ලංකාවේ අලි පැටවු ජාවාරම ජයටම – පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි

දින 10ක් ඇතුළත අලිපොත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

දින 10ක් ඇතුළත අලිපොත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

– අලි පැටවු ජාවාරමේ සුලමුල හෙළි වේ
– අලි පැටවු ජාවාරම ගැන පළමු විද්‍යාත්මක පර්යේෂණ වාර්තාව එළි දකී
– ජාවාරම්කරුවන්ගෙන් මුදාගෙන උඩවලව ඇත් අතුරු සෙවණට ගේන අලි පැටවුන්ගෙන් සියයට 40ක් මැරෙනවා
– ගෘහාශ්‍රිත අලි පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

ලංකාවේ අලි ගැන කතා බොහෝය. ඒ කතා අතර අවාසනාවන්තම පුවතක් වන්නේ අලි – මිනිස් ගැටුම නිසා ලොව පුරා වසරකට වැඩිම අලි සංඛ්‍යාවක් මැරෙන රට ශ්‍රී ලංකාව වීමය.

එපමණක් නොව අලි මිනිස් ගැටුම් හේතුවෙන් වසරකට වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් මිය යන ලොව දෙවැනි රට වන්නේද ශ්‍රී ලංකාවයි. ඒ කරුණු හෙළි වූයේ මාස කිහිපයකට පෙර ආසියානු අලි ඇතුන් පිළිබඳ ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ ‘Gajah’ ජර්නලයේ නවතම කලාපයේ පළ වූ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවකිනි. එම අධ්‍යයනය සිදු කර තිබුණේ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්.විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයන් විසිනි.

ලංකාවේ වන අලි ගැන තවත් අලුත් කතාවක් පසුගියදා කරළියට පැමිණියේය. ඒ මෙරට වනාන්තරවල ජීවත්වන අලි පැටවුන් අල්ලා නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳ සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵල ඇසුරින් පළ කරන ලද පර්‌යේෂණ වාර්තාවක් නිසාය. දෙස් විදෙස් පර්‌යේෂණ කණ්ඩායමක් විසින් එළිදක්වන ලද එම අධ්‍යයන වාර්තාව ‘Illegal capture and internal trade of wild Asian elephants (Elephas maximus) in Sri Lanka’ යන ශිර්ෂ පාඨය සහිතව ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන Nature Conservation හි 42 කලාපයේ පළ කර තිබුණේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය.

ලංකාවේ අලි පැටවු ජාවාරම ජයටම - පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි
ලංකාවේ අලි පැටවු ජාවාරම ජයටම – පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි

එම අධ්‍යයන වාර්තාව ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව වීම විශේෂත්වයකි. 2008 ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ මෙරටින් වාර්තාවූ වනාන්තරවලින් ඇල්ලු බව කියන වන අලි පැටවුන් සහ එසේ අල්ලාගෙන පෞද්ගලික භාරකාරීත්වයේ රඳවාගෙන සිටි බවට සැක කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අලින් 55 දෙනකු පිළිබඳ මෙම අධ්‍යයනයේදී කරුණු අනාවරණය කර ඇත.

ආසියානු අලි ඇතුන් ජීවත් වන රටවල් අතරින් තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය වැනි රටවල වනාන්තරවල ජීවත් වන අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳ පුළුල් විද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබුණද ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මෙතෙක් එවැනි පර්යේෂණ සිදුකර නොමැති බැවින් මෙම පර්යේෂණයෙන් ඊට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි. ජාවාරම් කරන ලද බවට සැක කෙරෙන අලි ඇතුන්ගේ ජෛවමිතිය හා නීතිමය ලියකියවිලි ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ වන අලි ඇල්ලීමේ හා ජාවාරම් කිරීමේ ක්‍රම, ඒවා සිදුවන ප්‍රදේශ, වෙළඳ මාර්ග, සම්බන්ධ පාර්ශවකරුවන් සහ වෙළෙඳපොළ වටිනාකම පිළිබඳ මෙම පර්‌ෙය්ෂෙණයේදී මැනවින් අධ්‍යයනය කර තිබේ. අධිකරණයේ විභාග වන නඩුවල වාර්තා, අලි ජාවාරම පිළිබඳ සෙවීමට පත්කළ කමිටු වාර්තා, විගණකාධිපති වාර්තා, පරිසරවේදීන් විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සහ මාධ්‍ය වාර්තා මෙන්ම ඒ සම්බන්ධ විවිධ පාර්ශව සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡා ඇතුළු මුලාශ්‍ර රැසක් මෙම විද්‍යාත්මක පර්යේෂණය සඳහා පර්යේෂකයන් විසින් භාවිත කර ඇත.

මෙම පර්යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්‌යේෂණ කවයේ සභාපති සහ යොවුන් වනජීවී පර්‌යේෂකයකු වන සුපුන් ළහිරු ප්‍රකාශ් ය. ඔහු මීට මාස කිහිපයකට පෙර මෙරට අලි- මිනිස් ගැටුම පිළිබඳව ආසියානු අලි ඇතුන් පිළිබඳ ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ ‘Gajah’ ජර්නලයේ පළවූ පර්යේෂණ වාර්තාව සකස් කිරීමට සභභාගි වූ පර්යේෂණ කණ්ඩායමේද සමාජිකයෙකි.

පර්යේෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන්නේ, වන අලි ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ උපුල් ඉන්ද­්‍රජිත් සහ චමින්ද අත්තනායක යන වනජීවී නිලධාරීන්, මේ පිළිබඳ ලොව පුරා අධ්‍යයන රැසක් සිදුකර ඇති එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් බ්රුක්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්සන්ට් නිජ්මන්, ඇමරිකාවේ ලෝන්ග්වුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජාන් හේන්කනත්තෙගෙදර, මෙරට ප්‍රමුඛපෙළේ වනජීවී පර්යේෂකයකු වන ස්වභාව ගවේෂණ සහ අධ්‍යාපන කණ්ඩායමේ ප්‍රධානී සමීර සුරන්ජන් කරුණාරත්න සහ ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමයේ පර්යේෂක මාධව බොතේජු ය.

මෙම පර්යේෂ වාර්තාවට පදනම් කරගත් අලි පැටවුන් 55 දෙනාගෙන් 10ක් හැර සෙසු අලි පැටවු සියලු දෙනා පෞද්ගලික භාරකාරීත්වයේ තබාගත් පැටවුන්ය. ඒ සම්බන්ධයෙන් 2014 සහ 2015 යන කාලවලදී අධිකරණයේ නඩු පවා ගොනුකර ඇති අතර එම අලි පැටවුන් උඩවල ජාතික වනෝද්‍යානය, යාල ජාතික වනෝද්‍යානය, ගල්ගමුව, මහව, කටගමුව, වීරවිල අලි කළමනාකරණ ප්‍රදේශය ආදී ප්‍රදේශවලින් අල්ලා ගත් සතුන්ය. මෙම විද්‍යාත්මක පත්‍රිකාව සැකසීමේදී පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙන වැදගත් කරුණක් වන්නේ එම අලි පැටවුන්ගේ ලියාපදිංචි ලේඛනවල සඳහන් වයස සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් උපකල්පනය කරන වයස අතර කැපී පෙනෙන වෙනසක් තිබෙන බවයි. ව්‍යාජ ලෙක්ණ සකස් කර තිබීම ඊට හේතුව විය හැකි බවට පර්යේෂකයෝ සැක පළ කරති.

වනාන්තරවල ජීවත්වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මවු ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට, නිර්වින්ද බෙහෙත් විද මවු ඇතින්න අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇත. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවණින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන්ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවණ වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බවද මෙම පර්යේෂනයේදී හෙළිවී තිබේ. වනයේ අතරමං වන අලි පැටවුන් සම්බන්ධ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඇත් අතුරු සෙවණ වෙත වාර්තා වීමට ප්‍රථම එම අලි පැටවුන් තම ග්‍රහණයට ගෙන ජාවාරම් කිරීමට ද ජාවාරම්කරුවන් විසින් කටයුතු කර ඇත. එසේම මෙසේ ජාවාරම් කරනු ලබන අලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දුෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස ලියාපදිංචි කරගෙන ඇති බව පසුගිය විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් පර්යේෂකයන් අනාවරණය කර තිබේ. උඩවලව සහ රුහුණු (යාල) ජාතික උද්‍යාන, කටගමුව අභය භූමිය, හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය, ගල්ගමුව, මහව සහ වීරවිල යන ප්‍රදේශවලින් මෙසේ ජාවාරම්කරුවන් විසින් අලින් අල්ලා ඇති බවට සෘජු සාක්ෂි ඇති බව පෙන්වා දෙන පර්යේෂකයන් ඊට අමතරව හබරණ ප්‍රදේශයේ වනජීවී රක්ෂිතවලින්ද අලින් අල්ලා ඇති බවට සම්මුඛ සාකච්ඡා මගින් හෙළිවී ඇති බව පර්යේෂකයෝ පවසති.

අධ්‍යයනයට භාජනය වූ දස වසරක කාලසීමාව තුළ ජාවාරම්කර ඇති බවට අනාවරණය වී ඇත්තේ අලින් පනස් පස් දෙනෙකු පමණක් වුවත් එය බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් වනජීවී පර්යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“බලංගොඩ ප්‍රදේශයේ නිවෙසක නාන කාමරයක් තුළ සඟවාගෙන සිටි අලි පැටියෙක් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ආ පසු මිය ගියා. ඒ ආකාරයට උඩවලව ඇත් අතුරු සෙවණට ගේන අලි පැටවුන්ගෙන් සියයට 40ක් පමණ මිය යනවා. ඊට මූලික හේතුව සඟවාගෙන සිටි අලි පැටව් ජාවාරම සිදුකරන පුද්ගලයන් ළඟ පශු වෛද්‍ය යාන්ත්‍රණයක් නොතිබීමයි. අපේ අධ්‍යයන වාර්තාවට බඳුන් කළේ අලි වැටවුන් 55ක් පිළිබඳ පමණක් වුවත් මේ ආකාරයට විශාල අලි පැටවුන් සංඛ්‍යාවක් කැලෑවල මිය යන්නට ඇතැයි කියා අපි උපකල්පනය කරනවා. මෙය වනජීවි ජාවාරමක්. ඊට විවිධ ජාවාරම්කරුවන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, ඇතැම් දේශපාලඥයන් සහ ස්වාමීන් වහන්සේලාත් ඊට හවුල්.”

මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැස් කිරීමට ඇති එවැනි ප්‍රායෝගික අපහසුතා නිසා ජාවාරම් හේතුවෙන් මියයන අලි සංඛ්‍යාව නිවැරදිව වාර්තා නොවන බවද ඔහුගේ අදහසයි.

වැඩියෙන්ම අලි මැරෙන රටේ අලි පැටවු ජාවාරමත් ජයටම
වැඩියෙන්ම අලි මැරෙන රටේ අලි පැටවු ජාවාරමත් ජයටම

ලොව පුරා සිදුවන වනජීවී සම්පත් කොල්ලකෑම් දෙස බැලීමේදී පෙනී යන්නේ දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ගේ කටයුතු පහසු වී ඇති බවයි. එමෙන්ම නීතිවිරෝධී වනජීවී ජාවාරම් පිටුපස සිටින මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ එම ජාලයේ සිටින පහළ පුරුක්වලට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට අඩු වැඩි වශයෙන් සමාන විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවන් බෞද්ධ සංස්කෘතිය දඩමීමා කරගනිමින් මෙම ජාවාරමේ නිරතව සිටින බවද ඔවුහු පෙන්වා දෙති. රජය විසින් අලි පැටවුන් විවිධ උපක්‍රම මඟින් නැවතත් සැකකරුවන් වෙතම පැවරීමට උත්සාහ දරා ඇති බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.

ඉහළ ෙද්ශපාලඥයකු විසින් හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුට එවැනි බලපෑම් සිදු කර ඇති බව පවසන පර්යේෂකයන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයකු විසින් ඉදිරිපත් කළ අංක 16/2204/708/017-1 සහ 2016 ජූලි 4 දිනැති සහ අග්‍රාමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනකු විසින් ඉදිරිපත්කළ අංක PMO/CM/44/2019 සහ 2019 සැප්තැම්බර් 10 දිනැති කැබිනට් පත්‍රිකාද ඊට නිදසුන් වශයෙන් ඉදිරිපත් කර තිබ්.

මෙම ජාවාරම වැළැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුුත බව පර්යේෂකයෝ නිර්දේශ කරති. සැකකරුගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතු බවද ඔවුහු අවධාරණය කරති. “මෙම ජාවාරම්වලට සභාය වන සහ ඊට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම නීතිමය සහ විනය ක්‍රියමාර්ග ගත යුතුයි. ඒ වගේම මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් සඳහා ගනු ලබන පියවර ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. උඩවලව ඇත් අතුරු සෙවණ සහ පින්නවල අලි අනාථාගාරය භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුයි. ඊට අමතරව ගෘහාශ්‍රිතකරණය කළ අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් බලාත්මක කිරීම අවශ්‍ය්‍යි. ඒ තුළින් ගෘහාශ්‍රිතකරණය කළ අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිත කිරීම සීමා කිරීමට කටයුතු කළ යුතුයි”.

2016 දී පැවති වඳවීයෑමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) 17 වැනි සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කළ අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතින බවද පර්යේෂකයෝ යෝජනා කරති. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කළ අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මඟින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කළ අලි ගහණය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කළ අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකි බවද පර්යේෂකයන්ගේ විශ්වාසයයි.

මේ සියලු යෝජනා, නිර්දේශ ඵලදායී වන්නේ බලධාරීන් ඒවා ක්‍රියාත්මක කිරීමට දක්වන සැලකිල්ල මතය. දිගින් දිගටම සිදුවන අලි ජාවාරම වැළැක්වීම සඳහා කඩිනමින් නිසි පියවර නොගත හොත් අනාගතයේදී වන අලි සම්පතද ශ්‍රී ලංකාවට අහිමි වීම වැළැක්විය නොහැකි වනු ඇත.

– silumina.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *