Type to search

කෑලි කැඩී – ඉරී ගියත් දරුවන්ම සොයන්නී : ඇගේ නම අම්මාය

Share

කැළයේ තැනූ තොටිල්ලක දරුවන් හිස ඔසවන තුරු තමන්ගේ පාඩුවේ කල් ගෙවූ අම්මා ඇය ය. මනුසතා පැමිණ ඇගේ දරුවන්ගේ තොටිල්ලට ගල් ගසා, එය සිඳ දමා, බිත්තර වනසා දමන විට වේදනාවේ වියරුවෙන් කෑ ගැසූ අම්මා ඇය ය.

මේ ඇය මියෙන්නට පෙර දිනයේ ගත් ඡායාරූපයයි. ඇගේ අවසන් ඡායාරූප අතරින් එකකි, මේ.

ඇගේ අස්ථි බිඳ දමමින්, ඇයව දුර්මුඛ කරමින්, අන්ත අසරණ කරමින් මිනිස් සතා ගල් මුගුරුවලින් ඇයට පහර දෙමින් සිටියදී ඇයව බේරාගත්තේ නේපාලයේ පිහිටි සර්ප සංරක්ෂණ ආයතනයක පිරිසක් විසිනි. ඒ අතර සුප්‍රකට නේපාල ජාතික සොබාදම් ඡායාරූප ශිල්පියෙකු වන රිෂී බරාල් ද සිටියේය. ඇගේ අවසන් හැඟීම ඡායාරූපයට නගන්නේ ඔහු ය.

‘රාජ නාග‘ වර්ගයට අයත් වූ ඇය, හරි නම් කැලයේ සිටිය යුත්තේ ඉතා ගාම්භීර ශෝභන විලාසයෙනි. ඉහත ඡායාරූපයේ දැක්වෙන සේ ය. නේපාලයේ ජීවත් වන රාජ නාගයන් අතිවිසකුරු බව සැබෑ ය. නමුත් නිකේතනය තුළදී ඇය සොබාදහමේ කොටසක් පමණි. දරුවන් පතන විට ඇය අම්මා කෙනෙක් පමණි.

මේ මව් රැජිනිය සිය බිත්තර දමන්නේ පරිස්සමෙන් එකතු කළ කෝටු සහ පත්වලින් වසා සාදාගත් කූඩුවක මිස බෙණයක නොවේ. නේපාල වාර්තාවලට අනුව, ඒ කූඩුව වර්ණවත් මල් වලින් ද ඇය සරසයි. මේ මල් මතින් නව මල් පිපෙන්නා සේ, ඇගේ උණුහුම ලබා බිත්තර බිඳී ගොස් ඇගේ දරුවන් උපදිනු ඇත.

මේ ඡායාරූපය දෙස නැවතත් බලන්න. ඔබට ඇගේ හැඟීම් කියවිය හැකිද? දරු නැති වියොව, අසරණ කම, දරු දුක ඔබට ඒ ඇස්වලින් පෙනෙනවාද? ඇගේ සිරුරේ කැබලි අඩු ය. ඇය හිස ඔසවා බලන්නේ යන්තමිනි. නමුත් අවසන් වතාවටත් ඈ මෙසේ ඉස්සෙමින් බලන්නේ දරුවන් කොහේදැයි කියා විය නොහැකිද?

නමුත් ඒ කිසිවකට මනු සතා ඉඩ නොතැබුවේය. මරණීය තුවාළ ලබා සිටි ඇය, සර්ප සංරක්ෂණාගාරය වෙත පැමිණ ජීවත් වූයේ එක් දිනක් පමණි. දෙවැනි දින උදෑසන බලද්දී ඇය මියැදී සිටියාය.

මිනිසුනි, සර්පයන් නිකරුණේ මරා නොදමන්න. එවැනි විනෝදයක් ලබන්නට ඔබේ ජාගර සිත බල කරන හැම මොහොතකම මේ ඇස්, මේ ඡායාරූප නැවත නැවතත් සිහි කර ගන්න….

Photo Credit : Right Rishi Photography

මූලාශ්‍ර-
https://www.facebook.com/rishi.baral.161

https://pahilopost.com/

– outboundtoday

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *