මිතුරු මුස්ලිම් ප්‍රජාවගේ නව පන්හිඳ – සෙනීෆා

මිතුරු මුස්ලිම් ප්‍රජාවගේ නව පන්හිඳ - සෙනීෆා

මිතුරු මුස්ලිම් ප්‍රජාවගේ නව පන්හිඳ - සෙනීෆා

කිහිප දිනකට කලින් මා මිත්‍ර ප්‍රවීණ ලේඛක මේමන් කවීගෙන් මට ඇමතුමක් ලැබිණි. “කමල්, ඔයාගෙ මිතුරු පවුරෙන් හඳුන්වා දෙන්ඩ හොඳ අලුත් ලේඛිකාවක් ඉන්නවා. මං එයාගෙ නම්බර් එක එවන්නම්. කතා කරන්ඩ.”

මේමන් කියු පරිදිම ඇ ඉතා දක්ෂ ලේඛිකාවක් බව මුල් ඇමතුමෙන්ම මම වටහා ගතිමි. උපතින් මුස්ලිම් ජාතික තරුණියක් වුවද සෙනීෆා සනීර්ගේ කතාබහේ හා සිතුම් පැතුම්වල තැවරී තිබුණේ සිංහල ඌරුවකි. භාෂණයේදී ඇය යොදාගත් වචනත් ඒවා උච්චාරණය කළ ආකාරයත් අනුව මා හමුවේ මැවී පෙනුණේ සිංහල බස මෙන්ම සංස්කෘතියත් මැනවින් හඳුනාගත් ශ්‍රී ලාංකික තරුණියකගේ රූපකායකි.

”සර්, මගෙ උපන්ගම මහනුවර, අරුප්පල. මගෙ තාත්තා සනීර් ඊබ්‍රාහිම්. අම්මා, යස්මින් සර්සාන්. අම්මයි, තාත්තයි මගේ සහොදර සහෝදරියොයි හැමෝම සිංහල භාෂාවෙන් ඉගෙනගත්ත අය. අපේ අසල්වැසියොත් සිංහල අය නිසා අපි ගෙදර කතා කළෙත් සිංහලෙන්. කොටින්ම කියනවනං අපි දෙමළෙන් කතා කළේ ආච්චිත් එක්ක විතරයි. මම ඉගෙන ගත්තෙ නුවර බදුර්දීන් මහමුඞ් මුස්ලිම් බාලිකාවෙ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනම තිබුණත් මං තෝරගත්තෙ සිංහල. ඕ ලෙවල් වලදි සිංහලට ඩී එකකුත් ගත්තා.”

සෙනීෆා සමග මෙසේ කතාබහක් කිරීමට මා පෙලඹවූ ප්‍රධාන කාරණය වූයේ පසුගිය සැප්තැම්බරයේ ඇගේ ප්‍රථම නවකතාව එළිදැක්වූ බවට ලද ආරංචිය බවද මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුතුය.

“සුළං සැරට” නම් ඒ නවකතාව මට මෙතෙක් කියවීමට අවකාශ නොලැබුණද එහි ප්‍රකාශකයන් වූ සරසවි ආයතනයේ ප්‍රකාශන කළමනාකාර ශ්‍රීපාලි පෙරේරා මහතාගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ මෙරට මුස්ලිම් ප්‍රජාවගේ දිවි පෙවෙත තුළට එබී බලන්නට කදිම කවුළුවක් සෙනීෆා මේ කෘතිය මඟින් අපට විවර කර දී ඇති බවය.

පොතපත ඇසුරු කිරීමට හා ලේඛන කලාවට සෙනීෆා තුළ උනන්දුවක් ඇති වූයේ ළමා වියේදීමය.

සෙනීෆා පවසන්නේ මේ උද්‍යෝගය ඇය තුළ දල්වන ලද්දේ මව විසින් බවයි. සෙනීෆා තුළ සැඟවී සිටින නිර්මාණකාරිය හඳුනාගත් ඇගේ මෑණියන් නුවර ඊ.එල්. හා ඩී.එස්. පුස්තකාල වෙත ඇය රැගෙන ගියාය. අලුත් පොත් පත් ඇයට ගෙනැවිත් දුන්නාය.

“ඕ ලෙවල් කරද්දි අපිට සිංහල උගන්නපු හේමලතා ගුරුතුමියත් මගෙ හැකියාව දැකලා මාව හුඟක් දිරිමත් කළා.

වාර විභාගෙකදි මම ලියපු කෙටි කතාවක් මුළු පංතිය ඉදිරියෙදිම අගය කරපු වෙලාවෙ මට දැනුණ සතුට විස්තර කරන්න අදටත් වචන නැහැ. ඇත්තම කියනවනං ඒ වෙනකොට මම මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලියු. ඒ. සිල්වා වගේ ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ පොත් ගොඩක් කියවල තිබුණා.

ඒ වගේ මම කරපු තවත් දෙයක් තමා පුංචි නවකතා ලියන එක. පාසල් සමයේ පෙම් පුවත් තමා ඒවට පසුබිම් වුණේ. මගේ යාළුවො අතර ඒ පොත් හරි ජනප්‍රිය වුණා. මට කවදාවත් අමතක නොවන තවත් සිද්ධියක් තමා පාසලේ සාහිත්‍ය තරගයක් තිබිල මාත් ඒකට කෙටි කතාවක් ලියපු අවස්ථාව.

අන්තිමට බලනකොට මම විතරයි මුඵ ඉස්කෝලෙන්ම තරගෙට නිර්මාණයක් ඉදිරිපත් කරල තිබුණෙ.”

වර්තමාන සිංහල නවකතා ගැන ඇගේ අදහස විමසා සිටි විට සෙනිෆා පැවසුවේ නව පරපුරේ ලේඛක ලේඛිකාවන් අතරින් විරාජිනී තෙන්නකෝන්ට ඇය ඉතා කැමති බවය. විරාජිනීගේ මකරානන්දය නවකතාව මෑත කාලයේ කියවූ අපූරු ප්‍රබන්ධයක් ලෙස ඇය සලකයි. ඉංග්‍රීසි සාහිත්‍ය ඇසුරටද රුචියක් දක්වන සෙනීෆා ඇමරිකන් ලේඛක “ජොඩි පිකෝල්ට්” (Jodi Picoult) වැනි ලේඛකයන්ගේ කෘතිවල ඇමරිකන් සමාජය විවරණය කරන ආකාරය ඉතා කදිම බව පවසයි.

විවාහයෙන් පසු ඇය පදිංචිව සිටිනුයේ දෙහිවලය. ඇගේ ජීවන සහකරුවා ඉස්තිකාර් මොහොමඞ්ය. තිදරු මවක් ලෙස තම වගකීම් ඉටු කරමින් සාහිත්‍ය කටයුතු වලද නිරත වීමට තමන්ට අවැසි දිරිය හා විවේකය නොමසුරුව ඔහුගෙන් ලැබෙන බවද සෙනීෆා කෘතවේදීව සිහිපත් කළාය.

ඉදිරි සාහිත්‍ය කටයුතු මොනවාදැයි විමසූ විට ඇය කියා සිටියේ ග්‍රේෂන් සාහිත්‍ය තරගයේදී හොඳම කෘති හතර අතරට එක් වූ ඇගේ “දේ ෆෙල් ටු කිල් හර්”(They Failed to Kill Her) නම් නවකතාවේ මුද්‍රණ කටයුතුවල මේ දිනවල නිරතව සිටින බවකි.

“මම පොත් ලියන්නෙ හෝ කියවන්නෙ විවේක කාලය ගතකිරීමේ මාධ්‍යයක් හැටියට නෙමේ. මම ඒක සලකන්නේ මගේ සමාජ කාර්යභාරයක් හැටියටයි”

අපේ කෙටි සංවාදය අවසානයේ සෙනීෆා බැරෑරුම් හඬින් කියා සිටියාය.

– silumina.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *