Type to search

නව මකුළුවන් විශේෂ 104ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් ශ්‍රී ලංකාවෙන් සොයාගත් මකුළු විශේෂ 82කි. තවත් විශේෂ 22ක් වෙනත් රටවල් හතකින් හඳුන්වා දී තිබේ.

ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පරිණාමය, පරිසර විද්‍යාව සහ පරිසර ජීවවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස සේවය කරන මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් මේ වන විට නව මකුළුවන් විශේෂ 104ක් ලොවට හඳුන්වාදී තිබේ. තවත් නව මකුළු විශේෂ 50ක් පමණ හඳුන්වාදීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

මේ වනවිට ඔහු හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ 104 අතරින්, විශේෂ 82ක් සොයාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. වෙනත් රටවලින් හඳුන්වාදී ඇති මකුළුවන් විශේෂ ගණන 22කි. ඉන්දුනීසියාව (07), බ්‍රසීලය (04), මැලේසියාව (03), ඉන්දියාව (04), මැඩගස්කරය (01), ටැන්සානියාව (02) යන රටවලින් සහ ඩොමිනිකන් රාජ්‍යයෙන් (01) එම නව මකුළුවන් විශේෂ හඳුන්වා දී තිබේ.

ආදර දැල දැමූ ‘දුෂානි’ නමින් මකුළුවෙක්
මහාචාර්ය සුරේෂ් පි බෙන්ජමින් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙන්නේ මකුළුවන් දැල් සාදන ආකාරය පිළිබඳවයි. අවසානයේ ඔහු පැටළුණු ‘ආදර දැල’ සිහිවීම සඳහා ද නව මකුළු විශේෂයක් නම් කර තිබේ.

“මගේ ගුරුවරයා වන මහාචාර්ය කොන්රාඩ් තාලර් නමින් එක මකුළුවෙක් නම් කළා. මකුළුවන්ගේ පාට, කැපීපෙන ලක්ෂණ සහ හොයාගත්ත තැන් වලින් වගේම මයිකල් ඔන්ඩච්චි වගේ නවකතාකරුවන්ගේ නම් වලිනුත් මකුළුවෝ නම් කළා. සිංහරාජයෙන් මට හමුවුණු ලස්සන මකුළුවෙක් ඉන්නවා. ඒ මකුළුවා නම් කළේ මගේ බිරිඳ, දුෂානි බෙන්ජමින්ගේ නමින්. දැන් අලුතෙන් නම් හොයන එකත් පොඩි ගැටලුවක් වෙලා,” යනුවෙන් මහාචාර්යවරයා සිනා සුනේය.

කොළඹ දී උපත ලැබූ මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් උසස් පෙළ දක්වා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. ඉන් අනතුරුව ඔහු ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්රුක් විශ්වවිද්‍යාලයෙන් (University of Innsbruck) විද්‍යාපති උපාධියත්, ස්විට්සර්ලන්තයේ බාසල් විශ්ව විද්‍යාලයෙන් (University of Basel) ආචාර්ය උපාධියත් හිමිකරගෙන තිබේ.

පසුව ඇමරිකාවේ ද වැඩිදුර අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස හන්තානේ පිහිටි (NIFS) සේවයට එක් විය.

දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයෙන් සොයාගත් නව මකුළුවෙකු 2010 වසරේදී ලොවට හඳුන්වා දීම මහාචාර්ය බෙන්ජමින්ගේ පළමු සොයාගැනීම වේ.

‘දැනුමෙන් රටට වැඩක් කරන්න ආශාවක්’
අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා වසර 20ක් පමණ වෙනත් රටවල ජීවත් වීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.


ශ්‍රී ලංකික මහාචාර්යවරයෙක් නව මකුළුවන් විශේෂ 104ක් ලොවට හඳුන්වා දෙයි

“මම ලෝකේ රටවල ගිහින් තියෙනවා. ඇතිවෙන්න හිටියා කියලා මට හිතෙනවා. ලංකාවේ සත්තු අධ්‍යයනය කරන්න, අපේ දැනුමෙන් රටට වැඩක් කරන්න මට ආශාවක් තිබුණා. ඒ නිසයි මම ලංකාවට ආවේ,” යනුවෙන් මහාචාර්ය බෙන්ජමින් පැවසුවේය.

කෙසේ නමුත් මෙම පර්යේෂණ වලින් මිනිසුන්ට ක්ෂණික ප්‍රතිඵල අත් විඳිය නොහැකි නිසා, ඒවායේ වැදගත්කම ඇතැමුන්ට පහදා දීම අසීරු බව ද ඔහුගේ අදහස වී ඇත.

මකුළුවන් ගැන අධ්‍යයනය කරන පිරිස අඩුයි

ශ්‍රී ලංකාවේ කුරුල්ලන්, උභය ජීවීන්, උරගයන් සහ සමනලුන් වැනි සත්ව කාණ්ඩ පිළිබඳව අධ්‍යයනයට සැළකියයුතු පිරිසක් එක් වී සිටිති. එහෙත් මකුළුවන් සහ කෘමීන් පිළිබඳව අධ්‍යයනය සඳහා යොමුව සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති මකුළුවන් විශේෂ සංඛ්‍යාව 596කි. ඉන් 90%ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික වේ.

මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් පවසන ආකාරයට අප දැනට දන්නා විශේෂ මෙන් තවත් තුන් ගුණයක් පමණ ඉදිරියේදී සොයා ගැනීමට තිබේ.

“මගේ පර්යේෂණ කණ්ඩායමේ හත් දෙනෙක් විතර ඉන්නවා. ඊට අමතරව විනෝදයට අධ්‍යයනය කරන අය කිහිපදෙනෙක් ඉන්නවා. ලංකාවේ මකුළුවන් සහ කෘමීන්ගේ අලුත් විශේෂ කිහිපයක් හඳුන්වා දීපු පර්යේෂණ පත්‍රිකා හැරෙන්නට වෙනම පොත්පත් අඩුයි. ඒ වගේම මකුළුවන් සංඛ්‍යාවෙන් වැඩි නිසා බොහෝ දෙනෙක් මකුළුවන් අධ්‍යයනයට පෙළඹෙන බවක් පේන්න නෑ,” යනුවෙන් මහාචාර්යවරයා පවසයි.

මකුළුවන්ට ඇති තර්ජන
ශ්‍රී ලංකාවේ මකුළුවන්ට ඇති ප්‍රබලම තර්ජනය වන්නේ උන් ජීවත්වෙන පරිසරය විනාශවීමය. මානව ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතුන් නිසා ආරක්‍ෂිත පරිසර පද්ධතිවල ඇති පවා වාසස්ථාන විනාශ වීමේ අවදානමක් මතුව තිබේ.

“මීට අවුරුදු 100කට විතර කලින් ප්‍රංශයේ මකුළුවෝ හදාරපු කෙනෙක් හඳුන්වලා දුන්න මකුළුවෙක්ව මම අවුරුදු හතරක් විතර ලංකාවේ හෙවුවා. දවසක් මම නකල්ස් කැලේ මකුළුවෝ හොයනකොට දියපාරක් ළඟ ඒ මකුළුවෝ ටිකක් දැක්කා. එතන හිටියේ පොඩි පැටවූ. මම තුන් දෙනෙක්ව විද්‍යාගාරයට අල්ලාගෙන ආවා. අපිට පරීක්ෂණ වලට ඕනා හොඳින් වැදුණු සත්තු. පසුව මම සති දෙකකින් විතර ලොකු මකුළුවෝ එකතු කරන්න යනකොට එතන නාය ගිහින්,” යනුවෙන් ප්‍රකාශ කළේය.

එම දුර්ලභ මකුළුවන් විශේෂය යළි කිසිදා ඔහුට හමුවී නැත.

කෙසේ වෙතත් විද්‍යාගාරයේදී ඇතිදැඩි කළ මකුළුවන් යොදා ගෙන ඡායාරූප සහ සම්පූර්ණ විස්තර සහිතව එම මකුළු විශේෂය මහාචාර්ය බෙන්ජමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් තුළින් නැවත හඳුන්වා දී තිබුණි.

මෙලෙස අතීතයේ ප්‍රමාණවත් තොරතුරු නොමැතිව හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ කිහිපයක් මහාචාර්ය බෙන්ජමින් නැවත විස්තරාත්මකව විදු ලොවට හඳුන්වාදී තිබේ.

මකුළුවන් පිළිබඳ විශේෂඥයෙකු වූ, මේ වනවිට ඇමරිකාවේ නිවුයෝක් හි ජීවත් වන ප්‍රියන්ත විජේසිංහ සිය පර්යේෂණ සඳහා සහය දැක්වූ බව ඔහු කෘතවේදීව සිහිපත් කළේය.

“අපි පරීක්ෂණ කරන මකුළුවො එකතුව තියෙන්නේ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ රසායනාගාරයේ. පරීක්ෂණ අවසන් වුණාම ඒ සත්තු ජාතික කෞතුකාගාරයට භාර දෙනවා. මොකද අපි හැමදාම ඉන්නේ නෑනේ. කෞතුකාගාරය හැමදාම තියෙනවා,” යනුවෙන් මහාචාර්ය බෙන්ජමින් වැඩිදුරටත් පැවසුවේය.

– BBC NEWS

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *