නොදියුණු අරාබිකරයේ සහ අපගේ කෙරුවාව…. – සංජීව බාලසූරිය

නොදියුණු අරාබිකරයේ සහ අපගේ කෙරුවාව.... - සංජීව බාලසූරිය

නොදියුණු අරාබිකරයේ සහ අපගේ කෙරුවාව.... - සංජීව බාලසූරිය

සති කිහිපයකට පෙර මට උණ සහ ඇඟපත වේදනාවක් ඇති විය. එය කොවිඩ් ආසාදනය නිසා විය හැකි බවට මම සැක කළ අතර ස්වේච්ඡාවෙන්ම පරීක්ෂණයකට ගියෙමි.

කොවිඩ් පරීක්ෂණයක් සෞදි අරාබියෙහි සිදු කිරීම ඉතා පහසුය. මේ සඳහා විශේෂිත ඇප් එකක් හඳුන්වාදී තිබේ.
මෙරටේ හැඳුනුම්පත් අංකය භාවිතා කර පරීක්ෂණය සඳහා ලියාපදිංචි වී, තමන්ට පහසු කාලවේලාවක් සහ ස්ථානයක් තෝරා ගත යුතුය . ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසු QR කෝඩ් එකක් ලැබෙණු ඇත. පරීක්ෂණය ජංගම ගිලන් රථ හරහා ක්‍රියාත්මක වේ. අදාල සේවය අපට ළඟා වූ පසු රථයේ සෞඛ්‍ය වෘත්තිකයාට අපගේ QR කෝඩ් එක පෙන්විය යුතුය. සෞඛ්‍ය වෘත්තිකයා කෝඩ් එක ස්කෑන් කර, අදාල අයගේ යටි උගුරෙන් කපු පුළුන් කැබැල්ලක් සහිත මෙවලමකට සාම්පල ලබාගනු ඇත.එම සාම්පල සුරක්ෂිතව අදාල පුද්ගලයාගේ විස්තර සහිත ස්ටිකරයක් අඩංගු ප්ලාස්ටික් බෑගයක බහා සීල් කර ගබඩාකර තබණු ඇත.එතනින් PCR පරීක්ෂණය ඉවරයි. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම කාර් එකෙන් බැසීමකින් තොරව අවසන් වේ.

පසුදා උදෑසන මට සෞඛ්‍ය නිලධාරීන්ගෙන් කෙටි පණිවුඩයක් ලැබුණි, මා කොවිඩ් ආසාදනය වී ඇති බවත්, ‘නිවසේදී’ මා ස්වයං නිරෝධනය විය යුතු බවත්,
උපදෙස් ලැබිණ. මට සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් ඇමතුමක් ලැබුණා. ඔවුන් රෝග ලක්ෂණ සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමසූ අතර, මට කිසියම් දුෂ්කරතාවයක් දැනේ නම් වහාම ඔවුන්ව අමතන්නැයි දැනුම් දුන්නා.

එදිනම මට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍ය සහතිකයක මෘදු පිටපතක් ලැබුණි,ඒ සති දෙකක අනුමත කරණ ලද වෛද්‍ය නිවාඩු සඳහා වූ අයදුම්පතදයි. අවශ්‍ය නම් සේවායෝජකයා වෙතද එය ඉදිරිපත් කළ හැකිය. කොවිඩි ආසාදනය වූ සෑම කෙනෙකුටම මෙය ඉල්ලීමකින් තොරව ලබා දෙනු ලැබේ.
මාව පරීක්ෂා කළ වෛද්‍ය වෘත්තිකයාගේ නම පවා එම වාර්තාවේ තිබුණා.
ඔවුන් විසින් ලබාදෙන ලද ලියවිලි මා සේවය කරන ආයතනයට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දුන්නා. ඔවුන් මට දන්වා සිටියේ නිවසේ විවේක ගැනීමට සහ දින 14 කට පසු සමාගමේ වෛද්‍යවරයා අමතන ලෙසයි. 15 වන දිනයේදී මම නැවත සේවයට සම්බන්ධ වුණෙමි. මම ආපසු එන විට කිසිවෙකු මා දෙස වපර ඇසින් බැලුවේ නැත. සුවය ලැබීම ගැන සියලු දෙනා සතුටු වූණහ. මම ආසාදනය වූයේ කෙසේද, කවදාද සහ කොහේද කිසිවෙකු ඇසුවේ නැත. කිසිම කෙනෙකුගෙන් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න නොවීය.
අප ජීවත් වන ගොඩනැගිල්ලේ පවුල් 15ක් පමණ ඇත. අද වන තුරු මෙහි කිසිවෙකු මෙගැන දන්නේද නැත. ගොඩනැගිල්ලේ කොවිඩ් පොසිටිව් වුණු තවත් අය සිටිය හැකිය. නමුත් අපි දන්නේ නැහැ. අපේ මුහුණු බොඳ කර විකාශනය කිරීමට කිසිවෙකු කැමරාවක් උස්සාගෙන ආවේද නැත. පුරවැසියකුගේ පෞද්ගලිකත්වය රැකීමට අතින් නම් මොවුන්ට මුල්තැනය.

ලෝකයේ බොහෝ රටවල සිදු වන්නේ මෙලෙසින් බව අපි විශ්වාස කරන්නෙමු.

මෙම කලාපයේ රටවල් දැනටමත් මිනිසුන්ට එන්නත් ලබා දීම ආරම්භ කර ඇත. ඔවුන්ට පැහැදිලි ඉලක්ක ඇත. ඔවුන් දැනටමත් ලේඛණ ගත කරමින් එන්නත් සඳහා කොපමණ පිරිසක් ලියාපදිංචි වී ඇත්ද සහ මේ වසරේ මැයි මාසය වන විට කීදෙනෙකුට එන්නත ලබා දෙනු ඇත්දැයි ලොවටම පවසා අවසන්. මෙම රටවල දේශපාලනය පිළිබඳව මිනිසුන්ට විවිධ මත තිබිය හැකිය. නමුත් ඔවුන් වසංගතය පාලනය කිරීමට උත්සාහ කරන්නේ එලෙසයි.
ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් රෝගියා හඳුනාගෙන වසරක් ගත වී ඇත. වසරක් ගතවී ඇතත්, ලෝවටම අපරටේ ගෝත්‍රිකත්වය විදහාපාමින් භූමදානය හා ආදාහනය, පැණිය සහ එන්නත, හුදෙකලාකිරීම සහ ඇඳිරි නීතිය අතර තීරණයක් ගැනීමට නොහැකිවත්,
එන්නත් ලබා ගන්නේ කවදාද යන්න පිළිබඳව කිසිදු හෝඩුවාවක් වත් නොමැති ශ්‍රී ලාංකිකයන් වන අපි කොතනද!
අපේ රට ගැන අපගේ පුරාජේරු ගැන නම් කියන්න වචන නෑ.
අහෝ….මුළු ලෝකයම වසංගතයකට එරෙහිව සටන් කරයි, නමුත් ශ්‍රී ලංකා දීපය වෙනත් දෙයක් සමඟ සටන් කරයි!

(සංජීව බාලසූරිය රියාද් සිට)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *