කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

”මම මේ අවුරුද්දට හරියට බැලුවොත් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මාස දෙකක් විතරයි. නොවැම්බර් අග වනතෙක් කොවිඩ් පැවතුණොත් අවුරුද්දෙම පාසල් අධ්‍යාපනය මාස දෙකකට සිමා වෙනවා,” එසේ බීබීසී සිංහල සේවය සමග පැවසූ ඕෂදී අකල්කි පුංචිහේවා මාවතගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?
කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

මාර්තු මාසයේ පැමිණි කොරෝනා පළවැනි රැල්ල අගෝස්තු මුල වන තුරු රටේ පැවතීම හේතුවෙන් පාසල් එම මාර්තු ,අප්‍රේල් ,මැයි ,ජූනි ,ජූලි යන මාසවලදී වසා තැබිණි. සාමාන්‍යයෙන් අප්‍රියෙල් නිවාඩුවෙන් පසු දෙවෙනි වාරය සදහා අප්‍රේල් මස අග පාසල් ආරම්භ කිරීම සාමාන්‍ය තත්ත්වය වුව ද කොවිඩ් හේතුවෙන් පාසල් නැවත ආරම්භ කෙරුණේ අගෝස්තු මාසයේදීය. නමුත් කොරෝනාවෛරසය පැතිරීම යළි හිස එසවීමත් සමග නැවතත් ඔක්තෝබර මාසයේ සිට පාසල් වසා දැමිණි.

“අගෝස්තු දෙවැනි වාරය පටන් ගනිද්දී පළමුවැනි වාරයේ සිලබස් එකේ සමහර ඉගැන්වීම් සිදුකර තිබුණෙත් නැහැ. තුන්වැනි වාරය පටන් ගත්තේ සැප්තැම්බර් මාසයේ. සැප්තැම්බර් මාසයේ පටන් ගත්තු ඉස්කෝලේ නැවත ඔක්තෝම්බර් 04 වැනිදා වසා දැමුණා. අවුරුද්ද ඉවරවෙන්න තව මාස 2යි තියෙන්නේ. ලබන මාසේ නැවත පාසල් ආරම්භ කෙරුණත් දෙසැම්බර් නිවාඩුවට පාසල් වසා දැම්මොත් අපි ඉස්කෝලේ ගිහිං හෝ යන්න තියෙන්නේ හරියට බැලුවොත් මාස දෙකයි.”

නමුත් බොහෝ පාසල් විසින් ළමුන්ට දුරස්ථව අන්තර්ජාලය හරහා ඉගැන්වීමට පටන්ගෙන තිබුණ ද ඕෂදී පවසන්නේ අන්තර්ජාලය හරහා නැතහොත් ඕන් ලයින් (online) අධ්‍යාපනය ඉතා දුරස්ථ බවත් ගුරුවරයා ඉදිරිපිට අධ්‍යාපනය ලැබීම මෙන් ප්‍රායෝගික නොවන බවත්ය.

”ඉස්කෝලේ 10 වසර පංති හතරක් තිබුණා, අවම වශයෙන් පංති හතරේ ළමයි 140 කට වැඩිය හිටියා. කෝවිඩ් ආපු පළමු අවස්ථාවේ පාසලේ ඇතැම් ගුරුවරු සමාජ මාධ්‍ය ගෘප් (groups) හදල පැවරුම් දැම්මා. නමුත් ඕන් ලයින් හිටියේ ළමයි 60 ක් විතර. නැවත පාසල් ආරම්භ කරද්දී ළමයි බහුතරයක් පැවරුම් කරලා තිබුණේ නැහැ. මම කළෙත් නැහැ. ඇත්තටම අපි දන්නේ නැහැ ඒවා කරන්නේ කොහොමද කියල. ඔක්කොම තියරි. ඒවා අපි ඉගෙන ගෙන තිබුණේ නැහැ,” ඇය පැවසීය.

ඇය වැඩිදුරටත් පැවසුවේ පෞද්ගලික ගුරුවරුන් කිහිප දෙනෙකු හරහා ඇය දුරස්ථව “ඔන්ලයින්” ක්‍රමයට ඉගෙන ගන්නා බවය. එම අන්තර්ජාල පංතියේ ළමයින් හැටක් පමණ සිටින බවත් අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් වීඩියෝව ක්‍රියාත්මක කිරීමෙන් ගුරුවරයා දකින නමුත් බොහෝවිට සිදුවන්නේ ශබ්දය පමණක් ක්‍රියාත්මක කර ගුරුවරයා පවසන දෙය පමණක් අසාගෙන සිටීම බවත් ඇය කියා සිටී.

“ඇත්තම කියනවනම් ප්‍රශ්නයක් අහන්නවත් ළමයෙක් ඉදිරිපත් නොවෙන තරම් මේ ක්‍රමයට. එකක් අපිට විෂය බද්ධ කරුණු අවබෝධයක් නැහැ. මං හිතන්නේ හුඟක් ළමයි ගෘප් එකේ හිටියට පාඩමේ ඉන්නවම කියල හිතන්න අමාරුයි. එතැනින් නැගිටලා ගියත් කව්රුවත් දන්නේ නැහැ. හැබැයි පංති කාමරයේ අධ්‍යාපනය එහෙම නෙමෙයි. අපි ගුරුවරයා දකිනවා ඔහු උගන්වන රටාව මනසට කා වැදෙනවා. අපි ඔහු හෝ ඇය සමග සෘජුව ප්‍රශ්න අසනවා. වෙනත් ළමයි අසන ප්‍රශ්න සමග අපි අපේ දැනුම පරික්ෂා කරනවා. මාස ගණනාවක් පාසල් අධ්‍යාපනය නොලබා සිටීම තුළ මේ අධ්‍යාපන ක්‍රම දෙකේ වෙනස තදින්ම දැනෙනවා. එක්කෝ මේ ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමය මීට වඩා හොඳ ක්‍රමයකට ක්‍රියාත්මක වෙන්න ඕනේ,” ඕෂදී සිසුවිය වැඩි දුරටත් පැවසීය.

ගෝලීය කොරෝනා වසංගතය සමග පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සිසු පරපුරට එල්ලවී ඇති අභියෝග බොහෝය. ඇතැම් සිසුන් අන්තර්ජාල අධ්‍යාපනයට පිවිස සිටින නමුත් එම වරප්‍රසාදය සම දෙනාට එක සේ භුක්ති විඳිය නොහැකිය. සිසුන් පුද්ගලිකව අන්තර්ජාල මාර්ගගත (online) අධ්‍යාපනයට යොමු වීම කෙරෙහි ඔවුන්ගේ ආර්ථික හා සමාජ මට්ටමද බලපාන අතර විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේදී ඔන්ලයින් අධ්‍යාපනය තිබෙන්නේ සතුටුදායක තත්ත්වයක නොවන බවත් විශේෂයෙන් ගම්බද පාසල් වල සහ නගර වලින් පිට බොහෝ පාසල් වල මෙම තත්ත්වය සුලබ බවත් විශ්ලේෂකයෝ පවසති. කුමන හෝ අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොවන පසුබිමක අන්තර් ජාල අධ්‍යාපනය පැවතීම සාධනීය කරුණක් වන නමුත් එහි පවතින අනෙකුත් ගැටලු ඇතැම් දරුවන්, ගුරුවරුන් පමණක් නොව මව්පියන් තුළ ද ඇති කර තිබෙන්නේ ව්‍යාකුල තත්ත්වයකි.

කොරෝනා සහ පාස්කු ඉරුදින ප්‍රහාරය

කොරෝනා වසංගතය සමග අධ්‍යාපනය අඩාලවීමේ බලපෑම තදින් දැනුණු තවත් සිසු කණ්ඩායමක් වනුයේ මෙවර උසස් පෙලට පෙනී සිටි සිසුන් ය. ඔවුන් කොරෝනා රැල්ල පමණක් නොවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් අධ්‍යාපනයට ඇතිවූ එල්ල වූ බලපෑමට ඉතා තදින් මුහුණ දුන් පිරිසක්.

”මම උසස් පෙලට කළේ තාක්ෂණ වේදය. ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණවේදය සදහා විද්‍යාව යන විෂයන් ඉගෙන ගත්තා. 2019 වසරේ පාසල් දෙවැනි වාරය ආරම්භයත් සමගම සහාරන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා පාසල වසා දැමුණා. නැවත පාසල පටන් ගත්තේ මාස දෙකකට පස්සේ. ඊට පසුව 2020 පෙබරවාරි ඇඩ්මිෂන් දෙනකං පාසල් පැවැත්වුණා. මාර්තුවල කොරෝනා ඇවිත් පාසල නැවත වසා දැම්මා,” යනුවෙන් ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබූ ඩී එන් සී සහන් නිමේෂාන් සිසුවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?
කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

“ඇඩ්මිෂන් දුන්නට එක්සෑම් වෙනකං පාසල් යන්න ඕනේ. මොකද ප්‍රයෝගික පරීක්ෂණ තියෙනවා. අපිට ඉංජිනේරු තාක්ෂණයට ප්‍රැක්ටිකල් 64 ක් තිබුණා. නමුත් කළේ ඉන් හතරක් විතරයි. ඊට පස්සේ නැවත පාසල් පටන් ගත්තේ ඔක්තෝම්බර් විභාගෙට මාසයක් තියල, ඒ වෙනකොට සිලබස් කවර් කරලා තිබුණේ නැහැ. අවරුදු දෙකම ගත්තහම මාස 8 කට වැඩිය ඉස්කෝලේ යන්න බැරිවුණා. විභාගය අමාරු වුණා.”

මෙවර උසස් පෙලට මුහුණ දුන් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ දසුන් වන්නිනායක සිසුවා බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන් නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බවය. පළමු වතාවෙන්ම විභාගය සමත් වීම අරමුණු කරගෙන තමන් තාක්ෂණ වේදය හැදෑරු බවත් එම අරමුණ ගිලිහී ගිය බැවින් ඉදිරියේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු නොවී වෘත්තිය අධ්‍යාපනයකට යොමුවන බවද ඔහු පැවසුවා.

මේ අතර කොරෝනා වසංගතය විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට මුලදී යම් බලපෑමක් එල්ල කළ නමුත් අන්තර්ජාල අධ්‍යාපනය මගින් එය යම් තාක් දුරකට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව විශ්ව විද්‍යාල සිසුහු පවසති.

කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?
කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

”කුමන හෝ අධ්‍යාපනයක් නොලබා පැවති තත්ත්වය මත යුජීසී (UGC) එක මැදිහත්වෙලා ඔන්ලයින් එඩියුකේෂන් පටන් ගත්ත එකේ වරදක් නැහැ. නමුත් අපේ කැම්පස් එකේ ගත්තහම හැමෝටම මේ ක්‍රමය පිළිබඳ පුළුල් අවබෝධයක් නැහැ. ළමයි මේ වෙනකොට ඉන්නේ ගෙවල්වල. හැමෝගෙම මානසික මට්ටම, ආර්ථික හා සමාජ මට්ටම එක හා සමාන නැහැ, සමහර ළමයින්ට පාවිච්චි කරපු පරිඝනක උපකරණයක් ගන්නවත් වත්කමක් නැහැ. තවත් කාරණයක් තියෙනවා මේ සිස්ටම් එකේ එරස් (errors) ගොඩක් තියෙනවා. සයන්ස් ෆැකල්ටි එකේ ගත්තාම ඔන්ලයින් ටෙස්ට් තියෙනව. නමුත් නිශ්චිත කාලයකදී මේ ටෙස්ට් වලට සන්නිවේදන පහසුකම් නැතුව සහභාගී වෙන්න ළමයින්ට හැකියාවක් නැහැ. මේක ළමුන් පිට බලෙන් පටවන තැනකට යන්න හොඳ නැහැ,” යැයි රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඉරෝෂ් අල්පොන්සු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් එලෙස පැවසීය.

කොළඹ කේන්ද්‍ර කරගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන එච් එම් පවිත්‍රා සෙව්වන්දි බීබීසී සිංහල සේවයට පැවසුවේ කාර්ය සම්පාදනය හා ප්‍රවාහන කළමනාකරණ උපාධිය හදාරන තමන්ට සතියේ දින හතරක් හෝ පහක් සිය අධ්‍යාපන ආයතනය විසින් අන්තර් ජාලය ඔස්සේ දේශන සදහා සහභාගී වීමට ඉඩ සලසන ලද බවය. දේශීය සිසුන් හා විදෙශීය සිසුන් වශයෙන් කණ්ඩායම් දෙකක් ලෙස මෙම ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදෙන බවද ඇය පැවසුවා.

නව සාමාන්‍යකරණය (new normalcy) හා මංගත අධ්‍යාපනය (online educataion)

කොවිඩ් වසංගතය හමුවේ මෙරට අධ්‍යාපනය නව ස්වරූපයකින් හැඩ ගැසිය යුතු බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය. ඔහු පවසන්නේ ගුරු භූමිකාව මෙන්ම රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නව තත්ත්වය හමුවේ වෙනස් විය යුතු බවයි.

”අපේ රටේ දරුවන් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ලැබුවේ පන්ති කාමරය තුළ. ගුරුවරයා පන්ති කාමරයේ උගන්වනවා ඊට ළමුන් අනුගත වෙලා වැඩ කරනවා. නමුත් දැන් කොවිඩ් ඇවිත් මේ චර්යාවට ඇටෑක් (Attack) කරලා තිබෙනවා. මේ ඈටක් එක අපිට එකවරම දරාගන්න අමාරුයි. මොකද අපි මෙවැනි ප්‍රහාර වලට සුදානම් වෙලා හිටියේ නැහැ.” ආචාර්ය ප්‍රභාත් ඒකනායක පැවසීය.

“අපි අතර මනෝභාවයක් තියෙනවා ඇතුළත මැවුන දේ පිළිගන්නා පිටත දේ පිළිනොගන්නා මනෝ සංස්කෘතියකට. ගුරුවරයාගේ භූමිකාව මේකයි, ළමයාගේ භූමිකාව මේකයි කියලා අපි ඇඳගත්ත චිත්‍රයක් තියෙනවා. ඒක වරදක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ අපි හුරුවට ගෙනා දෙයක්. ඒ හුරුව පුරුදු කර ගත්ත අපි online education දාපු ගමන් පීඩාවට පත්වුණා. අපි කතාවට කියනවා තාක්ෂණය නැතුව ඉස්සරහට යන්න බෑ කියලා. දැන් කොවිඩ් ඇවිල්ලා අපිට කියනවා උඹලා ඉගෙනගන්න තාක්ෂණය පාවිච්චි කර පල්ලා කියලා.”

කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?
කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

ආචාර්ය ඒකනායක පවසන්නේ මෙම නව සාමාන්‍යකරණය සමාජය සෘණාත්මකව නොගෙන ධනාත්මක වැළඳගත යුතු බවය. විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය තුළ මෙයට අනුගතවීමට සමාජය මැලිකමක් දක්වන බව කී ඔහු තවදුරටත් පැවසුවේ නව ක්‍රමය පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම අවිශ්වාසය ගොඩනැගී ඇති බවකි. මෙම තාක්ෂණය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම තුළින් දරුවන්ට ගුරුවරුන්ට පමණක් නොව මවුපියන්ටත් ගැටලු විසඳාගැනීමට අවස්ථාව උදා වන බව ඔහු කියා සිටී. යම් ගැටලුකාරී අවස්ථාවක දී ක්‍රියා කළයුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් තාක්ෂණය තුළම විසඳුම් තිබෙන බවත් මෙම උපකරණ සමග ගනුදෙනුවේදී අවභාවිත සිදුවන්නේ නම්, ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රශ්න මතුවන්නේ නම්, නැතහොත් ළමයිගේ අධ්‍යාපනයට තවත් ළමුන් කොටසක් බාධා කරනේනම් ඒ සදහා මුර පද භාවිතය, මියුට් (mute) කිරීම් වැනි උපක්‍රම භාවිතා කළහැකි බැවින් දෙමාපියන් මේ පිළිබද බිය විය යුතු නැති බව ද අචාර්ය ඒකනායක කියා සිටියේය.

“ඊළඟ කාරණය ගුරුවරුන් නිර්මාණශීලී විය යුතුයි. අපි දන්නවා පන්තිකාමරයේ ඉගැන්නුවත් නිර්මාණශීලීත්වය නැති ගුරුවරු ඉන්නවා. නමුත් සමහර ගුරුවරු එහෙම නෑ නිර්මාණශීලියි. දරුවන්ගේ අධ්‍යාපනයය වෙනුවෙන් කැපවෙනවා. තමන්ගෙ නිර්මාණශීලීත්වය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා.”

කෙසේවෙතත්, ආචාර්ය ප්‍රභාත් ඒකනායක තවදුරටත් පවසන්නේ අන්තර්ජාල අධ්‍යාපනය ලබාදීමේදී ගැටලු රැසක් තිබෙන අතර පාසල් මට්ටමෙන් නව තාක්ෂණයට යාමට අවශ්‍ය අවම පහසුකම් වත් තිබේද යන්න ගැටලුවක් බවය. නව මාධ්‍ය භාවිතයේදී අත්‍යාවශ්‍ය උපකරණ තිබෙන බවත් ඒවා රටේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත් ඔහු කියා සිටී.

“රජය මැදිහත් විය යුත්තේ මෙන්න මේ කාරණයේදී. අඩුම තරමින් ටැබ් එකක් වත් දරුවෙකු සතුව තිබිය යුතුයි. ඒ වගේම පහසු ගාස්තුවකට ලබාගත හැකි අන්තර්ජාල සම්බන්ධතාවක් තිබිය යුතුයි. සේවා සපයන ආයතනවලට ගහන බදු අඩු කරල මේ පහසුකම් සෑම දරුවකුටම ලබාදෙනවා නම් අධ්‍යාපන ක්‍රමයට ප්‍රවේශ වෙන්න බාධාවක් නැහැ. ඇත්ත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ මේ වෙලාවේ එම කටයුත්තයි. මගේ අදහස නම් සෑම දරුවකු සතුව අඩුම තරමින් ටැබ් එකක් තිබිය යුතුයි. බහුතරයක් මව්පියන්ට ඒ වෙනුවෙන් මුදලක් වෙන්කිරීමට හැකියාවක් නෑ.”

“ඇයි ටැබ් එකකට ස්මාර්ට් ෆෝන් එකකට මේ පෙළපොත්වල තියෙන පාඩම් නව ස්වරූපයකින් දාන්න බැරි. මෙම පහසුකම් රජය විසින් සකස් කර දීම අනාගත ආයෝජනයක්. අපි දන්නවා අධ්‍යාපනයේ සිද්ධාන්තයක් තියෙනවා කනට ඇහෙන දෙයින් සියයට 10 යි මතකයට නැගෙන්නේ කියලා. ඒ වගේම ඇහැට දකින දෙයින් සියයට හතළිහයි මතකේ තියෙන්නේ. සියයට 80 ක් මතක තියෙන්නේ කණින් අහල, ඇහෙන් දැකල, අතෙන් මනසෙන් කරපු දේට කියල. ඒ කියන්නේ ඉන්ද්‍රයන් වැඩි ප්‍රමාණයකට ගෝචර වූ දෙයක් වැඩියෙන් මතක තියෙනවා.” ආචාර්ය ප්‍රභාත් ඒකනායක වැඩිදුරටත් පැවසීය.

පුර්ව ළමා අධ්‍යාපනය

ළමා අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී කුඩා ළමුන්ගේ අධ්‍යාපනය ගැනද අවධානය යොමුකිරිම අත්‍යාඅවශය. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මුල් ළමාවිය පිලිබඳ අධ්‍යාපන විද්වතකු වන මුල් ළමාවිය පිළිබඳ ආසියා පැසිෆික් ජාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත එච් එම් වසන්ත හේරත් මහතා පැවසීය.

”කුඩා ළමයෙක් වයසින් වැඩෙන එක අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහු වැඩෙනවා මෙන්ම ඔහු තුළ ගොඩ නැගිය යුතු ආකල්ප, කුසලතා, හැකියාවන් තියෙනෙවා. විශේෂයෙන් පාසල් යන්නට පෙර ළමයින්ට ලබා දෙන පුර්ව ළමා අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයක් නොවේ. අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීමක්. ඒ තුළින් තමයි දරුවා පාසල් අධ්‍යාපනයට අවශ්‍ය මුලික හුරුව ලබා ගන්නේ. මේ කාල වකවානුවේදී දරුවෙකුගේ සියුම් මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ක්‍රියාකාරකම් ගොඩක් තිබෙනවා. අපි ළමයිට මැටි අනන්න දෙන්නේ, කඩදාසි බෝල පොඩි කරන්න දෙන්නේ අත්වල තියෙන, ඇඟිලිවල තියෙන සියුම් මාංශ පේශි වර්ධනය කරවන්න. මේවා නිසි පරිදි වර්ධනය නොවුණොත් අඩුම තරමින් අකුරක් ලියන්න පැන්සල අල්ල ගන්නවත් දරුවෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ.”

“කොවිඩ් කියන්නේ ආපදා තත්වයක්. අපි දන්නවා අපේ රටේ හදිසි ආපදා තත්ත්වයකදී ඉස්සරලාම කරන්නේ පාසල් වහන එක. ගං වතුරක් ගැලුවත්, නාය යාමක් සිදුවුණත් පාසල් වසා තබනවා. සමහරවිට විපතට පත් අයට නවාතැන් දෙන්නෙත් පාසලේ. මේ වෙලාවේ පාසලත් විපතට පත්වෙලා තියෙන්නේ. අපි කොච්චර කාලයක් මෙහෙම වහල තියන්නද? මම කියන්නේ මේ රටේ ගුරුවරුන් ඉන්නවා දෙලක්ෂ තිස්පන්දහසක්. මේ අය එක්කෝ දරුවන් එක්කෙනා දෙන්නා හෝ පාසලට කැඳවල නිරෝධායන නීති රැකලා අධ්‍යාපනය ලබා දිය යුතුයි. එහෙම නැතිනම් ගුරුවරු නිවෙස් කරා ගොස් අධ්‍යාපනය ලබා දිය යුතුයි. මොකද මේ ගුරුවරුන් වැටුපක් ලබනවා. එම වැටුප් ගෙවන්නේ මහජනතාව.”

කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?
කොරෝනා වෛරසය: බිඳ වැටෙන අධ්‍යාපනය ගොඩනගන්නේ කෙසේද?

“කොවිඩ් හෝ වෙනත් උපද්‍රවයක් හේතුවෙන් ගුරුවරයෙකු නිහඬ වීම අනුමත කරන්න බැහැ. මොකද ඔහුගේ කාර්යභාරය විශාලයි. ගුරුවරුන් නිදා ගත්තොත් අනාගතයේ ජාතියක් නිදා ගනීවි.”

වසන්ත හේරත් තවදුරටත් පැවසුවේ කුඩා දරුවන්ට online education ක්‍රමය සාර්ථක අත්දැකීමක් ලෙස හැදින්විය නොහැකි අතර තවත් අතකට පාසල් ළමුන් මෙම ක්‍රමය තුළ අසීරුතාවට මුහුණ දෙන බවය.

“online education නරක දෙයක් නෙමෙයි. නරක ඊට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරන්නේ නැතුව එය ළමුන් පිට පැටවීමයි. අනෙක් පැත්තෙන් මේක දැන් ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාෆියාවක් බවට පත්වේගෙන යනවා. දෙමව්පියන්ට මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. මව්පියන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. සද්භාවයෙන් කරන එම කැප කිරීම ඇතැම් පුද්ගලයින් භාවිත කරන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න.”

එච් එම් වසන්ත හේරත් තවදුරටත් පවසන්නේ මෙහිදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් පැවරෙන බවය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් වී මෙම තත්ත්වය කළමනාකරණය කළයුතු අතර ඔවුන් කුමක් කරන්නේ ද යන්න සමාජ ගත කළයුතු බවය. එමෙන්ම නිර්මාණශීලිව මේ ගැටලුවට පිළියම් සෙවීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් නව ප්‍රවේශ හදුන්වා දිය යුතු බව ද ඔහු කියා සිටී.

“ජනමාධ්‍ය මේ වෙනුවෙන් පුළුල් ලෙස භාවිත කල යුතුයි. නමුත් අධ්‍යාපන නාලිකා හෝ තිබෙන ජාතික නාලිකාවල ගුවන් කාලය භාවිත කරන්නේ කළු ලෑලි ඉදිරිපිට සම්ප්‍රදායික විදිහට උගන්වන ගුරුවරයෙකුගේ ක්‍රියාව වීඩියෝ කරලා ඒක ප්‍රචාරය කරන්න. මෙය සාර්ථක ඉගැන්වීම් ක්‍රමයක්ද? මේක නව මාධ්‍ය භාවිත කිරීමක්ද? නැහැ.”

එච් එම් වසන්ත හේරත් තවදුරටත් පවසන්නේ “අපි on line education මේ වෙලාවේ සාර්ථක ක්‍රම වේදය කියල හඳුනාගෙන තියෙනවා නම් මං කියන්නේ එය පටන්ගත යුත්තේ පාසැල් ගුරුවරුන්ගෙන්. ඒකට අවශ්‍ය පහසුකම් ලබා දීම තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම. ඇත්ත වශයෙන්ම කොවිඩ් හමුවේ අපි නිද්‍රශීලි ප්‍රතිපත්තියක ඉන්නේ. ඉස්සරලම මේ පිළිබඳව විද්වත් කතිකාවතක් ආරම්භ කළ යුතුයි. ඊට අධ්‍යාපනවේදීන්, විද්වතුන්, ප්‍රවීණයින් සහභාගී කරවා ගත යුතුයි. ඒ ප්ලැට්ෆෝම් එක නිර්මාණය කරන තුරු අපි අඳුරේ අතපත ගෑමක් විනා අන් යමක් සිදු නොවන බව කණගාටුවෙන් හෝ කිව යුතුයි.”

– bbc.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *