Type to search

ජනපතිගෙන් සර්ව සිංහල මානව හිමිකම් කොමිසමක්

Share

යහපාලන ආණ්ඩුව කාලයේ, ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ‘ඒ’ ශ්‍රේණියට උසස්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හැකිවිය. ඊට පෙර මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේදී එය තිබුණේ ‘සී’ තත්වයට වැටිලාය. ඊට හේතුව වුණේ, 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කොමිෂන් සභාවේ පත්කිරීමේ ක්‍රියාවලිය ස්වාධීන නොවන තත්වයකට වැටීමය. 19 යටතේ, එහි පත්කිරීම් කරන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ස්වාධීන කිරීමෙන් යළිත් ‘ඒ’ ශ්‍රේණියට එන්නට ලංකාවේ මානව හිමිකම් කොමිසමට හැකිවිය. එහි ගෞරවය මුළුමනින්ම ලැබිය යුත්තේ යහපාලන ආණ්ඩුවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටත්, ආචාර්ය දීපිකා උඩගම ඇතුළු මානව හිමිකම් කොමිෂන් සභාවටත්ය.

දැන්, 20න් යළි ස්ථාපිත කර ඇත්තේ 18හි පැවැති ස්වභාවයමය. ඒ අනුව, මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ ජාත්‍යන්තර ආයතන බලන විධිය ගැන අපට ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් හැටියට පස්දෙනකුගේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පාර්ලිමේන්තු සභාව වෙත යවා තිබේ. ජගත් බාලසූරිය (සභාපති), විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න, කුමාරි බලල්ල ඒ නම් ටිකය.

බැලු බැල්මටම මේ නම් අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යනු සර්ව සිංහල කොමිෂන් සභාවකි. රටේ ජනවාර්ගික විවිධත්වය එහි පිළිබිඹු වන්නේ නැත. එපමණක් නොවේ.

එය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් කරන ලද නාමයෝජනාය. ඒ ඇයි? එහි 3(3) වගන්තිය අනුව, ‘එහි කොමසාරිස්වරුන් හැටියට නිර්දේශ කිරීමේදී සුළු ජාතීන් කොමිෂන් සභාවේ නියෝජනය වීමේ අවශ්‍යතාව ගැන සැලකිල්ල යොමු විය යුතුය.’

ඒ ගැන සහතික වීමේ වගකීම පැවරී ඇත්තේ (දැන්) පාර්ලිමේන්තු සභාවටත්, අගමැතිවරයාටත්ය. පසුගිය කොමිෂන් සභාව ගතහොත්, එහි සුළුතර ජාතීන් නියෝජනකය කරමින් නීතිඥ අම්බිකා සත්ගුනනාදන් හා නීතිඥ ගසාලි හුසෙන් සාමාජිකයන් හැටියට පත්කරනු ලැබූහ. ඉදිරි ගෝඨාභය පාලන කාලයේ එහි සුළුතර ජාති නියෝජනයක් නැත. අවුරුදු තිහක යුද්ධයක් තුළ මානව හිමිකම් කඩවීම් ගැන විවිධාකාර චෝදනා නැගී ඇති රටක, මානව හිමිකම් කඩවීම්වල වින්දිතයන් නියෝජනය කරන දමිළ සාමාජිකයකුවත් මානව හිමිකම් කොමිසමට අනවශ්‍ය යැයි සිතීමෙන් ආණ්ඩුව ප්‍රකට කරන්නේ ආණ්ඩුවේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මානසිකත්වය මානව හිමිකම්වලටද එක සේ අදාළ බවයි.

තවත් ප්‍රශ්නයක් තිබේ. මානව හිමිකම් කොමිසම ඇරඹුණු දා පටන් මේ දක්වා කිසිම අවස්ථාවයක එහි සභාපතිත්වය දේශපාලකයකුට පැවරී නැත. සභාපතිවරුන්ගේ පරණ ලැයිස්තුව සොයාබැලීමෙන් එය පෙනෙු ඇත.

එහෙත්, දැන් එහි සභාපතිවරයා වනු ඇත්තේ, දේශපාලකයෙකි. හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. හිටපු ආණ්ඩුකාරවරයෙකි. ඒ ආචාර්ය ජගත් බාලසූරියයි. ඔහුගේ පුත්‍රයා වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකි. බිරිඳද හිටපු ආණ්ඩුකාරවරියකි. ඉතින්, පවතින ආණ්ඩුවට දේශපාලනිකව ළැදි පමණක් නොව, එහි පංගුකාර දේශපාලන පවුලක්ද නියෝජනය කරන පුද්ගලයකු මානව හිමිකම් කොමිසමේ සභාපතිත්වයට පත්කිරීමෙන් කොමිසමට සිදුවන යහපත ගැන අපට සිතාගත හැකිය.

ගෝඨාභය රාජපක්‍ෂගේ වියත් මගේ එක් චෝදනාවක් වුණේ, යහපාලන ආණ්ඩු කාලයේ ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නොවූ බවයි. දේශපාලන වශයෙන් පක්‍ෂපාත වූ බවයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ පසුව ආචාර්ය දීපිකා උඩගම මානව හිමිකම් කොමිසමේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වුණාය. එය උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් එක මොහොතක ප්‍රශ්න කළේ, ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නම්, ආණ්ඩු මාරු වූ විට, සභාපතිවරිය ඉල්ලා අස්වුණේ ඇයිද කියාය. ඔහු ඉන් කියන්නට අදහස් කළේ. සභාපතිතුමිය පරණ ආණ්ඩුවට හිතවත් නිසා අලුත් ආණ්ඩුව ආ විට ඉල්ලා අස්වූ බවයි. එහෙත්, දැන් සිදුවී ඇත්තේ කුමක්ද? ස්වාධීන කොමිෂන් සභා, රාජ-පක්‍ෂ පන්නයට ස්වාධීන කිරීමට. දේශපාලන පවුලකටම එය බාරදීමයි. දැන්, එහි ස්වාධීනත්වය ගැන රාජපක්‍ෂ වියතුන් කුමක් කියනු ඇද්දැයි අපි බලාසිටිමු.

‘කොමිෂන් සභාව මානව හිමිකම්වලට අදාළ කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් ඇත්තාවූ තැනැත්තන් අතුරින් තෝරාගනු ලබන සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත විය යුතුය’ යනුවෙන්ද පනතෙහි සඳහන් වේ. මේ වගන්තිය, දැන් නාමයෝජනා වී ඇති පස්දෙනාට අදාළ වන්නේ කෙසේද? ඔවුන් මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ දක්වා ඇති දායකත්වය, ඔවුන්ගේ පළපුරුද්ද කුමක්ද?

ඊටත් වඩා වැදගත් කාරණයක් තිබේ. නාමයෝජනා වි සිටින, මහාචාර්ය චන්දන උඩවත්ත යනු සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාය. ඔහු රත්නපුර ප්‍රදේශයේ පොහොට්ටුවේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකි. ඔහු මානව හිමිකම් කඩකිරීම ගැන චෝදනා ලබා සිටින්නෙකි. නවක වධයට ගොදුරු වීම නිසා 2015 පෙබරවාරි 16දා සියදිවි නසාගත්තායැයි වාර්තා වුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ අමාලි චතුරිකා නම් හිෂ්‍යාවගේ මරණයට අදාළ තොරතුරු පොලිසියට ලබා නොදීම සහ වසං කිරීම ගැන උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්තට එරෙහිව නඩු පවරන ලෙස එවකට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්‍ෂ, පොලිස් කොමිෂන් සභාවට ලිපියක් ලියමින් ඉල්ලා ඇත.

ඉතින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පත්වන්නේ මේ වාගේ අය නම්, ලංකාවේ මානව හිමිකම් ගැන අනාගතය කුමක් වනු ඇද්ද?

-අරුණ ජයවර්ධන | Anidda

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *