අනුව එය නිවැරදි තීරණයක් වුවද එහි ප්‍රතිඵලය කුමක්ද යන්න ප්‍රකාශ කිරීමට දත්ත සොයා ගැනීමේ අසීරුතාවක් පවතී.

1966දී ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකට ‘හරිත විප්ලවය’ (Green Revolution) වැඩසටහන යටතේ වැඩි දියුණු කළ බීජ, රසායන ද්‍රව්‍ය සහ වාරිමාර්ග ක්‍රමවේද කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදුව ආරම්භක යුගයේදී ගොවීන් ඊට ඇබ්බැහි වුවද දිගුකාලීන වශයෙන් එය පවත්වාගෙන යෑමේදී ඒ සඳහා යෙදීමට නියමිත පොහොර සහ වල්නාශක වෙනුවෙන් අධික මිලක් දැරීමට, ඒ වෙනුවෙන් අධික ලෙස ණය ලබා ගැනීමට සිදුවීම යනාදිය සැලකීමේදී අස්වැන්නෙන් ලාභ ලබා ගැනීමට නොහැකිවීම, සාම්ප්‍රදායික ගොවික්‍රමවලින් ඉවත්වීමට සිදුවීම, පරිසර හානි සිදුවීම සහ විෂ නාශක යෙදීමෙන් ගොවීන් අන්ධභාවයට මෙන්ම පිළිකා රෝගවලට භාජනය වීම හේතු කොටගෙන ගොවීන්ට තමන් විසින් ලබා ගන්නා ලද ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගැනීමටද සිදුවිය.) එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014දී ඉන්දියාවේදී පිළිකා තීරුව (Cancer Belt) වශයෙන් පන්ජාබ් ප්‍රාන්තය හඳුන්වන ලදි. 1995 සිට මේ දක්වා ණය ගෙවා ගැනීමට නොහැකිව 3,00,000කට පමණ ගොවීන් පිරිසක් සියදිවි හානි කරගෙන තිබෙන බව පැවසේ. නව තාක්ෂණය යටතේ ගොවිතැන් කිරීමට හුරුවීමෙන් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම මුළුමනින්ම විනාශ වී ගිය අතර වත්මන් ගොවි ගැටලුවලට බලපාන ලද ඓතිහාසික හේතු අතර මෙම කාරණය ප්‍රබල සාධකයන් වන බව අතිශයෝක්තියක් නොවේ.

ඉහත සඳහන් සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉන්දියානු ගොවීන් මුහුණ දෙන බරපතළ කරුණු වන්නේ ගොවිබිම් අහිමිවීම, ණය බර, වියපත් ගොවීන්ට විශ්‍රාමික දීමනා නොමැතිවීම, ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොමැතිවීම, ස්වභාවික ආපදා, ජල හිඟය, පොහොර සහ වල් නාශක වෙනුවෙන් අධික මිලක් දැරීම සහ කෘෂි ක්ෂේත්‍රය රජයේ ග්‍රහණයෙන් මිදී පුද්ගලික අංශය වෙත යොමුවීමය.

මෝදි-අදානි දීගය සහ බොරු පොරොන්දු

භාරතීය ජනතා පක්ෂයේ 2014 වසරේ මැතිවරණ ප්‍රකාශනයට අනුව නරේන්ද්‍ර මෝදි විසින් ගොවි නිෂ්පාදනවල පිරිවැයට වඩා අවම වශයෙන් 50%ක මිලක් ධාන්‍ය සඳහා ලබාදීමට පොරොන්දු වූ අතර 2022දී කෘෂි ක්ෂේත්‍රය තුළ ගොවීන්ගේ ආදායම දෙගුණයකින් වැඩි කළ හැකි අයුරින් කෘෂිකර්ම ක්ෂේත්‍රය වැඩි දියුණු කරන බවට 2016දී මෝදි පැවසීය. ඔහු විසින් ගොවි ජනතාවට ලබාදෙන පොරොන්දු ප්‍රලාප බවට මේ වන විට පත්ව තිබේ.

මෝදි බලයට පැමිණීමෙන් පසු අදානි සමූහ ව්‍යාපාරයේ අධිපති ගෞතම් අදානි සමග ගජ මිතුරු සබඳතා පවත්වමින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අදානිගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙනු ලැබීය. එපමණක් නොව ඉන්දියාවේ කෘෂි කර්මාන්තය නංවාලීම සඳහා අදානි සහයෝගය ලබාගැනීමට ඔහු කටයුතු කළේය. ඒ අතර කෘෂි ක්ෂේත්‍රයට අදාළ නීතිරීති වුවද වෙනස් කිරීමට මෝදි කටයුතු කළ බව ගොවීන්ගේ පිළිගැනීමය.

නව කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ පනත්

Farmers Produce Trade and Commerce (Promotion and Facilitation) Act 2020, Farmers (Enpowerment and Protection) Agreement on Price Assurance and Farm Serrices Act 2020 and Essential Commodities Ammendment Act 2020 යන පනත් ත්‍රිත්වය මෝදි ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලදුව ඉකුත් සැප්තැම්බර් මස එය නීතිගත කරනු ලැබිණ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ කෘෂිකර්ම අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමර් කියා සිටින්නේ ඒවා ඉන්දියාවේ කොඳු නාරටිය වන කෘෂිකර්මාන්තය නගා සිටුවීම ඉලක්ක කරගනිමින් සම්මත කර ගන්නා ලද පනත් තුනක් බවය.

මේ තුළින් ඉන්දියාවේ ගොවි ජනතාවගේ නිෂ්පාදන ප්‍රමාණය සහ ආදායම ඉහළ යන බව ඔහු පැවසුවද ගොවීන් කියා සිටින්නේ ඔවුන්ගේ අභිලාෂයන් ඉටු නොවන අතර ඔවුන්ගේ කෘෂි ව්‍යාපාරයට දැඩි ලෙස හානියක් සිදුවන බවය.
මෙම නව පනත් මගින් ගොවි නිෂ්පාදන අලෙවිය, මිල කිරීම සහ ගබඩා කිරීමට අදාළව දශක ගණනාවක් මුළුල්ලේ පැවති නීතිරීති වෙනස් කොට ඇති බවත්, නව නීතිරීති ගෙන ඒමේදී ගොවි ජනතාවගේ අදහස් විමසීමකින් තොරව කටයුතු කර ඇති බවත් ගොවියෝ රජයට චෝදනා කරති.

ගොවි උද්ඝෝෂණයට සහභාගි වන නායකයකු වන ගුර්නාම් සිං චරුතිට අනුව මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සහ ඊට මිලක් නියම කිරීම තුළින් ඔවුන්ගේ ගොවි බිම් අහිමිව ගොස් ඔවුන්ගේ ආදායමද අඩුවී ඇත.

එපමණක් නොව මෙම නීති-රීති අදානි සමූහ ව්‍යාපාරයට වාසිදායක අයුරින් සකස් කර තිබෙන අතර ඒ මගින් ගොවි ජනතාවට අහිතකර බලපෑම් ඇති කරන බවද ගොවියෝ මැසිවිලි නගති.

වීදි අරගලය

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දියාවේ කෘෂිකර්මාන්තය අදානි සමූහ ව්‍යාපාරය අත්පත් කර ගැනීම සහ නව කෘෂි ප්‍රතිසංස්කරණ පනත් තුනට එරෙහිව ඉන්දියාව පුරා වීදි බැස තිබෙන විරෝධතාව සහභාගි වන ගොවි ජනතාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශ්වයන්ගේ ගණන මිලියන 250කට අධිකය. ගොවි සංවිධාන 40ක සහ විරුද්ධ පක්ෂ 14ක සහාය ඇතිව පැවැත්වෙන වීදි අරගලය අගනුවර සහ අනෙකුත් ප්‍රාන්තවල පැවැත්වෙන අතර නවදිල්ලි නුවර පැවැත්වෙන විරෝධතාව සුවිශේෂිතය.

ලෝකයේ වැඩිම කොවිඞ් 19 ආසාදිතයන් ගණනක් වාර්තා වන ඇමරිකාවට පසුව ආසාදිතයන් වැඩිම ගණනක් සිටින රාජ්‍යය ඉන්දියාව වන අතර, මේ වන විට එරට කොවිඞ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 108ක් ඉක්මවා ඇත. කොවිඞ් අවදානම නොතකා කිලෝමීටර් 30-50 අතර ප්‍රමාණයක් පයින් හෝ ට්‍රැක්ටර් මගින් නව දිල්ලි නුවරට ළඟාවී තිබෙන ගොවීන් තැන තැන කූඩාරම් ගසා ආහාර පිස ගනිමින් මහ පාරේ නිදා ගනිමින් සති කීපයක් මුළුල්ලේ අඛණ්ඩව විරෝධතාවක නියැළෙති.

ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්ව තිබෙන්නේ නව කෘෂි ප්‍රතිසංස්කරණ පනත් තුළින් කෘෂිකර්මාන්තය පුද්ගලික ව්‍යාපාරිකයකු වන අදානිගේ ආධිපත්‍යය යටතට පත් කිරීමෙන් වැළැක්වීම සඳහා අදාළ පනත් වහා අවලංගු කරන ලෙසය.

රජයේ නව පනත් ක්‍රියාවට නැංවීම තුළ මෙතෙක් ගොවි නිෂ්පාදන අලෙවි කළ රජයේ පාලනය යටතේ පවතින වෙළෙඳපොළ තුළ පැවති මිල ගණන් තීරණය කරන Minimum Support Price (MSP) ක්‍රමවේදය මුළුමනින්ම අහෝසි වී ගොස් ගොවි නිෂ්පාදන අලෙවිය, මිල කිරීම සහ ගබඩා කිරීම අදානි ව්‍යාපාරය අත්පත් කරගැනීමෙන් ගොවීන්ට බලවත් අසාධාරණයක් වන අතර එම සමාගම විසින් අධික ලාභ ලබන බවය.

ඉන්දියාව තුළ කුලය, ජනවර්ගය, ආගම යනාදී වශයෙන් බෙදීම් තිබුණද මෙම විරෝධතාවයේදී ඒ සියලු ආකාර වර්ගවාදී චින්තනයෙන් බැහැරව ගොවීන් ලෙස ඒකරාශිවී සිටීම සුවිශේෂය. මෙම අරගලය සඳහා දිල්ලි නුවරට රැස්ව සිටින පිරිස් අතර හරියානා සහ පන්ජාබ් ප්‍රාන්තවල ගොවීන් බහුතරයක් සිටින අතර ඔවුන්ගෙන් බහුතරය සික් ජාතිකයෝ වෙති.

විරෝධතාකරුවෝ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු වන Reliance Industries සභාපති මුකේෂ් අම්බානි සහ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි යන අයගේ පුවරු පුළුස්සා දමමින් විරෝධතාවයේ නියැළෙති. මේ වන විට විරෝධතාකාරයන් 21 දෙනකු පොලිස් වෙඩි පහර කෑමට ලක්ව මියගොස් තිබේ.

අදානිගේ ප්‍රතිචාරය

අදානි සමූහ ව්‍යාපාරය විසින් ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කිරීම, මිල කිරීම හෝ සිදු නොකරන බවත් අනෙකුත් සමාගම් මෙන් Food Corporation of India (FCI) ආයතනයට අවශ්‍ය ගබඩා කිරීමේ යටිතල පහසුකම් සැපයීම පමණක් සිදුකරන බව එම සමාගම පුවත්පත් දැන්වීමක් පළකරමින් ගොවි ජනතාව වෙත කියා සිටියි. 2005 වසරේ සිට තම සමාගම FCI ෂ ආයතනය සමග ගනුදෙනු කරමින් ධාන්‍ය වර්ග ගබඩා කිරීමේ කටයුතුවල නිරත වන බවද පවසයි.

‘ආහාර බඳුන’ සික්කරණය කිරීම

ඉන්දියාව තුළ වැඩිම ආහාර ක්‍රමය නිෂ්පාදනය කෙරෙන ප්‍රාන්ත හරියානා සහ පන්ජාබ් වන අතර එම ප්‍රාන්ත ‘ආහාර බඳුන’ (Food Bowl) යන අන්වර්ථ නමින්ද හැඳින්වේ. එම ප්‍රාන්තවල සිටින බහුතරය සික්වරුන් හෙයින් රජය සහ ඊට ළැදි සංවිධාන විසින් ගොවි අරගලය සික්වරුන් විසින් දියත් කර තිබෙන බවට අභූත චෝදනා නගමින් එය සික්කරණයක් බවට මේ වන විට පත් කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සික්වරුන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විදේශ රටවල සිටින සික් ජාතිකයන්ගේ අප්‍රසාදයද ඉන්දියාව කෙරෙහි පළවී තිබේ.

ගොවි අරගලය ජාත්‍යන්තරයට

විදෙස් ජනමාධ්‍ය මගින් ඉන්දියාවේ ගොවි වීදි අරගලය වාර්තා කිරීමත් සමගම ඊට සහාය පළකරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර මෝටර් කාර් විරෝධතා පෙළපාළියක් පැවති අතර එරට තවත් ප්‍රදේශ කිහිපයකද විරෝධතා රැලි සංවිධානය කර තිබිණ.

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෙව්ද ගොවි අරගලයට පක්ෂපාතීත්වය දක්වමින් අදහස් පළ කර තිබිණ.

ඉකුත් නොවැම්බර් 27 වැනි දින ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියා-ඕස්ටේ්‍රලියා එක්දින ක්‍රිකට් තරගාවලිය පැවති අවස්ථාවේදී තරුණයන් දෙදෙනකු අදානි සමාගම විසින් සිදු කරනු ලබන ඕස්ටේ්‍රලියාවේ විවාදාපන්න ගල්අඟුරු ව්‍යාපෘතියට විරෝධය පාමින් විරෝධතා පුවරු රැගෙන ක්‍රීඩාංගණයට ඇතුළත සැරිසරන්න විය.

ඔවුන් ඇඳ සිටි ටී ෂර්ට්වල ඉදිරිපස ‘Stop Adani’ යනුවෙන්ද පසුපස ‘Stop Coal# Stop Adani Take Action’යනුවෙන් සඳහන්ව තිබුණු අතර ඔවුන් අත දරා සිටි පුවරුවේ No $ IBW Adani Loan’ යනුවෙන් දැක්විණ. මෙය ඉන්දීය ගොවි විරෝධතාවට සහාය පළකිරීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

– ravaya

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *