ජනනි කුරේට ද පිස්සු? ඇයව විවේචනය කරන අයට ද පිස්සු?

0
ජනනි කුරේට ද පිස්සු? ඇයව විවේචනය කරන අයට ද පිස්සු?

ජනනි කුරේට ද පිස්සු? ඇයව විවේචනය කරන අයට ද පිස්සු?

ජනනි කුරේ. ඇය මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයකි. සමහරු මානසික රෝගියෙකු ලෙස ඇයව හඳුන්වමින් ඇයට මඩ ගැසීමෙහි නිරත වී සිටිති.

ඒ, ඇයගේ ඉදිරිපත් කිරීම් කිහිපයක් මුල් කර ගනිමිනි. ඇත්තට ම ඇය මානසික රෝගියෙකු නම්, මානසික රෝගියෙකුට ගරහන පුද්ගලයන්ගේ මානසික මට්ටම කුමක් ද යන්න තීරණය කිරීම ඔබට භාර කරමින්, ජනනි කුරේ නම් වූ ඇයගෙන් ම අපි දැනගමු ඇත්තට ම ඇය කවු ද යන වග.

සමාජ මාධ්‍යවල ඔබට මානසික රෝගියෙක් කියල මඩ ගහනවා, ඇත්තට ම ඔබ මානසික රෝගියෙක් ද?

මම අභිවාහ්‍ය කලාවේ (Performance Arts) නියැලෙන්නෙ 2003 ඉඳලා. මේ වෙනකොට මම ඉදිරිපත් කිරීම් 60ක් පමණ කරල තියනවා. සමහර ඒවා අන්තර්ජාතික වශයෙන් කළ ඒවා. ඒ කිසි ම මොහොතකදි විදේශීය රටවල පුද්ගලයෝවත් මේ කලාවට ගරහල නැහැ. මම අන්තර්ජාතික වශයෙන් කලාවේ නියැලෙන කෙනෙක් නිසා මම දන්නවා වෙනත් රටවල ප්‍රේක්ෂකයන්ගෙ කලා රසඥතාව ගැන. මම ඉන්දියාව සමග ගොඩක් වැඩ කරල තියෙන නිසා මම එතනින් ම උදාහරණයක් දෙන්නම්. ඉන්දියාවෙ සමහර ප්‍රදේශ තියනවා සාක්ෂරතාව ඉතා ම අවම මට්ටමක පවතින ප්‍රදේශ. නමුත් තමන්ට නොතේරෙන කලා කෘතියක් කිසියම් මාධ්‍යයක් හරහා දැක්කත් ඔවුන් ඒකට ගරහන්න යන්නෙවත්, ඒක කරන පුද්ගලයා උන්මත්තකයෙක් කියන්න තරම් පහත් තත්ත්වයකට වැටෙන්නෙවත් නැහැ. ඔවුන් කලාව දකින්නෙ ගෞරවනීය දෙයක් විදියට.

මට මේ වෙනකොට දැනිල තියනව ලංකාවෙ කලා රසඥතාව ඉතා ම පහත් මට්ටමක තියෙන්නෙ කියලා.

අනිත් දේ තමයි, මම වෘත්තියෙන් ගුරුවරියක් වුණත් මම ගුරු වෘත්තිය කියන එක මගේ කලා ජීවිතේට අදාළ කරගෙන නැහැ. ඒ දෙක දෙකක්. මම පාසල් පරිශ්‍රය තුළවත්, පාසල් කාල සීමාව ඇතුළතවත් මේ කලා කෘති කරන්නෙ නැහැ.

මම ගුරු ආචාර ධර්මවලට අනුකූලව ඒ තුළ ඉඳගෙනයි මගේ කලා කෘති ඉදිරිපත් කරන්නේ. මම විතරක් නෙමෙයි විදේශීය රටවල පවා ඉන්නවා ගුරු වෘත්තියේ නියැලෙන ගමන් අභිවාහ්‍ය කලාවෙත් නිරත වෙන අය. බටහිර රටවල පවා පාසල් රටවල මේ කලාවෙ නියැලෙන ගුරුවරු ඒක කරන්නෙ ගුරු ආචාර ධර්මවලට යටත්ව. ඇමරිකාව, එංගලන්තය වගේ රටවල පමණක් නොවෙයි ආසියානු රටවලත් සීමා සහිත ප්‍රේක්ෂකයන් ඉදිරියේදී නිරුවත් අභිවාහ්‍ය කලාකෘති එළි දක්වන ශිල්පිනියන් සිටිනවා. නමුත් පාසල් ගුරුවරියන් ලෙස රැකියා කරන කලා ශිල්පිනියන් එහෙම කරන්නෙ නැහැ.

මගේ ‘ඔසරිය’ කියන කලා කෘතියට හාස්‍යජනක පෝස්ට් නිර්මාණය කරල හිනා වුණා සමහරු. ඒක යොදා ගත්තා ඔවුන් මගේ ගුරු වෘත්තියට පවා පහර දෙන්න.

හොයලා බැලුවා ම මගේ කලා නිර්මාණවලට හිනා වුණ, මඩ ගැහුව අය අතර බහුතරය ඉන්නේ නිසි අධ්‍යාපනයක් නොලබපු පුද්ගලයෝ කියලා තේරුණා.

ඒ වගේ ම නීතීඥයින් වගේ උගත් පුද්ගලයන් පවා මට මඩ ගැහුවා.

වඩාත් ම දුක හිතුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්වත් නොලබපු ගුරුවරු හිටියා මාව විවේචනය කළ අය අතර. ඔවුන් මම ඉදිරිපත් කළ අභිවාහ්‍ය කලා කෘතිවලට කිව්වෙ ‘නාඩගම්’ කියල. නාඩගම් නටනවා ගුරුවරියක් වෙලා කියල මාව විවේචනය කළා.

ඒකෙන් තේරුම් ගන්න තියන දේ තමයි ගුරුවරු විදියට ඔවුන් කලාව කියන දේ සම්බන්ධව යාවත්කාලීන නැහැ කියන එක.

ඒ වගේ ගුරුවරු ඉන්න අතරෙ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හිටියා මාව විවේචනය කරන අයට මම වෙනුවෙන් පෙනී ඉඳළා පිළිතුරු දුන්න. සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මගෙන් ඉගෙන ගත් අයවත්, කලාව හදාරපු අයවත් නෙමෙයි. විද්‍යා, වාණිජ්‍ය වගේ විෂයන් හදාරන අය. ඒ ගැන මට සතුටුයි. ඒ දරුවෝ රටේ අනාගතේ.

මම කලින් ඉගැන්වූ පාසල්වල ගුරුවරු, මම දන්න කියන අය වගේ ම මාව නොදන්න අය පවා මට මඩ ගහන අයට විරුද්ධව මම වෙනුවෙන් පෙනී සිටියා.

ඔවුන් හඬ නැගුවේ මම වෙනුවෙන් විතරක් නෙමෙයි සමස්ත කලාව වෙනුවෙන් කියලයි මම දකින්නේ.

අනුරාධපුරේ චිත්‍ර කලාව උගන්වන ගුරුවරයෙක් මුල්වෙලා අභිවාහ්‍ය කලා වැඩමුළු පවත්වනවා.

ඒ වගේ ම අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නව සමහර උසස් තනතුරු දරන නිලධාරීන්, වෙනත් පාසල්වලත් අභිවාහ්‍ය කලාව පිළිබඳ වැඩමුළු කරන්න කියල මගෙන් ඉල්ලීම් කළ. ඉතින් ඒ වගේ යාවත්කාලීන ගුරුවරු, අධ්‍යාපන වෘත්තිකයන් පවා ඉන්නවා මේ රටේ.

දැඩි නීතිරීති සහිත අරාබි රටවල පවා අභිවාහ්‍ය කලාවේ නියැලෙන කලාකාරිනියන් ඉන්නවා. ඉස්ලාම් නීති රීති මැද ඔවුන් ඒක කරගෙන යනවා. ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල උගත් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ නිරුවත් ඉදිරිපත් කිරීම් කරන කලාකරුවන් කලාකාරියන් ඉන්නවා.

මම කරන ඉදිරිපත් කිරීමක් පවා කරන්නෙ යම්කිසි අර්ථයක් සහිතව. නමුත් ඒක තව කෙනෙක්ට වෙනත් අර්ථයක් සහිතව තේරුම්ගන්න පුළුවන්. මොක ද කලා කෘතියකට බහු අර්ථ තියනවා. නමුත් ෆේස්බුක් හරහා ඒකට ගරහලා ඒක පිස්සුවක් විදියට හඳුන්වලා විකෘති වින්දනයක් ලබන එක අනුමත කරන්න බැහැ.

යම් පුද්ගලයෙක් දෘශ්‍ය කලාව කියලා හිතන්නේ බිත්තියේ එල්ලපු චිත්‍රයක් පමණක් නම්, එහි විකාශනයක් පිළිගැනීමට අකමැති නම්, එම පුද්ගලයාගේ කලා රසඥතාවයේ අඩුවක් තියෙනවා. උසස් කලාකෘතියක් කිරීමට හෝ රස විඳීමට තමන් කරන රැකියාව අදාළ විය යුතු නැහැ.

ඕනෑ ම කලාවක් අලුතෙන් හඳුන්වා දෙනකොට ඒකට විරුද්ධව ප්‍රහාර එල්ලවෙන එක සාමාන්‍ය දෙයක්. පැබ්ලෝ පිකාසෝගෙ ‘අවිග්නන් යුවතියෝ’ (Les Demoiselles D’Avignon) කියන නිර්මාණයට විශාල විවේචන ප්‍රමාණයක් එල්ල වුණා. ඔහුට ඒ නිර්මාණය ප්‍රදර්ශනයට නොතියා කාලයක් තියාගෙන ඉන්න සිද්ධ වුණා. 1907 වගේ කාලයක ඔහු ඒක නිර්මාණය කරන්න පටන් ගත්තෙ. ඒ වගේ කාලයක දියුණු මාධ්‍ය ක්‍රමයක් නොතිබුණ නිසා මිනිස්සු සීමා සහිත කලාවක් දැක්කේ. ඒ නිසා වෙනස් විදියෙ නිර්මාණයකට විවේචන එල්ල වෙන එක සාධාරණයි.

නමුත් 21 වන සියවස කියන්නේ දියුණු තාක්ෂණයක් සහිත කාලයක්. ලෝකයේ ඕනෑ ම තැනක සිදුවෙන දෙයක් අපිට තත්පර ගාණකින් බලාගන්න පුළුවන්කම අපිට තියනවා. එහෙම කාලෙක මිනිස්සුට සවිඥානික බවක් තියෙන්න ඕන වෙන රටක පවා තියන කලාවක් ගැන. තමන් ඒ ගැන නොදන්න නිසා ඒක විවේචනය කරල ඒ කරන පුද්ගලයට පිස්සෙක් කියනවනම් එතන ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ නොදන්නාකම.

ෆේස්බුක් හරහා එල්ල කළ සමහර අහිතකර ප්‍රතිචාර නිසා මට මානසික වේදනාවක් ඇති වෙන තත්ත්වයක් ආවත් අභිවාහ්‍ය කලාව කියන්නෙ මොකක් ද කියන එක ගැන ගොඩක් අය හොයන්න පෙළඹුණ එක ගැන මම සතුටු වෙනවා.

ජනනි කුරේ කියන්නෙ කවුද?

ශ්‍රී ලාංකික කාන්තාවක්. මම අභිවාහ්‍ය කලා ශිල්පිනියක් විදියට ලෝකය නියෝජනය කරනවා. ලංකාවෙදි පමණක් රැකියාවක් ලෙස පාසල් ගුරුවෘත්තියේ යෙදුනට මම කැමැති මාව ජාත්‍යන්තරයේ පිළිගන්නා විදිහට අභිවාහ්‍ය කලා ශිල්පිනියක් ලෙස හඳුන්වනවාට.

ඔබ 2003 වර්ෂයේ සිට අභිවාහ්‍ය කලාවේ නියැලුණත් හිටි හැටියේ ම ඇයි මේ දවස්වල සමාජ මාධ්‍යවල ඔබව කතාබහට ලක්වෙන්න ගත්තේ?

මේ දවස්වල කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක කලාකරුවන්ට වෙනත් රටවලට ගිහින් ඉදිරිපත්කිරීම් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අන්තර්ජාතික කලා සංවිධාන විසින් ඉන්ටර්නෙට් ඔස්සේ කලා කෘති ඉදිරිපත් කරන්න වැඩසටහන් සංවිධානය කළා. Zoom හරහා, ෆේස්බුක් හරහා මේවා සංවිධානය වුණේ.

මමත් ඒ වගේ අවස්ථා කිහිපයකට ම සම්බන්ධ වුණා.

ඒ අතර සිංගප්පූරු ජාතික අභිවාහ්‍ය කලාකරුවෙක්, අභිරක්ෂකයෙක් (curator) විසින් සංවිධානය කළ වැඩසටහනකට මම සහභාගී වුණා ’99 Sharing Crisis කියලා.

එහිදී ඊට සහභාගී වන අය ඉදිරිපත් කිරීම් කරලා ඒ ෆොටෝ ෆේස්බුක් හරහා තමයි අප්ලෝඩ් කරන්න ඕන කියල තිබුණේ.

මම ඒකෙදි ‘ස්වයං භූමදානය’ (Buried by Myself) කියල ඉදිරිපත් කිරීමක් කළා. ඒකෙ ෆොටෝ අප්ලෝඩ් කරල දවස් 2ක් වගේ යනකොට මට ගොඩක් අය මැසේජ් කරල, කෝල් කරල කිව්වා ඔයාගෙ ඉදිරිපත්කිරීමක ෆොටෝවලට කැත විදියට පෝස්ට් හදල share වෙනවා කියලා. ඒකෙන් තමයි මේ දවස්වල කතා බහට ලක්වෙන්න ගත්තේ.

ඇත්තට ම ‘ස්වයං භූමදානයෙන්’ ඔබට කියන්න ඕනේ වුණේ මොකක් ද?

ඒකෙන් මම අදහස් කළේ සමාජ අවශ්‍යතා මත අපේ කැමැත්ත යටපත් කරගෙන අපි ආස කරන දේවල් නොකර අපි අකමැති දේවල් කරමින් ඉඳලා, අපි අවසානයේ වැළලිලා යනවා කියන එක. ඒ වගේ ම, ඒ දවස්වල කොරෝනා වසංගතය නිසා වෙනත් රටවල මිනිස්සු විශාල සංඛ්‍යාවක් මිය ගියා. ඔවුන්ව සමූහ වශයෙන් වළදාන්න සිදුවුණා මිනී පෙට්ටියකවත් නොදා. ඒ අදහසත් මම ඒ හරහා ඉදිරිපත් කළා.

ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවා ද?

මම මූලික අධ්‍යාපනය ලැබුවෙ නුගේගොඩ, අනුලා විද්‍යාලයෙන්. ඉන්පසුව කොළඹ, සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර සහ මූර්ති අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලැබුවා.

අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක් ජාතික අධ්‍යාපන ආයතනයේ හදාරලා තියෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ ශාස්ත්‍රපති උපාධියක් මේ වෙනකොට හදාරමින් සිටිනවා.

ප්‍රසාංගික කලා (Performing Arts) සහ අභිවාහ්‍ය කලා (Performance Arts) අතර වෙනස සරලව පැහැදිලි කළොත්?

ප්‍රසාංගික කලාවෙදි අධ්‍යක්ෂවරයෙක් යටතේ තමයි ඉදිරිපත් කිරීමක් කෙරෙන්නේ. එහිදී අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදියට එය ඉදිරිපත් කරන නළුවා හෝ නිළිය මෙහෙයවනු ලබනවා. තමන්ට ඕන විදියට ඉදිරිපත් කිරීමක් කරන්න ඔහුට හෝ ඇයට එහිදී හැකියාවක් නැහැ.

නමුත් අභිවාහ්‍ය කලාවෙදි සංකල්පය අයිති ඉදිරිපත් කරන කෙනාට. ඒ වගේ ම, තමන්ගෙ ශරීරය හසුරවන්නේ අභිවාහ්‍ය කලා ශිල්පියා තමන්ට අවශ්‍ය ආකාරයට. සාමූහික අභිවාහ්‍ය කලා ඉදිරිපත් කිරීමකදී විතරක් වෙන කෙනෙක්ගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කිරීමක් කරනවා.

ඇයි ඔබ අභිවාහ්‍ය කලාව තෝරා ගත්තේ?

මම අභිවාහ්‍ය කලාවට පිවිසුණේ ඒ ගැන මුලින් හදාරල නෙමෙයි. සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර උපාධිය ඉවර කරලා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඩිප්ලෝමාවක් හදාරන ගමන් ‘තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව’ කියන ආයතනය විසින් ලුණු ගඟ ජෙෆ්‍රි බාවා උද්‍යානයේ සංවිධානය කළ ජාත්‍යන්තර කලා වැඩමුළුවකට සහභාගි වුණා මම. ඒ 2003 දී. එහිදී සංවිධායක මණ්ඩලය අපට යෝජනා කළා ඒකාංගික හෝ සාමූහික ඉදිරිපත් කිරීමක් කරන්න කියලා.

පුරාවිද්‍යාව හදාරමින් සිටි නිසා ඉගෙන ගත්තා ඒ කාලේ ජලාශ්‍රිත ශිෂ්ටාචාර බිහිවෙන ආකාරය ගැන. ඒකෙන් මට අදහසක් ආවා ජලය සමග බැඳුණ සංස්කෘතික චාරිත්‍ර එක් එක් රටවල් අනුව වෙනස්වන ආකාරය වෙනත් තේරුම් සහිතව කලා කෘති ඉදිරිපත් කිරීමට. විදේශික කලාකරුවන් සමග කතාබහ කරලා අපි ඒ ගැන ඉදිරිපත් කිරීමක් කළා.

මම ඒකෙදි කළේ ‘Cage’ කියල ඉදිරිපත් කිරීමක්. ඒකෙන් කියැවුණේ ගැහැණු ළමයෙක් වැඩි විය පත්වුණා ම ලංකාවේ සංස්කෘතිය ඇතුළේ පුරුෂ මූලික සමාජය ඇයව සීමා කරනවා කියන එක. එතැනදී මාව නාවන්නේ පිරිමියෙක් විසින්. ඉන් පස්සේ අනිත් අය කැමති විදියට මාව වර්ණ ගන්වලා ආභරණ පළඳවලා මාව ලී කෝටුවලින් හැදුව කූඩුවකට ඇතුළු කරනවා.

ඒ ඉදිරිපත් කිරීමට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා තවත් අභිවාහ්‍ය කලා ඉදිරිපත් කරන්න මම පෙළඹුණා.

ඊට පස්සේ යාපනය මහජන පුස්තකාලයේදී 2004 වසරේ අවස්ථාවක් ලැබුණා ඉදිරිපත් කිරීමක් කරන්න. සාම ගිවිසුම නිසා දකුණේ සහ උතුරේ කලාකරුවන්ට එහිදී එකතු වෙන්න අවස්ථාවක් ලැබුණා.

ඒකෙදි මම ‘Pasting the Pieces’ කියන ඉදිරිපත් කිරීම කළේ. සාමය උදා වුණා කියලා පෙන්නුවාට ඇත්තට ම අපිට සාමයක් ලැබුණේ නැහැ. නැවත යුද්ධයක් ඇති වෙන්න පුළුවන් කියන එකයි ඒකෙන් ඉදිරිපත් කළේ. මොක ද දේශපාලනික වශයෙන් බෙදීම්, ගැටුම් පවා තිබෙන නිසා අපි සාමය උදා වුණ පිරිසක් නෙමෙයි ඒ වෙනකොටත්.

සමාජයට ප්‍රබල ආකාරයෙන් පණිවිඩයක් දෙන්න පුළුවන් කලාවක් අභිවාහ්‍ය කලාව කියන්නේ. ඒ නිසා අභිවාහ්‍ය කලාව තෝරගන්න කැමැත්තක් ඇති වුණා.

ඔය විදියට මේ අවුරුද්ද වෙනකොට මම අභිවාහ්‍ය කලා කෘති 60ක් විතර කරලා තියනවා.

ලංකාවේ තවත් අභිවාහ්‍ය කලා ශිල්පීන් ඉන්නවා ද?

ගොඩ්වින් කොන්ස්ටන්ටයින්, බන්දු මනම්පේරි වගේ කලාකරුවෝ මේ කලාවේ නියැලිලා ඉන්නවා.

සුජීවා කුමාරි කියන කලාකාරිනිය මගේ සමකාලිනයෙක්. සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබලා, පසුව හොලන්ඩ් විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධිය හැදෑරූ ඇයත් අභිවාහ්‍ය කලාවේ නියැලෙනවා.

ලංකාවෙ අභිවාහ්‍ය කලාවෙ නියැලුණ පළමු ශිල්පිනිය වෙන්නේ මම. ඒ වගේ ම කසුන් පතිරණ කියන ශිල්පියත් මේ කලාවේ නියැලෙන පුද්ගලයෙක්.

මීට අමතරව වෙනුරි පෙරේරා, කුමාරි කුමාරගමගේ, ලක්ණි කුමාරසිරි, කුමාරි රාධිකා, ප්‍රබුද්ධ ධනුෂ්ක සහ තුලාංජනී නිරෝෂා යන පිරිස අභිවාහ්‍ය කලාවේ දැනට නියැලෙනවා.

ලංකාවෙ අභිවාහ්‍ය කලාවේ ආරම්භය කොතැන ද?

1992 ජගත් වීරසිංහ සර්ගෙ ‘කාංසාව’ (Anxiety) කියන ප්‍රදර්ශනයෙදී සර්ගෙ උපදෙස් මත තමයි ලංකාවේ මුල් ම අභිවාහ්‍ය කලා ඉදිරිපත් කිරීම සිදුවුණේ. ඒකෙදි ලංකාවෙ වගේ ම ජර්මන් ජාතික ඇනා පෆ් කියන කාන්තාවක් සහභාගී වුණා ඒ ඉදිරිපත් කිරීමට.

1994 දි ගොඩ්වින් කොන්ස්ටන්ටයින්ගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයේදී ‘Broken Palmyra’ කියන ඉදිරිපත් කිරීම කරනවා. ඔහු තමයි ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙන්නේ අභිවාහ්‍ය කලා කෘතියක් ඉදිරිපත් කිරීමක් විදියට කළ.

2001 වසරේදී තීර්ථ ආයතනය විසින් ලුණු ගඟ ජෙෆ්‍රි බාවා උද්‍යානයේ සංවිධානය කළ කලා වැඩමුළුවේදී බන්දු මනම්පේරි කියන ශිල්පියා විසින් ‘Homecoming’ කියන ඉදිරිපත් කිරීමක් කරනවා. විදේශීය රටවල සිට ප්‍රසිද්ධ අභිවාහ්‍ය ශිල්පීන් පවා එම කලා වැඩමුළුවට සහභාගී වුණා.

මේ වගේ ඉතිහාසයක් තියනව අපේ රටේ අභිවාහ්‍ය කලාවට.

විදේශ රටවල ඔබ ලබපු අත්දැකීම් මොනවා ද?

මුලින් ම විදේශ රටක ඉදිරිපත් කිරීමක් කළේ 2011 දී. ඒ ඉන්දියාවේදි. වෙනත් රටවලදි හොඳ ප්‍රතිචාර ලැබුණා මගේ කලාකෘතිවලට. ඇගයීම් කළා ඔවුන් ඒ ගැන. හොඳ රසඥතාවක් සහිත ප්‍රේක්ෂකාගාරයක් තියනව ඒ රටවල.

මම ලංකාව පිළිබඳ හොඳ උසස් හැඟීමක් අභිවාහ්‍ය කලා කෘති හරහා විදේශිකයන්ට ලබා දීලා තියනවා.

සමහර විදේශීය කලාකරුවන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ ම ප්‍රාන්තයක් කියලා. ඒ නිසා මම ලංකාව කියන්නේ වෙන ම රටක් කියන එක ඔවුන්ට පෙන්වන්න ඕන නිසා ලංකාවේ හැඩේට හදලා තියෙන කී ටැග්, සීගිරිය වගේ ස්ථානවල ඡායාරූප එහෙම අරන් යනවා විදේශ රටවලට යනකොට. ඒවට ආස හිතිල ඔවුන් ලංකාවේ සංචාරය කරන්න ආව අවස්ථා පවා තියෙනවා.

ඔබගේ අනාගත සැලසුම් මොනවා ද?

මම අභිවාහ්‍ය කලාව තවත් ඉදිරියට රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දිගට ම ගුරු වෘත්තියේ මම රැඳෙන එකක් නැහැ. නමුත් අභිවාහ්‍ය කලාවේ මම හැම දා ම රැඳේවි.

මා මෙතෙක් දීර්ඝ කාලීනව ලද දේශීය විදේශීය අත්දැකීම් මත අභිවාහ්‍ය කලාව පිළිබඳව වැඩමුළු පවත්වා එය ලංකාව තුළ ප්‍රචලිත කරන්න වගේම තවදුරටත් ලංකාව මේ කලාවෙන් ජාත්‍යන්තරයට ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා.

ජනනි කුරේ නම් අභිවාහ්‍ය කලා ශිල්පිනිය විසින් ඉදිරිපත් කළ කලා කෘති ඇයගේ www.jananicooray.com වෙබ් අඩවිය හරහා ඔබට නැරඹිය හැකිය.

– mawbima.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com