කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යූහගත කිරීමට යහපාලන ආණ්ඩුව විනිවිදභාවයකින් තොරව ක්‍රියා කරලා

කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යූහගත කිරීමට යහපාලන ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රියාවලියම විනිවිදභාවයකින් තොරයි

කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යූහගත කිරීමට යහපාලන ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රියාවලියම විනිවිදභාවයකින් තොරයි

කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යූහගත කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රියාවලියම විනිවිදභාවයකින් තොර බව විශේෂ විගණන වාර්තාවක් මඟින් හෙළිදරව් කොට තිබේ. සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීමට ආයෝජකයකු තෝරා ගැනීමේදී විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැති අතර ඉඩම් අමාත්‍යාංශය සහ ආයෝජන මණ්ඩලය වෙත සෘජුව ලැබුණු අයදුම්පත් දෙකක් පමණක් පදනම් කර ගනිමින් ආයෝජන ඇගයීම කර ඇති බවත් එහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් එම්. ජී. ෂුගර්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ 2015 වසරේ ජූලි මස 27 වැනි දින ආයෝජන ගිවිසුමකට එළැඹ තිබුණු අතර ගිවිසුම ප්‍රකාරව වසර පහක කාලයක් තුළ රුපියල් කෝටි 10ක ආයෝජනයක් කරමින් ව්‍යාපෘතිය ආරම්භ කළ යුතු විය.

එහෙත් 2020 ජනවාරි 31 වැනි දින වන තුරුත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අදාළව කිසිදු ආයෝජනයක් සිදුව නැති අතරම කර්මාන්ත ශාලාවට අයත් සියලු යන්ත්‍රෝපකරණ ඇතුළු ගොඩනැඟිලිවල අයිතියද ශ්‍රී ලංකා රජයට අහිමිව ඇති බවත් එම වාර්තාවෙන් හෙළි කර තිබේ.

කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ආයෝජකයා විසින් සපයා ගත යුතු බවට කොන්දේසියක් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ඉදිරිපත් කර තිබූ අතර ආයෝජන මණ්ඩලය ඉදිරිපත් කරන ලද කෙටුම්පත් කොටස්කාර ගිවිසුමෙහි 7.5.1 වගන්තියට අනුවද ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ සැපයීම ආයෝජනයේ කොටසක් ලෙස සැලකිය යුතු බව දන්වා තිබුණි.

ගිවිසුමෙහි 7.2.4 වගන්තියට අනුව ශ්‍රී ලංකා රජය ගිවිසුමට අත්සන් කළ අවස්ථාවේ සිට දින 90ක් ඇතුළත කර්මාන්තශාලාවෙහි පවතින යන්ත්‍ර සූත්‍ර අබලි ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. දින 90ක් තුළ යන්ත්‍ර අපහරණය කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් සමාගම අදාළ යන්ත්‍ර සූත්‍ර අපහරණය කළ යුතු අතර ඒ සඳහා වැය වූ පිරිවැය ශ්‍රී ලංකා ආණ්ඩුව සමාගම වෙත ප්‍රතිපූර්ණය කළ යුතු බවට සංශෝධනයක් එක් කිරීමට මුදල් අමාත්‍යාංශය පසුව ක්‍රියා කර තිබුණි.

එහෙත් ආයෝජකයා කර්මාන්තශාලාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ රැගෙන ආ යුතු බවට දක්වා තිබූ කොන්දේසියට පටහැනිව ආයෝජකයාට දැනට පවත්නා යන්ත්‍රෝපකරණ භාවිත කළ හැකි බවට වගන්තියක් ගිවිසුම් අත්සන් තැබීමේදී මුදල් අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශකවරයාගේ මැදිහත්වීමෙන් ගිවිසුමට ඇතුළත් කර ඇති බවත් වාර්තාවේ දැක්වේ.

ගිවිසුම ප්‍රකාරව කර්මාන්තශාලාවේ පවතින යන්ත්‍ර සූත්‍ර අබලි ඉවත් කිරීමට රජය ටෙන්ඩර් කැඳවා කටයුතු කරන අතර ශ්‍රී ලංකා රජය ගිවිසුමේ කොන්දේසි කඩ කරන බවට ආයෝජන සමාගම සිංගප්පූරු අන්තර්ජාතික බේරුම්කරන මධ්‍යස්ථානයේ නඩු පවරා ඇති අතර එහිදී ලැබුණු තීන්දුව අනුව වන්දි වශයෙන් සිංප්පූරු ඩොලර් 894,516ක් සහ අමෙරිකානු ඩොලර් 211,913ක මුදලක් ගෙවීමට රජයට සිදුව තිබේ.

මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති අතර මේ වන විටත් සිංගප්පූරු ඩොලර් 64,704ක මුදලක් අදාළ පාර්ශ්වයන්ට පියවා ඇති බවත් ඊට අමතරව ව්‍යාපෘති පිරිවැය සියයට 15කින් වැඩිකරලීමටද ආයෝජන සමාගම ක්‍රියා කර ඇති බවත් වාර්තාවෙන් හෙළිදරව් කොට ඇත.

චෙකොස්ලෝවැකියානු රජයේ දායකත්වයක් මත 1957 වසරේදී ආරම්භ කරන ලද කන්තලේ සීනි කර්මාන්ත ශාලාව 1960 වසරේදී ජනසතු කෙරුණු අතර 1994 වර්ෂයේ මැද භාගයේදී සම්පූර්ණයෙන් වසා දැමිනි. 2003 වසරේ සිට නොයෙක් අවස්ථාවල මේ කර්මාන්තශාලාව නැවත විවෘත කිරීමට ගත් උත්සාහයන් අසාර්ථකවී තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *