Type to search

(video)මිත්‍යාවට රැවටෙන්න එපා, ආණ්ඩුව පැණිය ගෙනාවේ හෙළුව වසාගන්න – වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

දේශීය වෛද්‍ය පුස්කොළ පොත් 5000කට අධික ප්‍රමාණයක් කියවා ලේඛන ගත කළ අයෙකු වන කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් පර්යේෂණ සහ සංරක්ෂණ පුස්තකාලය භාරව කටයුතු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී, මේ දිනවල සමාජයේ කතබහක් ඇතිවී තිබෙන් කොරෝනා පැණිය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළේය.

එහිදී වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී මහාචාර්ය චන්දන අබේරත්න මහතා.

“ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉතාම දරුණු තත්වය පිළිබඳව අද වනවිට ප්‍රචාරය වෙමින් තිබෙන විවිධ මිථ්‍යා මත ගැන ඇත්ත තත්වය හෙළිකරන්න මම කැමතියි. මිථ්‍යාව පදනම් කරගත් ප්‍රතිකර්ම විධිවලට සමාජය යොමුකරමින් තිබෙනවා. නමුත් මම කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් පර්යේෂණ සහ සංරක්ෂණ පුස්තකාලය භාරව කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් අනුව කරුණු දක්වන්නමි. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුස්කොළ පොත්වල ත්‍රිපිටකය, සාහිත්‍යය සහ වෛද්‍ය විද්‍යාව විෂය ක්ෂේත්‍රවලට අදාළ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සඳහා අවුරුදු 08ක දායකත්වයක් දුන්නා. එහිදී බොහෝ පුස්කොළ පොත් කියවා බැලීම අනිවාර්යය වුණා. ඊට පස්සේ ලේඛන ගත කළා. එහිදී දේශීය වෛද්‍ය පුස්කොළ පොත් 5000කට අධික ප්‍රමාණයක් කියවන්න සිදුවුණා. විහාරාරාම, දේශීය වෛද්‍යවරුන් සතුව තිබුණු සහ පෞද්ගලික එකතූන්වල තිබුණු වෛද්‍ය ග්‍රන්ථ කියවූවා.

අද කෝවිඞ් සම්බන්ධව එකතැනකින් එක පැණියක් නිෂ්පාදනය කළ බව කියන විට තවත් තැනකින් තවත් පැණියක් නිෂ්පාදනය කළ බව කියනවා. ඔවුන්ට සමහර ඖෂධ වර්ග ලබාදුන්නේ ‘කාලි’ වැනි අදෘශ්‍යමාන බලවේග බවයි කියන්නේ. මේ වගේ අයගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කරන උදවිය බරපතළ සාහසික ක්‍රියාවක් කරන්නේ. මේ පැණි නිෂ්පාදනය කරන එක පුද්ගලයෙක් අපේ අනුකම්පාවට ලක්විය යුතු මනෝව්‍යාධියට ප්‍රතිකාර කළ යුතු පුද්ගලයෙක් කියලයි මම හිතන්නේ.

පොදුවේ පෙරදිග වෛද්‍ය ක්‍රම කියලා නම් කරන හැම එකකම නියමිත ඖෂධ වට්ටෝරුව, එය ලියැවෙන කාලය වන විට ඖෂධ වට්ටෝරුව තිබුණේ කා සන්තකවද, භාවිත කළ යුතු ඖෂධ ප්‍රමාණය, ඖෂධවලට එකතු කළ යුතු අනුපාන සහ අදාළ ඖෂධය භාවිතා නොකළ යුතු අය ගැනත් සඳහන් වෙනවා. දේශීය වෙදකම කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ පාරම්පරික වශයෙන් ඖෂධ හඳුන්වාදීමක්. ඕනෑම කෙනෙකුට ඒවා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපේ ඒ තිබුණු වෙදකම මිථ්‍යා ප්‍රබන්ධ පදනම් කරගත් ප්‍රතිකර්ම යැයි කියාගන්නා දේවල් මගින් දැවැන්ත හානියක් සිදුකළා. මම කියවා තිබෙන වෙද පොත්වල සමහර විට බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුනාගෙන නැති රෝගවලට පවා ප්‍රතිකාර තියෙනවා.

ඒ වගේම එකම ඖෂධ වට්ටෝරුව සර්ප වෙදකමේදී නාග විෂට එක මාත්‍රාවක්, පොළොන් විෂට එක මාත්‍රාවක් වශයෙන් වෙනස්කරලා තියෙනවා. සර්පයා දෂ්ට කළ වෙලාව අනුවත් ඖෂධයේ මාත්‍රාව වෙනස් කරනවා. එතරම් දියුණු වෛද්‍ය ක්‍රමයකට මිථ්‍යාව පදනම් කරගත් මේ ප්‍රචාර මගින් එල්ල කරන අභියෝග පරාජය කිරිමට පෙරදිග වෙදකමට ඇල්මක් දක්වන සියලු දෙනාම එකතු විය යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා. මානසික ප්‍රතිකාර ලබාගත යුතු රෝගියකුගෙන් ගෝලීය වසංගතයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නිර්දේශ කරන උදවියට වෙනත් ප්‍රතිකර්මයක් කරන්න වෙනවා. විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගත් බව කීවත් වැඩිදෙනෙක් මිථ්‍යාව ප්‍රචාරය කිරීමට දායක වෙනවා. ජනමාධ්‍ය සහ රජයේ පාර්ශ්වවලින් ඉහළ ප්‍රචාරයක් ලබා දෙන්නේ මේ මිථ්‍යාවන්ට.

අවුරුදු 7000ක් 8000ක් පැරණි වෛද්‍ය ක්‍රම පදනම් කරගත් පැණියක් නිෂ්පාදනය කළ බවත් කියවුණා. නමුත් අපට ලැබුණු දේශීය වෛද්‍ය ග්‍රන්ථ අතරින් පැරණිම ඖෂධ වට්ටෝරුව හඳුනා ගන්න ලැබුණේ ක්‍රිස්තු පූර්ව දෙවැනි ශත වර්ෂයට අයිති වට්ටෝරුවක්. දඹදෙනිය විජේසුන්දරාරාමයේ හිටපු විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපට මෙය ලබාදුන්නා. ක්‍රි:පූ: 02 වැනි ශත වර්ෂයේ වාසය කළ බව පිළිගන්න මලියදේව තෙරුන් වහන්සේට සුළුගුණු උපාසක විසින් පිළිගන්වන ලද බෙහෙත් කැඳ වට්ටෝරුව මෙයට අදාළයි. අපිට අධ්‍යයනය කරන්න හමු නොවුණු පැරණි වට්ටෝරු තියෙන්නත් පුළුවන්. නමුත් අවුරුදු 7000ක් හෝ 8000ක් පැරණි වෛද්‍ය ක්‍රමයක් ගැන තොරතුරු ලැබෙනවා නම් ඒ ගැන විශේෂයෙන් අධ්‍යයනය කළ යුතුයි.

ඒ නිසා මේ අවස්ථාවේදී මිථ්‍යාව පරාජය කිරීමත් සමග දේශීය වෛද්‍ය ක්‍රමයට සිදුකරන හානිය පරාජය කිරීමත් කළ යුතු වෙනවා. ජනතාව කරවටක් දරිද්‍රතාවයේ ගිලිලා. ඒ නිසාම අධ්‍යාපනයේ පහළ මට්ටමක් තියෙන්නේ. දියේ ගිලෙන මිනිසා පිදුරු ගහේ එල්ලෙනවා වගේ වෙනත් ප්‍රතිකර්මයක් නැති තැන මිථ්‍යාව පසුපස යනවා. විශ්විවද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍යයෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන්කරන්න කියලා අරගල කළේ මේ තත්වයන් පරාජය කරන්න. මේ රටේ ජනතාව අධ්‍යාපනයෙන් සන්නද්ධ කරන්නේ නැත්නම් මිථ්‍යාවෙන් වළක්වන්න බැහැ. අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල වැඩිකරන්න කියලා රජයන්ට අපි බලකළේ ජනතාව මිථ්‍යා විශ්වාසයන්ගෙන් වළක්වා ගන්න.

ඒ වගේම විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජයට බලපෑම් කිරීමක් කළ යුතුයි. මිථ්‍යාව වපුරන අයට එරෙහිව හරිනම් කටයුතු කළ යුත්තේ රජයයි. රජය ඒ ක්‍රියාමාර්ග නොගන්නා නිසා සමාජයක් හැටියට ඉදිරියට යාමට ජනතාව පෙරමුණ ගත යුතු බව අවධාරණය කරනවා. රජයට අපි බලකරන්නේ ජනතාවගේ ජීවිත සාමාන්‍ය තත්වයට පත්කිරීම සඳහා විධිමත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.”

කොවිඩ් මර්දන ක්‍රියාකාරකම්වලට පසුවිපරමක් ඕනෑ…
වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා…

“කොරෝනා වසංගතය වේගයෙන් රට තුළ පැතිරෙන බව පැහැදිලියි. පවතින තත්වය ගැන සාකච්ඡා කරනවා නම්, කොළඹ දිස්ත්‍රික්කය තුළ පසුගිය කාල සීමාව තුළ විශාල වශයෙන් වැඩිවීමක් තියෙනවා. මුලින් වාර්තා වී තිබුණේ 6903යි. නමුත් දැන් වෙනකොට 15,168ක් වාර්තා වෙනවා. පසුගිය සති හතර ඇතුළත දෙගුණයකට වඩා වාර්තා වෙලා. මේක බරපතළ තත්වයක්.

ඒ එක්කම එංගලන්තයේ අලුතින් වෛරස් ප්‍රභේදයක් සැප්තැම්බර් සිට හඳුනාගෙන තිබෙන බව වාර්තා කළා. ලන්ඩන් නගරය සහ ගිනිකොනදිග එංගලන්තය ලොක්ඩවුන් තත්වයට පත් කළා. යුරෝපයේ බොහෝ රටවල් ලන්ඩන්වලින් එන ගුවන් යානා අත්හිටුවා තිබෙනවා. ශීත කාලසීමාව තුළ ලෝකය පුරාම රෝගය පැතිරීමේ වේගවත් බවක් පේනවා. ශ්‍රී ලංකාව තුළත් දෙවැනි රැල්ල වැඩිපුර ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට මම දකින ප්‍රධාන කාරණා තුනක් තිබෙනවා. ලෝකයේ අනිකුත් රටවල් භයානක තත්වයකට පත්වී තිබෙන්නේ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවීමෙන්. වසංගත රෝගයක් පැතිරිම යම්කිසි අවස්ථාවක දෙගුණ තෙගුණ වී මරණ සංඛ්‍යාව වැඩිවීමට ඉඩ තිබෙනවා. පසුගිය සති 10ක කාල සීමාව තුළ ආසාදිතයින් 13ගුණයකින් වැඩිවෙලා. මේ නිසා මරණ සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවීමේ අනතුරක් තිබෙනවා. මේ වෙලාවේ වැදගත්ම දේ මරණ සිදුවීම අවම කර ගැනීමයි. වැඩිපුර මිය යන්නේ වෙනත් රෝග තිබෙන අය බව වාර්තා වෙනවා. මේ කණ්ඩායම අපි හඳුනාගෙන ඉන්න පිරිසක්. බෝ නොවන රෝගවලට ගොදුරුවෙලා ඉන්න මේ පිරිස මරණයෙන් වළක්වා ගන්නට නිශ්චිත ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2016 සමීක්ෂණ අනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. හයදෙනෙකුගෙන් එක් කෙනෙක් හෘද රෝගයකින් නැතිනම් කොලෙස්ටරරෝල් නැතිනම් දියවැඩියාවෙන් පෙළෙනවා. සමහර අයට එක රෝගයකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මේ අයගේ ජීවිත අවදානම වැඩියි.

දෙවැනි කාරණය මේ වෙනකොට 8800කට වැඩි පිරිසක් රෝහල්ගත වෙලා ඉන්නවා. පසුගිය සති 10ක් පුරාම රෝහල් කාර්ය මණ්ඩල බරපතළ වෙහෙසකාරී තත්වයකට පත්වෙමින් ඉන්නවා. ආසාදිතයන් රැකබලා ගැනීමේදි මේ වෙහෙසකාරී තත්වය බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසාත් රටක් හැටියට මේ රෝහල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම ගැන බැරැරුම් සාකච්ඡාවකට යන්න ඕනෑ. එහෙම නැත්නම් නිශ්චිත අවස්ථාවකදී රෝහල් කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය වෙන්න පුළුවන්.

ඊළඟට අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශාල වශයෙන් අඩපණ වෙලා තිබෙනවා. ඒ නිසා ඉතා ඉක්මණින් දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් මුදවා ගන්න ඕනෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයට කිහිපවරක්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. දැනට කරගෙන යන කාර්යයන් පිළිබඳව නැවත විමසා බැලීමක් කරන්න කියලා රටක් හැටියට පවතින තත්වය තේරුම් අරගෙන වෙනස්කම් කරන්න මෙය ඉතා අත්‍යවශ්‍යයයි. එන්නතක් රටට ගෙන ඒම ගැන සාකච්ඡා වෙමින් තිබුණත් ඉක්මනින් ලැබෙයි කියලා හිතන්න බැහැ. ඒ නිසා දැනට ගෙනයන ක්‍රියාකාරකම් දෙවැනි රැල්ලත් එක්ක ප්‍රමාණවත් බව පැහැදිලි වන්නේ නැහැ. දැනට හුදකලා කරන්නේ වෛරසය ආසාදනය වූ බව හඳුනාගත් ප්‍රදේශවල. නමුත් අවදානම් සාධක අලුතින් හඳුනාගන්නේ නැතිව හුදකලා කිරීම් පමණක් ප්‍රයෝජනවත් නොවේවි.

ජාතික විද්වත් සංවිධානය හැටියට අපි යෝජනා කරන්නේ දැනට කරන ක්‍රියාකාරකම් ගැන වහාම පසුවිපරමක් කරන්න කියලා. පසුවිපරමෙන් හඳුනාගන්නා කරුණු පිළිබඳව නැවත අවධාරණය කරන්න ඕනෑ. රෝගය වළක්වා ගැනීම ගැන ජනතාවට අවධාරණය කරනවා වගේම ජනතාවගේ භාරකාරත්වය ස්වේච්ඡාවෙන් ලබාගත් ආණ්ඩුවට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. ඒ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගනිමින් එදිනෙදා කාර්යයන්වලට අවශ්‍ය පහසුකම් ලබාදීමයි. ඒ නිසා ආණ්ඩුව ඍජුව මැදිහත්වෙලා වසංගතය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනෑ. එහෙම නොවුණොත් බරපතළ ප්‍රශ්න ගණනාවකට ඉදිරියේදී මුහුණ දෙන්න වේවි. බටහිර රටවල් මෙයට මුහුණ දෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරගනිමින්. එන්නත්, සැනිටයිසර් සහ මාස්ක් නිෂ්පාදන වඩාත් පුළුල් තලයකට ගෙනැවිත්.

ඒ පසුබිමේ ඉඳලයි නිශ්පාදන ආර්ථිකයක් ගෙනයන්නේ. එහෙම නොවෙන නිෂ්පාදනයක් නැති අපේ රට බටහිර රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග ඵලදායීව අනුගමනය කරන්න පුළුවන්ද කියන පසුවිපරම කළ යුතුයි. එහෙම නොකළොත් රටත් ජනතාවත් ඉතා බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ පානවා.”

කොවිඩ් මර්දනයට අවශ්‍ය ප්‍රතිසංවිධාන නොකළොත් සිංහල අවුරුද්ද සමරන්න වෙන්නෙත් නැහැ…
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා…

“මේ වෙනකොට දවසකට 600ක් 700ක් විතර කෝවිඞ් ආසාදිතයෝ අලුතින් හඳුනා ගන්නවා. ඒ වගේම කෝවිඞ් නිසා දවසකට 05ත් 10ත් අතර සංඛ්‍යාවක් මරණයට පත්වෙනවා. මේ කෝවිඞ් රැල්ල කුඩා ළමුන් අතරට පවා ව්‍යාප්ත වෙලා. රිජ්වේ ආර්යා ළමා රෝහලට කෝවිඞ් වැලඳුණු දරුවන් 05ක් 06ක් දවසකට ඇතුල් කරනවා. කොළඹින් බ්‍රැන්ඩික්ස් පොකුර, පෑලියගොඩ පොකුර වශයෙන් හැඳින් වූ පොකුරු දැන් කුඩා කුඩා පොකුරු ඇති වෙමින් රට පුරා පැතිරී යනවා.

මේ අතරේ අපිට පැණියක් පිළිබඳව අහන්න ලැබුණා. මේ රටේ අවුරුදු 2500ක් පමණ පැරණි හෙළ වෙදකම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තියෙනවා. ඒ වගේම නවීන බටහිර වෛද්‍ය ක්‍රමයත් තිබෙනවා. මේ වෙනකොට කිසිම රටකින් කෝවිඞ් රෝගයට නිශ්චිතම ඖෂධයක් හදලා නැහැ. ඒ නිසා කවුරුන් හෝ ඊට නිවැරදිම ඖෂධයක් සොයා ගන්නවා නම්, කෘතඥතාව පළ කරනවා. අපිට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලෝකයට ගෙනයන්න ඒක හොඳ මඟක්.

පසුගිය කාලයේ කතා කළ පැණිය පිළිබඳත් අපේ අදහස පැහැදිලි කළ යුතුයි. ඕනෑම බෙහෙත් රෝගීන් දෙන්නට ඉස්සර සායනික පරික්ෂණ කළ යුතුයි. මේ පැණිය ගැනත් සායනික පරීක්ෂණයක් කළා. නමුත් ඒක නිශ්චිත පරීක්ෂණයක් නෙවෙයි. තවත් පරීක්ෂණයක් සිදුකර මෙහි ඇත්තක් තියෙනවාද කියලා බලන්න ඕනෑ. නමුත් රජය කළේ ඒක නොවෙයි. රජය කළේ රජයෙන් ඈත්වෙමින් යන ජාතික ව්‍යාපාර පිනවීම සඳහා පැණිය ව්‍යාප්ත කිරීමයි. කෝවිඞ් වසංගතය විසඳුමක් නැතිව පැතිරෙමින් තිබෙද්දී ආණ්ඩුවේ හෙළුව වහගන්න පැණියට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදුන්නා.

අපේ වෙදකම පිළිබඳව අපිටත් කැක්කුමක් තියෙනවා. අවතක්සේරු කරන්නේ නැහැ. අපි කියන්නේ යම්කිසි බෙහෙතක් තිබෙනවා නම්, නිවැරදි සායනික පරීක්ෂණවලින් තහවුරු කළ යුතුයි. රෝගීන්ට වගේම නිරෝගී අයටත් ලබාදී පරීක්ෂණ තහවුරු කළ යුතුයි. තහවුරු නොකළ බෙහෙතක් දීම වෛද්‍ය ආචාරධර්ම කෙළෙසීමක්. අපේ ආණ්ඩුව හෙළවෙදකම, ආයුර්වේද වෙදකම ගැන පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කළේ නැහැ. නවීන වෛද්‍ය විද්‍යාව ගත්තත් ඉන්දියාව පවා වැක්සීන් ගැන පරික්ෂණ කරනවා. අපේ රටෙත් සුදුසුකම් තිබෙන විද්‍යාඥයෝ ඉන්නවා. සමහර අය බටහිර රටවල් සිදුකරන පරීක්ෂණවලටත් සම්බන්ධයි. නමුත් මේ රටේ පරික්ෂණ කරන්න ආණ්ඩුව පහසුකම් දෙන්නේ නැහැ. කුමන වෛද්‍ය ක්‍රමයකට හෝ මේ රෝගයට අදාළ ඖෂධ සොයා ගන්න පහසුකම් වැඩිකර දිය යුතුයි.

මේ රටේ ශක්තිමත් ප්‍රජා වෛද්‍ය සේවයක් තියෙනවා. එය රෝග වැළැක්වීමට යොදා ගන්නවා. අපට තියෙන ලොකුම සම්පත ඒක. බොහෝ බටහිර රටවලට මේ තත්වය නැහැ. මේ දක්වා කෝවිඞ් වැළැක්වීමේ යම්කිසි සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනවා නම් ඊට හේතුව ශක්තිමත් ප්‍රජා වෛද්‍ය සේවය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බිම්මට්ටමේ ඉන්නවා වගේම දිස්ත්‍රික් පළාත් සහ ජාතික මට්ටමින් ඒකාබද්ධ ජාලයක් තිබෙනවා. අපේ සෞඛ්‍ය ඇමතිනිය යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ඒ යටතේ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ වගේම වසංගත රෝග විද්‍යා අංශයක් තිබෙනවා. මේ යාන්ත්‍රණය තිබුණත් කෝවිඞ් මර්දනයට විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත් කළා. මේ සම්බන්ධයෙන් එතුමියට තිබෙන බලය මොකක්ද? ඔක්කොම ආයතන තිබෙන්නේ වෙනත් ඇමතිවරියක් යටතේ. සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරියගේ අත් කකුල් බැඳලා. මේකත් අර පැණිය වගේ තවත් විජ්ජාවක්.

ඒ වගේම යුද හමුදාපතිතුමා වැදගත් නිලයක් දරන්නේ. එතුමා අද කරන්නේ මාධ්‍ය ප්‍රකාශක වැඬේ නෙවෙයිද? දෛනික සංඛ්‍යා දත්ත ප්‍රකාශ කිරීමට යොදවලා. එය එතුමාගේ තත්වයට සුදුසු නැහැ. හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය යන්ත්‍රණය වගේම සියලුම ජන කණ්ඩායම් කෝවිඞ් මර්දනයට අවශ්‍ය වෙනවා. නමුත් ඒ තීරණ ගන්නේ කවුද? සෞඛ්‍ය අමාත්‍යාංශයද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාද කියලා කිසිම පැහැදිලිකමක් නැහැ. කෝවිඞ් මර්දනයේ කිසිම පිළිවෙළක් නැහැ.

අපේ රටේ කොරෝන මර්දනය එන්ජින් එකක් නැති වාහනයක් වගෙයි. කොහේද යන්නේ කියලා දන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේම විවිධ අංශ අතර පවා සම්බන්ධීකරණයක් නැහැ. ඒ වගේම දිස්ත්‍රික් සහ ජාතික මට්ටමෙන් ගත්තත් නිසි සම්බන්ධීකරණයක් නැහැ. සම්බන්ධීකරණයක් තියෙන තැන්වල අඩුපාඩුකම් ගොඩක් තිබෙනවා. ප්‍රජා වෛද්‍ය සේවය කොච්චර ශක්තිමත් වුණත් පවතින තත්වය හමුවේ ප්‍රතිසංවිධානය කරන්න වෙනවා. ශක්තිමත් කරන්න වෙනවා. ඒ සඳහා ආණ්ඩුව වහාම මැදිහත් වෙන්න ඕනෑ. මම පසුගිය ඔක්තෝබර් මාසයේ අනතුරු ඇඟවීමක් කළා. මේ විදිහට ගියොත් නත්තල සහ අලුත් අවුරුද්ද සමරන්න වෙන එකක් නැහැ කියලා. ඒ වගේම දැන් වෙලා තියෙනවා. මේ විදිහට ගියොත්, අවශ්‍ය ප්‍රතිසංවිධාන නොකළොත් සිංහල අවුරුද්ද සමරන්න වෙන්නෙත් නැහැ. මේ වෙද්දි කෝවිඞ් මර්දනය අරාජිකත්වයට පත්වෙලා.

අපිට අවශ්‍ය ලංකාවෙන් කෝවිඞ් තුරන් කරන්න. ඒ වෙනුවෙන් උපරිම ශක්තිය අපි ලබාදෙනවා. ඒ අතර අපි හැමෝම ආණ්ඩුවට බල කළ යුතුයි, මේ යන ගමන වෙනස් කරලා නිවැරදි මාවතකට කෝවිඞ් මර්දන ව්‍යාපාරය ගෙනයන්න කියලා.”

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *