ගෝඨා, දිලිත් සහ රහසේ පංගුව

ගෝඨා, දිලිත් සහ රහසේ පංගුව

ගෝඨා, දිලිත් සහ රහසේ පංගුව

ජනපති ගෝඨා අසමත් යැයි කියූ විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු මන්ත්‍රීවරුන් හැසිරෙනුයේ භූමිතෙල් ගැවුණු ගැරඩියන්ට හපන් ලෙසටය.
ඒ තරම් කුලප්පුවක් ඇයි ? වලිප්පුවක් ඇයි ? එයම ආණ්ඩුවේ අසමත්කම කියා පාන්නක් නොවේද ?
අමාත්‍යාංශ ඇතත් අද ඒවා කුමක් කරන්නේද ?
ඇමතිවරු ජාමේ බේරාගන්නේ ජනපතිගේ ගුණ වයා සහ අගුණ වසා කෑමොර දීමෙන් පමණි. කිසිවෙකු අපේ ආණ්ඩුව සමත් බව කියන්නේ නැත. කියනුයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අරවා මේවාය. මේ අනවශ්‍ය පිම්බිල්ල ඇයි ? මේ රැවටිල්ල ඇයි ? යහපාලන කාලයේ රනිල් වික්‍රමසිංහ පිම්බුවේ “බය නැති අගමැති” කියාය. අද බය නැති අගමැති පාර්ලිමේන්තුවේවත් නැත.

වත්මන් ආණ්ඩුව ගෝඨාව පුම්බනුයෙත් ඒ නිර්භීතකම අනවශ්‍ය ලෙස එන්නත් කරමිනි. ඊට සරිලන කතා ගෝඨාභයද ලබා දේ. කොරෝනා ගැන කතා බහකදී ජනපති කියනුයේ යුද්ධයක් නම් තමා වහා අවසන් කරන බවය. ආණ්ඩුව කොරෝනා හමුවෙත් හැසිරෙනුයේ යුද්ධයක් කරන අයුරින්ය. ඩ්‍රෝන කැමරා යවමින් රෝගීන් අල්ලා ගන්නා තැනටත් මේ අය තල්ලු වී ඇත. ඔවුන් කුදලාගෙන එන්නට යනුයේ ටී පනස් හය ගිනි අවි රැගෙනය. මහා යුධ මෙහෙයුමක් ලෙසටය. යුද්ධයක්නම් කියා ජනපති කීවද ඔවුන් හැසිරෙන්නේ මේ යුද්ධයක්ම බව සලකාය.

ගෝඨාභය ජනපති වී වසරකි. එහෙත් ඇත්ත නම් ඔහු ගැන මැව් තරම් මැජික් ඔහු නෙපෙන්වූ බවය. මේ රට ගොඩගත හැකි එකම සමතා, ජගතා මෙන්ම අද වනවිට උගතාද වී ඇත්තේ ජනපතිය. එහෙත් කතාව මිස ක්‍රියාව නැත.

කිසිවක්ම නොකර සියල්ල ජනපතිම බලා ගනු ඇතැයි සිතන ආණ්ඩුවේ ඇමතිවරු කරන එකම දේ නම් දිනෙන් දින දුර්වල වන ජනපතිව බොරුවට උඩ දමමින් අනවශ්‍ය ලෙස පිම්බිල්ලය. මේ රැවටීම වටහා නොගත හොත් ජනපති ලොකු අමාරුවක වැටෙන්නේය. ආණ්ඩුව පත්වූ අලුත ජනපති අමාත්‍යාංශවලට කඩා පැන්නේය. තත්ත්ව පරිමාන පිරික්සුවේය. එහෙත් අදවන විට සිදුවූ වෙනස කුමක්ද ? කොරෝනා පළමු රැල්ල ඉතා ඉක්මණින් විසඳුන මුත් දෙවැනි රැල්ල ආණ්ඩුව ඉල්ලලාම ගත්තේය. එහෙත් එයින් බලගතු අමාරුවක ආණ්ඩුව පැටලුන අතර අද කරකියා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. හැම ආණ්ඩුවක කෙරුමා ජනපති අගමැති කියා සිතුවද ඊට වඩා ඒ අය පාලනය කරන ධන කුවේරයන් පිරිසක් සිටිති. මේ අය සමඟ දේශපාලනය කරන ස්වභාවය අනුව දිනුම පැරදුම ලැබේ. මෑත ඉතිහාසය දෙස බලන කල චන්ද්‍රිකා ආණ්ඩුවේ කෙරුමා හැරී ජයවර්ධන විය. අංක එකේ ධනවතා චන්ද්‍රිකාගේ පාලනයෙන් පසු ඈතට විසිවිය. එසේ වුයේ ඇයි ? එසේනම් සරලව වටහා ගත යුත්තේ ඒ කාලයේ ධනවතා වන ඔහුගේ ධනවත් වීමේ රහස චන්ද්‍රිකා බවය. රහසේ පංගුව ඇයගේ බවය. බලය අතහැරුනු පසු පංගුව බෙදි යන අතර ව්‍යාපාරිකයකු ලෙස හැරීට හිමිවන වරප්‍රසාද අහිමිව යෑමෙන් ඔහු එකෙන් ගැලවුණේය.

ඉන්පසු මහින්දගේ ආණ්ඩුවේ මේ තැන ගන්නේ ධම්මික පෙරේරාය. ඔහු ව්‍යාපාරිකයකු ලෙස ඉහළම වැඩ පෙන්වනුයේ ඒ කාලයේය. මහින්ද ඉවත් වූ පසු සිරිසේනට හේත්තු වන්නටත් ධම්මිකට හැකි විය. එ නිසා රහසේ පංගුව දිගට ගෙන යෑමට ඔහුට හැකිවිය. එහෙත් දැන් දැන් ඔහුගේ එකත් ගැලවී යන ලකුණුය.

වත්මන් ආණ්ඩුවේ ඒ තැන ගනුයේ දිලිත් ජයවීරය. මීට පෙරද මේ ආණ්ඩුව ආ කාලයේම මින් පසු ලංකාවේ අංක එකේ සල්ලිකාරයා දිලිත්ද යන්න අපි ලියා තැබුවෙමු. ඒ ගෝඨාගේ රහසේ පංගුව දිලිත්ම වන නිසාය.

කාලානුරූපව දේශාපාලනය මෙන්ම ධනපති භූමිකාවද වෙනස් වේ. හැරී සහ ධම්මිකට සාපේක්ෂව දිලිත්ගේ හැසිරීම වෙනස්ය. එයට හේතුව ඉහත දෙදෙනාම ක්‍රියා කළේ පරිනත දේශපාලන චරිත සමඟ වීමය. ගෝඨා යනු පරිනත දේශපාලකයකු නොවේ. මේ වාසිය උපරිම ගනුයේ අද දිලිත්ය. මේ නිසා ඔහු ගෝඨා පාලනය කරන තැනට සියල්ල තල්ලු කර ඇත. අලි සබි්‍ර අධිකරණ ඇමති කළ යුතු යැයි දිලිත් කල්තියා කීවා පමණක් නොව අලි සබි්‍ර ගෝඨාට හඳුන්වා දෙන්නේද නඩු මුදල් නොගෙන කතා කරන පසුබිම හැදුවේද ඔහු බව කීවේය. එසේනම් කළගුණ සැලකීම මතක් කළේය. වැඬේ එලෙසට විය. ඉන් නොනවතින දිලිත් ආණ්ඩුවේ ප්‍රචාරණය තම අතට ගත්තේය. එය විශාල ඉල්ලමකි. මේ රහසේ පංගුව අද දිලිත් රස බලනුයේ එළිපිටමය. හැරී, ධම්මිකලා සමාජගත නොවී තිරයෙන් පිටුපස කළ සියල්ලම දිලිත් එළිපිටම රඟපාමින් සිටි. එයට හේතුව ඉහත දෙදෙනාගේ ආරම්භය කෙසේ වෙතත් ඒ අය ධනපති භූමිකාවේ නියැලුණු අයය. දිලිත් යනු තනිකරම දැන්වීමකි. ඔහුට ගෝඨා හරහා ලැබෙන ඉල්ලම සමග ඔහු උමතු වී ඇත. ඒ උමතුව එළිපිටම රඟ දැක්වෙන අතර එයින් හානි වන්නේ ඔහුට නොව ජනපතිටය. මේ තත්ත්වය නිවැරදි කරගනු වෙනුවට ගෝඨාද කරනුයේ දිලිත්ගේ උමතුවට උමතුවීමය. දිලිත් රැකගැනීමට තම දඩ බල්ලන් උසි ගැන්වීමය. ඔවුන් පාර්ලිමේන්තුවේද ඉන් පිටතද ගෝඨා වෙනුවෙන් දිලිත් රැකගැනීමේ බිරුම උපරිමයෙන් කරගෙන යති. අවැසිනම් හපාකන්නටද සුදානම්ය.

කොරෝනාව ඉවර කළ ලෙස උඩ පැන්න ආණ්ඩුව දෙවැනි රැල්ල මිලදී ගත්තේය. ඒ තම මැතිවරණ ව්‍යාපාරයට බොහොවින් මුදල් යෙදූ බ්‍රෑන්ඩික්ස් හිමිකරුගේ ඕනෑ එපාකම් ඉටුකරන්නට ගොස්ය. රටේ පැවැති නිරෝධායන නීති කඩා ඔහුගේ ව්‍යාපාරයට උපරිම උදව් කළේය. එහි පව ගෙවනුයේ ජනතාවය. තමා කළ වරද වසාගෙන ජනපති බැණ වැදුණේද ජනතාවටය. බ්‍රෑන්ඩික්ස්ලා වියදම් කළ හැටියට මේ පොඩි උදව්වකි. ඒ නිසා ඒ ගැන කතා කරන්නවත් ආණ්ඩුව කැමති නැත. එහෙත් එයද වාසියට හරවා ගන්නට දිලිත් සමත් විය. ඒ කොරෝනා දෙවැනි රැල්ලත් සමඟ වැඩිවන ආසාදිතයන් ප්‍රමාණය නිසාය. ඒ අනුව “ක්ෂණික ප්‍රතිදේහක ජනක පරීක්ෂණ” මගින් කොවිඞ් ආසාදිතයන් හඳුනා ගැනීමට අවශ්‍ය පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟ ඒවා ගෙන්වනුයේ දිලිත් ය. එයට එරෙහිව මුලින්ම වචනයක් කිවහොත් මුළු ආණ්ඩුවම දිලිත් වෙනුවෙන් පෙනී සිටින තරමට දිලිත් රැක ගැනීමේ දැඩි වුවමනාවය. මේ රහසේ පංගුව නිසාය.

පළමු කොවිඞ් රැල්ල ආ කල අත් පිරිසිදු කිරීමට විෂබීජ නාශක දියර අවශ්‍ය විය. ඒවා ගෙන්වූයේ ටෙන්ඩර් ඉවත දමා එක් සමාගමක්ය. මේ රහසේ පංගුමය.

ඒ මොහොතේ මෙරටට එන ශ්‍රී ලාංකේය පිරිස් නිරෝධායනය කිරීමට තම හෝටලය නොමිලේ ලබාදෙන බවට දිලිත් ප්‍රචාරයක් යැව්වේය. එහි කාමර 150 ක් ඇති බවද කීවේය. එහෙත් සිදුවුණේ පැවති මුදලටත් වඩා වැඩියෙන් කාමර කුලියට දීමය. එනම් නිරෝධායනය හරහා මුදල් මැවීමය. රට විවෘත කර නැතැයි කීවද විදෙස්හි සිට මෙරටට ආ නොහැකියි වැනි කතා කීවද ඕනෑම කෙනෙකුට මුදල් ඇත්නම් අදද මෙරටට ආ හැකිය. පැමිණ දින 14 ක් දිලිත්ගේ හෝටලයේ නිරෝධායනය විය යුතුය. ඉන්පසු ඔහුට රට තුළට පිවිසිය හැකිය. ඇත්ත එසේය. මේ සියළු දේවල් දිලිත් හරහා වන්නේ කාගේ අනුග්‍රහයකින්ද ? මේ බලය දිලිත් භුක්ති විදිනුයේ දැන් ඔහු උපන් ව්‍යාපාරිකයකු ලෙසය.

ව්‍යාපාර දැනුම උපතේ මිට මොළවා ගෙන ආ අයකු ලෙසටය. එහෙත් ඔහුගේ පෙනී සිටීම ව්‍යාපාරික නළුවෙක් බදුය. ලංකාවේ මහා ව්‍යාපෘති ඉදිරියේදී දිලිත් කරනු ඇත. දිලිත් එක බවට පත්වෙනු ඇත. රහසේ පංගුව නිසා හැකි උපරිමය දිලිත්ට දෙන ගෝඨා මේ වසර පහ අවසන දෙක වී සිටිය හැකිය.

මේ සන්තෑසියම සජිත් පැමිණියද මහරාජා කරනු ඇත. ඔහුද දිලිත් පන්නයේම දැන්වීම්ය. මාධ්‍ය ප්‍රධානීන් ආණ්ඩු පාලනය කරන්න ආ කල ඒ අය කරනුයේ පාලකයාව නළුවකු කිරීමය. සුපර්ස්ටාර් කෙනෙකු කිරීමය. එලෙස කර කැමරාව විසින් ඔහුව පාලනය කරන තැනට තල්ලු කිරීමය. දිලිත් ගෝඨාට එය අපූරුවට කර ඇත. මහා චරිතයක් ලෙස මැව් ගෝඨා තනිකරම දිලිත්ගේ දැන්වීමක් වී ඇත. මාධ්‍ය මෙහෙයුමක් වී ඇත. ඒ ටික උපරිම කර එහි සාරය උරා බොන්නේ දිලිත්ය. දිලිත්ගේ මේ ගමන් රටාව බලන කළ, දිලිත් ගෝඨාගේ රහසේ පංගුව නොව විෂ බඳුන විය හැකි ඉඩ බොහෝය.

රනිල් ඇනගත් ප්‍රධාන තැනක් වූයේ බැඳුම්කරයය. එහෙත් බැඳුම්කරය හරහා අර්ජුන මහේන්ද්‍රන් කළේ රනිල්ගේ වුවමනාව පිරිමැහීමය. රනිල් ඒ මුදල් ගත්තේ ආණ්ඩුව දුවවන්නය. සිරිසේනට පවා ඒ මුදල් බෙදී ගියේය. ඒ මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා අයට පවා ඡන්දය කරන්න වියදම් කළේ බැඳුම්කර සල්ලිය. රනිල් යාළුවා බේරාගන්නට ඔහුව සිංගප්පූර්වට තල්ලු කළේය. ඒවා අල්ලන්නට ආ ගෝඨා දිලිත් සමඟ ක්ෂණික ප්‍රතිදේහක ජනක පරීක්ෂණ” වල යෙදේ. ඒ හරහා ගලිවර්ලා ගොඩ නගමින් සිටී. දිලිත් ගලිවර් වන තරමට ගෝඨා ලිලිපුට්ටකු වීම වටහා ගන්නා විට පෙරහැර ගොස් තිබිය හැකිය. චන්ද්‍රිකා මහින්දට වඩා ගෝඨා වෙනස්ය. හැරී, ධම්මිකට වඩා දිලිත් වෙනස්ය. එකල හොරාට වු දේ දැන් එළිපිට වේ. වෙනස එයය. ජනතාව තුනෙන් දෙකක්ම දී ඇති නිසා එය උපරිමයෙන්ම දැකබලා ගත හැකිය.

– ටිරන් කුමාර බංගගමආරච්චි | ravaya.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *