යාපනය සරසවියේ වෙසක් උත්සවයේ සිදුවීම ගැන ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්

0
යාපනය සරසවියේ වෙසක් උත්සවයේ සිදුවීම ගැන ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්

යාපනය සරසවියේ වෙසක් උත්සවයේ සිදුවීම ගැන ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලද වෙසක් උත්සවය මුල් කරගනිමින් මතුව ඇති තත්ත්වය පිළිබඳව එම පීඨයේ ශිෂ්‍ය සංගමය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ, වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීම ඇතුළු මෙම ආගමික සහ සංස්කෘතික වැඩසටහන ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව පවත්වන ලද්දක් බවයි.

එමෙන්ම, දෙමළ සිසුන් ද මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා සක්‍රීයව දායක වෙමින් අවශ්‍ය සහයෝගය ලබා දී ඇති බව එහි සඳහන් වනවා.

කෙසේ වුවද, දැනට විමර්ශනය වෙමින් පවතින සිදුවීමක් හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් එක් වෙසක් කූඩුවකට හානි කර ඇති බවත්, එම වෛරී ක්‍රියාව ශිෂ්‍ය සංගමය දැඩි ලෙස හෙළා දකින බවත් නිවේදනයේ දැක්වෙනවා.

මේ සඳහා සෘජුවම වගකිවයුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිසි විනයානුකූල පියවර ගත යුතු බව ශිෂ්‍ය සංගමයේ ස්ථාවරය බව ඔවුන් සඳහන් කරනවා.

එසේ වුවද, මෙම තනි හුදකලා සිදුවීම සමස්ත දෙමළ ශිෂ්‍ය ප්‍රජාව පිට පැටවීමට සහ එය ජාතිවාදී ගැටලුවක් බවට පත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, එම පදනම් විරහිත චෝදනා ශිෂ්‍ය සංගමය ප්‍රතික්ෂේප කරන බවත් එහි අවධාරණය කර තිබෙනවා.

කිසිදු පදනමකින් තොරව අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙසත් ශිෂ්‍ය සංගමය සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම, පීඨය තුළ පවතින සහජීවනය සහ ගරුත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට වගකීමෙන් කටයුතු කරන ලෙසද එම නිවේදනය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com