ආණ්ඩුව ‘සුදු ලේන්සුවට’ බය ඇයි?

බලහත්කාරයෙන් මෘතදේහ ආදාහනය කිරිම

බලහත්කාරයෙන් මෘතදේහ ආදාහනය කිරිම

කොරෝනා රෝගීන් යැයි පවසමින්, මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු, ඥාතීන්ට බාර නොදී සහ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ ‘ආදාහනය කිරීමට’ ආණ්ඩුව ගෙන ඇති පියවරයන්ට විරෝධය එල්ල වෙමින් තිබේ. නිව්මෝනියා ආසාදනය වී මිය ගියා යැයි සැලකෙන දින 20ක් වයසැති බිළිදාගේ මළ සිරුර, දෙමාපියන්ට දැකබලා ගැනීමට හෝ කිසිදු අවස්ථාවක් සළසා නොදෙමින් පුලුස්සා දැමීමට බළධාරීන් තීරණය කිරීමත් සමග මෙි විරෝධතාවයන් වඩා තීව්‍ර අතට පත්විය. කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිස් විසින් ‘සුදු ලේන්සුවක්’ නගරවල වැටවල්, කඩසාප්පුවල දොරවල් වල ආදී ස්ථානයන් වල ගැට ගසා සිය සඛේතාත්මක, සාමකාමී විරෝධතාවයක් දැක්වීය. එය කොළඹින් ඔබ්බට දක්වා ඇවිලී ගිය සාමකාමී සංඛේතාත්මක විරෝධතාවයක් විය.

සුදු ලේන්සුවට බය වූ ගොඨාබායාණ්ඩුව

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මෙසේ පුලුස්සා දැමිමට එරෙහිව ඇවිලි ගිය සාමකාමී විරෝධයට ගොඨාබයාණ්ඩුව බිය වී ඇති බව ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් පෙනෙන්නට විය. ට්විටර් පණිවිඩයක් තබමින් විකල්ප වෙබ් අඩවිය මෙසේ සදහන් කළේය ”බොරැල්ල කනත්ත ආදාහනාගාරයේ ගේට්ටුව මත ගැට ගසා තිබුණු සුදු රෙදි කඩවල් අද පොලිසිය විසින් ඉවත් කොට තිබේ. අද එම ස්ථානයට යන විට ඒවා ඉවත් කර ඇති බවත් එහි පැමිණෙන පිරිස් හමුදා සහ බුද්ධි අංශ විසින් ප්‍රශ්න කරනා බවද තොරතුරු ලැබී තිබේ”

උතුරේ දේශපාලන ප්‍රශ්ණය මිලිටරි ප්‍රශ්ණයක් ලෙස සලකා, දේශපාලන ප්‍රශ්ණයකට මිලිටරිමය ලෙස පිළිතුරු ලබා දී උතුරේ මිනිස් ජීවිත දහස්ගණනක් මහපොළව යට වැළලීමට ක්‍රියාකල හමුදා නායකයෙක් දැන් ලංකාව තුළ ජනාධිපති ධූරය හොබවයි. ඊනියා ‘මානුෂික මෙහෙයුම’ ලෙස නම් කළ යුද්ධයෙන් පසු, යුද්ධයේදී මිය ගිය බිළිදාගේ සිට මහලු මිනිසා දක්වා ඔවුන් සිහි කරමින් පහන් දැල්වීමට පවා තහංචි දැමූ පාලනයක අතීත මතකයන් නැවතත් අප ඉදිරියේ ජීවමාන වෙමින් තිබේ. වතුර ඉල්ලූ මිනිසුන් මහමග දී හමුදා වෙඩි උණ්ඩයට බිලී වූ ඉතිහාසයක ඛේදවාචකයේ සෙවනැළි යළිත් භූමියේ සක්මන් කරමින් ඇත. වැළිකඩ ඝාතනයේ සිට මහර ඝාතනය දක්වා අපට යළි සිහිපත් කරන්නේ ඒ අදුරු ඉතිහාසයක, අදුරු සෙවනැළිවල බියකරුකමය. නමුත් ඒ බියකරු අතීතයක ඇතුළත තවත් පැත්තක් අනාවරණය වෙයි. ඒ උතුරේ දී පහනට බිය වූ ඒ පාලකයින්, මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු අදාහනය කිරීම පිළිබදව, සංඛේත විරෝධයක් ලෙස මතු වෙමින් ඇති සුදු ලේන්සුවට ද බිය වී ඇති බවකි. මර්දනය, ඝාතනය සහ උණ්ඩය ගැන විශ්වාස තබමින් රාජ්‍ය පාලනය කරන ඕනෑම අයෙක් සාමකාමී විරෝධතාවයන්ගෙන් මතුවන සාමූහික හඩට බිය වන්නේය. සාමූහික වැළපීම්වලට බිය වන්නේය. අයිතිවාසිකම් අහිමි වූ වින්දිත මිනිසුන්ගේ වේදනාවන් ගේ කදුලු වලට ඔවුන් බිය වන්නේය. මරා දැමූවන් සිහි කරමින් පත්තු කරන පහන් දැල්ලට ඔවුන් බිය වන්නේය. වේදනාව විසින් එකතු කරනු ලබන සාමූහික මිනිස් බැදීම්වල ශක්තියට ඔවුන් බිය වන්නේය. ලංකාවේත් දැන් සිදු වන්නේ එයයි.

නමුත්, අයිතිවාසිකම් ගැන තුට්ටුවකට මායිම් නොකරන පාලකයින්, ඒ බිය නිසාම තවත් බියකරු දේවල්ම සිදු කිරීමට උත්සහ ගනියි. තමන්ට ඇතිවන බිය පලවා හැරිය හැක්කේ ද බිය කිරීමෙන් බව ඔවුන් විශ්වාස කරයි. හිරිවැටුනු සෙනග බහුතරයක් ඉන්නා සමාජයක් මෙය සිදු කිරීමට එවන් පාලකයෙක්ට ලෙහෙසි වැඩකි. සුදු ලේන්සුව තමන්ගේ බල ව්‍යාපෘතියට සංඛේත හෝ බාධාවක් නිසා, හුලගකට පවා සෙලවෙන ඒ කුඩා රෙදි කැබැල්ල, සිය දැවැන්ත මිලිටරි යාන්ත්‍රණයේ සාමාජිකයින් ලවා ඉවත් කරන්නේ ඒ නිසාය. ඒ කුඩා රෙදි කැබැල්ල කම්බියේ ගැටගසන වේදනාවෙන් සලිත පුරවැසියාව මිලිටරි යාන්ත්‍රණයේ සාමාජිකයින් විසින් ප්‍රශ්ණ කරන්නේ ඒ නිසාය.

කෙසේ නමුත්, ‘සහෝදරයා’ නම් ටෙලි නාට්‍යයේ කිව් සේ, ලංකාව කියන්නේ ඝාතනවලින්වත් ඉගෙන ගන්න රටක් නෙමෙයි.

මිරුසවිල් හී දී නිරායුද සිවිල් වැසියන් 8දෙනෙක් (ළමුන් ඇතුලුව) ගෙළ සිද සමූහ ඝාතනයට ලක් කිරීම පිළිබද චෝදනා ලැබ, 2000 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිව කටයුතු කරන කාලයේ අත්අඩංගුවට පත්, පසුව ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී පසුව, මරණ දඩුවම් හිමිව බන්ධනාගාර ගත කර සිටි, සුනිල් රත්නායක නැමති හමුදා සාමාජිකයාට 2020 මාර්තු හී දී ජනාධිපති සමාව දී නිදහස් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක, රූපට් කොල්විල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී.

 

“මෙය, දශක ගණනක් පැවති යුද්ධයේ දී වූ සිදුවීම් අතර චෝදනා ඔප්පු කළ හැකි වූ විරල මානව හිමිකම් නඩුවලින් එකකි. ජනාධිපති සමාව, වින්දිතයින් අවමානයට ලක් කරන්නකි. එසේම යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ අනෙකුත් බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව ප්‍රමාණවත් වගකීමක් ඇති කිරීමට ඇති අන්තර්ජාතික මානව හිමිකම් බැඳියාවන්ට අනුගතවීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ මෙය තවත් එක් නිදසුනකි.”

Link

දැන්, ස්වාභාවික රෝගී තත්ත්වයකින් බිළිදෙක් මිය ගොස් තිබේ. ඒ බිළිදාගේ අවසන් කටයුතු සිදු කිරීමේ අශීලාචාර තත්ත්වය ගැන දසතින් විරෝධය එල්ලවෙමින් තිබේ. ඒ විරෝධයන් සියල්ලම සාමාකාමී විරෝධයන්ය. සාමූහික වේදනාව ප්‍රකාශ කරන සංඛේත විරෝධතාවයන්ය. නමුත් ඒ සංඛේත විරෝධතාවයන් මර්දනය කිරීමට පියවර ගනිමින් නැවත වරක් අපට පෙන්නුම් කරමින් සිටින්නේ, වත්මන් පාලන ක්‍රමය තුළ වන, මානව හිමිකම් පදනම් නොවන, අශීලාචාර හැඩය මිසක් අන් කිසිවක් නොවේ.

එබැවින් එය පරාජය කළ හැකි වන්නේත්, සාමූහික මිනිස් දම්වැලකට ය. මිනිස් වේදනාවන් පිළිබද සංවේදී හදවත් වලටය.

-Vikalpa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *