මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට නොහැකි වීමට හේතුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත දිසානායක අනාවරණය කරයි

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු වයඹ පළාතේ ඇති වූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට තම කඳවුරේ සිටි හමුදා භටයින් ප්‍රමාණවත් නොවූ බව වයඹ පළාතේ 143වන යුද බළකායේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ප්‍රියන්ත දිසානායක මහතා පවසා සිටියේය.

පාස්කු ප්‍රහ‍ාරය සහ ඉන් පසුව ඇතිවූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු තවදුරටත් සාක්ෂි දෙමින්,
මා භාරව සිටි බළකායේ සොල්දාදුවන් 600 ක් පමණයි සිටියේ. වර්ග කිලෝමීටර 7 888 ක් ආරක්ෂා කිරීමට මෙම හමුදාව ප්‍රමාණවත් නෑ.

අපි ආගමික ස්ථානවලට ආරක්ෂාව සැපයුවා. එයට සහාය වන ලෙස අපි පොලිසියෙනුත් ඉල්ලා සිටියා.
අපේ සේනාංකයේ ඛණ්ඩ දෙකක් ප්‍රදේශ කිහිපයකට යැව්වා. කෙසේ වෙතත් ප්‍රචණ්ඩක්‍රියා මැඩලීමට එය ප්‍රමාණවත් වුනේ නෑ.

2019 මැයි 12 වැනි දා පුත්තලම ගජබා රෙජිමේන්තුව යටතේ 16 වන සේනාංකයේ අණ දෙන නිලධාරි, හලාවත මුස්ලිම් සාප්පුවකට සිදුවූ පහරදීම දැනුම් දුන්නා. 12 සහ 13 යන දිනවල පළාතේ විවිධ ප්‍රදේශවල විවිධ සිදුවීම් වාර්තා වුනා. සිදුවීම් පිළිබඳව සොයා බැලීමටත් පොලිසියට සහාය වීමටත් ඔහු බොහෝ තැන්වලට ගිහින් තිබුණු බව සාක්ෂි දුන්නේය.

මෙම සිදුවීම් සම්බන්ධව කිසිවෙකු හමුදා අත් අඩංගුවට ගෙන තිබුණාදැයි රජයේ නීතිඥ ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්,

අප සතු ලේඛණ ප්‍රකාරව කිසිම කෙනෙකු අත් අඩංගුවට ගෙන නැහැ. ලේඛණ අනුව යකඩ මුගුරු, පොලු, පිහි යනාදිය ලග තබාගෙන සිටි අය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ බිංගිරිය පොලිසියට රැගෙන යෑම සඳහා හමුදා වාහන භාවිතා කර ඇති බව බ්‍රිගේඩියර් ප්‍රියන්ත දිසානායක සාක්ෂි දෙමින් පවසා සිටියේය.

2019 මැයි 13 වන දින කුලියාපිටිය පොලිස් ස්ථානය වටා ජනතාව රැස්ව අත් අඩංගුවට ගනු ලැබූවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් නිදහස් කරන මෙන් පොලිස්පති පූජිත ජයසුන්දර තමාට නියෝග කළ බව කුලියාපිටිය පොලීසිය භාර නිලධාරී පැවසූ බව බ්‍රිගේඩියර් ප්‍රියන්ත දිසානායක මහතා තවදුරටත් පවසා සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *