කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වූ අලුත් තතු

නැගෙනහිර පර්යන්තය ගෙන කතාබහ තව දුර යයි

නැගෙනහිර පර්යන්තය ගෙන කතාබහ තව දුර යයි

වෘත්තීය සමිති විරෝධයන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වූ කතාබහ දිනෙන් දින අලුත් වෙමින් පවතී. ඒ වරාය වෘත්තීය සමිති ඒ සම්බන්ධයෙන් සිය විරෝධයන් ඉදිරියට ගැනීමත්, වරාය සේවක විරෝධතා උත්සන්න වීමට නොදී අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා යළිත් වරක් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟය.

ආණ්ඩුවේ එම තීරණය සාධාරණය කරමින් විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කීවේ නැගෙනහිර පර්යන්තය සඳහා ඩොලර් මිලියන 750ක් ආයෝජනය කළ හැකි ශ්‍රී ලංකා ආයෝජකයකු සිටී නම් පෙන්වා දෙන ලෙසය. මෙම කතාව සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නය වන්නේ එවැනි ආයෝජනයක් කළ හැකි ආයෝජකයකු රට තුළ සිටිනවාද යන්න ගැන ආණ්ඩුව සොයා නොබැලීමය. එසේ සොයනවා නම් සිදුකළ යුත්තේ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි ප්‍රසිද්ධියට පත්කිරීමය.

ලාංකික ආයෝජකයන්ට ඩොලර් මිලියන 750 කජ්ජක්දැයි සිතෙන්නේ යෝජනා කැඳවීමකින් තොරවම කොළඹ පෝට් සිටියට එල්ඕඑල්සී සමාගම වෙනුවෙන් එහි ආයෝජන සමාගම වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරීම තුළින්ය. එම ඓතිහාසික අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ සහභාගිවීමෙන් පෙන්නුම් කළේ රෝහිත අබේගුණවර්ධන නොදන්නවාට ශ්‍රී ලංකා ආයෝජකයන්ගේ හැකියාව ගැන ළඟින් ඇසුරු කිරීම තුළින් අගමැතිවරයා දන්නා බවය.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට ඩොලර් මිලියන 750ක මුදලක් වැය නොවන බවත්, එය සංවර්ධනය කිරීමට ගතවන අවුරුදු 7ක කාලයේදී සම්පූර්ණයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 556ක මුදලක් බවට වූ වාර්තාවක් එම පර්යන්තය රැකගැනීම සඳහා ඒකාබද්ධ වූ එහි වෘත්තීය සමිති පෙරමුණ දෙසැම්බර් 22 වැනිදා පැවති සාකච්ඡාවකදී රෝහිත අබේගුණවර්ධනට බාර දී ඇත. (මෙම වාර්තාව සකස් කර ඇත්තේ එම පෙරමුණ තුළ කටයුතු කරන වරාය ඉංජිනේරු සංගමයයි),

එම මුදලින් ඩොලර් මිලියන 65ක මුදලක් මේ වනවිටත් වරාය අධිකාරිය එම කටයුතු සඳහා වෙන්කර ඇති බවත්, තවත් ඩොලර් මිලියන 5ක් වරාය අධිකාරිය ඒ සඳහා වෙන් කළ යුතු බවත් එහි සඳහන්ය. ඉතිරි ඩොලර් මිලියන 486ක මුදල පර්යන්තයේ කටයුතු ආරම්භ කර ලැබෙන ආදායමින් සිදුකළ හැකි බව එම වාර්තාවේ විස්තර කර තිබේ. එම වාර්තාවේ ඇති කරුණු:

පළමු අදියර 2021

එස්ටීඑස් යනුවෙන් හඳුන්වන නැවේ සිට ගොඩබිමට කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර 4ක් හා ආර්ටීජී යනුවෙන් හඳුන්වන රබර් ටයර් යෙදූ ගැන්ටි්‍ර දොඹකර 12ක් එම අදියර සඳහා අවශ්‍ය බවත්, ඒ සඳහා වැයවන රුපියල් මිලියන 13,728ක මුදල (ඩොලර් මිලියන 65) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2020/2021 ප්‍රතිපාදන යටතේ දැනටමත් වෙන්කර ඇති බවත් එහි සඳහන්ය. එමෙන්ම එම මුදල 2021දී ඩොලර් මිලියන 13ක්, 2022දී 46ක් හා 2023දී 6ක් වශයෙන් වියදම් වීමට නියමිත බව සඳහන් කර ඇත.
මීටර් 600ක දිගකින් යුත්තව දැනට නිමකර ඇති නැගෙනහිර පර්යන්තයේ අග ඇති මීටර් 160කින් යුත් කොටස ගොඩකර නිමකිරීමට ඩොලර් මිලියන 5ක් වැය වන බව සඳහන් කර ඇත. ඒ සඳහා වරාය අධිකාරිය මුදල් යෙදවිය යුතුය. එම කටයුත්තෙන් පසු දැනට එහි සවිකර ඇති එස්ටීඑස් වර්ගයේ දොඹකර 3න් හා ආර්ටීජී වර්ගයේ දොඹකර 12කින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළ හැකි බව සඳහන් කර තිබේ.
පළමු වසර වූ 2021 වසරේදී වැය වන මුදල ඩොලර් මිලියන 18ක් බවත්, එම වසරේදී ඩොලර් මිලියන 50ක ආදායමක් ඉපැයිය හැකි බවත් එහි සඳහන්ය. එමෙන්ම දෙවන වසර වන 2022දී ඩොලර් මිලියන 46ක් වැයවන බවත් එම වසරේදී ඩොලර් මිලියන 55ක ආදායමක් වශයෙන් මුළු ආදායම ඩොලර් මිලියන 105ක් ඉපැයිය හැකි බව පෙන්වාදී ඇත.

දෙවන අදියර 2023

නැගෙනහිර පර්යන්තයේ දිග තවත් මීටර 750කින් ගොඩකර දිගු කළ යුතු බව හා මීටර් 600ක දිගකින් යුත් වත්මන් පර්යන්තය තවත් මීටර් 450ක ප්‍රමාණයකින් පළල් කළ යුතු බව පෙන්වාදී ඇත. එම පළල් කිරීම මඟින් කන්ටේනර් මෙහෙයුම් කළ හැකි හෙක්ටයාර් 27ක භූමියක් නි්ර්මාණය වන බව පෙන්වාදී ඇත. මේ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 200ක් වශයෙන් පෙන්වාදී ඇත. එම වැය 2023දී ඩොලර් මිලියන 40ක්, 2024දී 80ක්, 2025දී 70ක් හා 2026දී 10ක් වශයෙන් වැයවන බවත් එය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආදායමෙන් කළ හැකි බවත් පෙන්වාදී ඇත.
2023 වසරේදී පමණක් නැගෙනහිර පර්යන්තයෙන් ලැබෙන ආදායම ඩොලර් මිලියන 70ක් බවත්, ඩොලර් මිලියන 40ක් එම වසරේ වැයවන බවත්, එම වසර වන විට ලැබෙන මුළු ආදායම ඩොලර් මිලියන 175ක් බවත් එහි පෙන්වාදී තිබේ.

තුන්වන අදියර 2024/2025

එම අදියර ආරම්භ වන 2024 වර්ෂයේ සිට නැගෙනහිර පර්යන්තය සඳහා එස්ටීඑස් වර්ගයේ දොඹකර 10ක් හා ආර්ටීජී වර්ගයේ දොඹකර 30ක් ස්ථාපිත කළ යුතු බවත් ඒ සඳහා වැයවන ඩොලර් මිලියන 161ක මුදල ඒ වනවිටත් නැගෙනහිර පර්යන්තයෙන් උපයාගෙන ඇති ආදායමෙන් වැයකළ හැකි බව පෙන්වාදී ඇත. මෙම වැය 2024දී ඩොලර් මිලියන 33ක්, 2025දී 113ක් හා 2026දී 15ක් ලෙස වියදම් වන බව පෙන්වා දී ඇත.
ඊට අමතරව නැගෙනහිර පර්යන්තයේ දිගුකළ මීටර් 750ක කොටසද මීටර් 450 ක පළලින් යුක්තව 2025 වර්ෂයේදී තවදුරටත් ගොඩකර නිර්මාණය කරගත යුතු බව පෙන්වාදී ඇත. ඒ මඟින් තවත් හෙක්ටයාර 26ක භූමියක් ලැබෙන බවත් අංගණ හා සේවා කටයුතු සඳහා එය යොදාගත හැකි බවත් පෙන්වාදී ඇත. ඒ සඳහා වැයවන ඩොලර් 120 මුදලද නැගෙනහිර පර්යන්තයේ ආදායමෙන්ම කළමනාකරණය කරගත හැකි බව පෙන්වාදී ඇත. එම වැය කිරීම්ද 2025දී ඩොලර් මිලියන 44ක්, 2026දී 70ක් හා 2027දී 6ක් ලෙස වැයවන බව පෙන්වා දී ඇත.
තුන්වන අදියර ආරම්භ වන 2024 සිට එය අවසන් වන 2027 දක්වා පිළිවෙළින් ඩොලර් මිලියන 90ක්, 110ක්, 130ක් හා 170ක් වශයෙන් ආදායම් ඉපැයීමට හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. එම අවසන් වසර වනවිට පමණක් නැගෙනහිර පර්යන්තයෙන් වරාය අධිකාරිය ලබන මුළු ආදායම ඩොලර් මිලියන 675ක් වන අතර සංවර්ධනය සඳහා පර්යන්තයෙන් උපයා වැයකළ මුදල් අඩුකිරීමෙන් පසු ලබන ලාභය ඩොලර් මිලියන 194කි. වසර දහයක කාලයේදී එනම් 2030දී උපයන ලාභය ඩොලර් මිලියන 764කි.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජනය යැයි කියමින් ඉන්දියාවේ අදානි සමාගමට අවුරුදු 35ක කාලයකට ලබාදෙන්නේ ඩොලර් මිලියන 750කට නම් වරය ඉංජිනේරුවන් ඉදිරිපත් කර ඇති මේ සංඛ්‍යා දත්ත සමඟ සැසඳූ කළ එම තීරණය කොතරම් අපරාධයක් දැයි තේරුම් ගැනීමට අපහසු නැත. මන්ද අවුරුදු 7ක කාලයකදී එම පර්යන්තයෙන්ම උපයන ආදායමෙන් එහි සම්පූර්ණ සංවර්ධන කටයුතු වරාය අධිකාරියට කර ගැනීමේ හැකියාව තිබියදී, ජාතික සම්පත් නොවිකුණනවා යැයි කී හා විකුණූ සම්පත්ද නැවත පවරා ගන්නවා යැයි කී ආණ්ඩුවක් මේ ආකාරයට කටයුතු කරන නිසාය.

වරාය විකිණීමට විරුද්ධව බාහිර වෘත්තීය සමිතිත් පෙලගස්වනවා – ලාල්කාන්ත

එසෙම, වරාය විකිණීමට විරුද්ධව බාහිර වෘත්තීය සමිතිත් පෙලගස්වන බව කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී පැවැති “කඩවුණ පොරොන්දුවෙන් අහිමිවන නිධානය”යන මැයෙන් පවත්වන සම්මන්ත්‍රණයේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත පැවසීය.

“වරාය විකිණීමට විරුද්ධව මේ වනවිට වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධ වෙලා ඉන්නවා. මේ 11 වෙනිදා වෙනත් වෘත්තීය සමිති එක්කත් සාකච්ඡාවක් පවත්වනවා. නමුත් ඡන්දයක් ආවාම මේ වෘත්තීය සමිති තම තමන්ගේ පක්ෂවලට බෙදිලා ඡන්දය දෙනවා. හැබැයි වාමාංශික ව්‍යාපාර නොවන නව ලිබරල් ධනවාදී මේ පක්ෂ තුනම කරන්නේ රටේ සම්පත් විකිනීම බව මේ අය තේරුම් ගන්නේ නැහැ. අපේ වගකීම තමයි මේ රටේ වැඩකරන ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාවට මේ දේශපාලන අවබෝදය ලබාදීම”.යැයි ලාල්කාන්ත එහිදී පැවසීය.

ඉන්දීය විදේශ ඇමැති කොළඹ වරාය ගැන ජනපති සමග කතා කරයි

නමුත්, ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡාවේ දී හඳුනා ගත් බවත් ඉන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඇතුලත් බව වාර්තා වේ.

නැඟෙනහිර ජැටිය විදේශයකට විකුණන්නේ නෑ – අගමැති

මේ අතර කොළඹ වරායේ නැඟෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී (06) අවධාරණය කළේය.

නැඟෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බවද අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

නැඟෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ බැවින් කොළඹ වරාය තුළ නාවික තදබදය ඉවත් කොට සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යෑම සඳහා ඉදිරි වසර දෙක ඇතුළත නැඟෙනහිර බහාලු පර්යන්තය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය විසින් ඉන්දියාව සහ ජපාන රජයන් අතර එකඟතාවට පත් ගිවිසුම් අනුව වත්මන් රජය විසින් ණය ලබා නොගෙන කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අගමැතිවරයා පැවසීය.

එමෙන්ම නැඟෙනහිර බහාලු පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට වාසිදායක වන අයුරින් පවත්වාගෙන යෑම සඳහා අධ්‍යයනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි සම්මුති හා ව්‍යාපෘති වශයෙන් කමිටු දෙකක් පත් කර ඇති බවද අගමැතිවරයා පැවසීය.

නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ දිග මීටර් එක්දහස් තුන්සිය විස්සක් වන අතර දැනට සංවර්ධනය කර ඇත්තේ මීටර් හාරසිය හතළිහක් වැනි ප්‍රමාණයක් බවද හෙතෙම පැවසීය. සංවර්ධනය කර ඇති මේ කොටස මුළු ව්‍යාපෘතියෙන් සියයට පහළොවක් පමණ වන අතර ඉතිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 590ක් පමණ වැය වන බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ වරායේ නැඟෙනහිර බහාලු පර්යන්තය හා බටහිර බහාලු පර්යන්තය කඩිනමින් ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද අගමැතිවරයා අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *