අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

ලෝකේ වෙනස් වෙන්නේ වෙනස් විදිහට හිතන්න උත්සාහ කරන මිනිස්සු නිසා. වෙනස් විදිහට හිතන්න පුළුවන් ජීවිත හදන්න ලේසිම තැන තමයි පාසල කියන්නේ. නමුත් අපි දන්න බහුතරයක් පාසල් කරන්නේ විභාග විතරක් සමත් වෙන සම්ප්‍රදායික ශිෂ්‍ය පරපුරක් බිහි කරන එක විතරයි. ඔබ ඇතැම්විට කියවා ඇති හරි පුදුම ඉස්කෝලය ගැන. තෙත්සුකෝ කුරෝයානාගි කියන ජපන් ලේඛකයා ලියූ ඒ කෘතිය සිංහලයට පරිවර්තනය වුණේ හරි පුදුම ඉස්කෝලේ කියන නමින්. මේ කියන්නේ ජපානයේ හරි පුදුම ඉස්කෝලේ ගැන නෙමෙයි. මේ හරි පුදුම ඉස්කෝලේ මුණ ගැහෙන්නේ අල්ලපු රටෙන්. ඒ කියන්නේ ඉන්දියාවෙන්.

අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ
අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

මසින් සහ පර්මිතා කියන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ජීවත් වුණු තරුණ ඉන්දියානු යුවළක්. ඔවුන් එකිනෙකා මුණ ගැහෙන්නේ 2013 වසරේදී. සමාන සිතුම් පැතුම් තිබුණු මේ දෙදෙනාට ඕන වෙනවා තමන්ගේ රටේ දුප්පත් දරුවන් වෙනුවෙන් යම් දෙයක් කරන්න. විශේෂයෙන්ම ළමා මෙහෙකාරකම් බහුල පළාතක ඉන්න දරුවන්ට අධ්‍යාපන අවස්ථාවක් හදලා දෙන්න ඔවුන්ට වුවමනා වෙනවා. ඔවුන්ට නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන පාසලක් හදන්න ඔවුන් කල්පනා කළා. ඒ වෙනුවෙන් යොදවන්න මූලික ධනයක් තිබුණත් පාසලක් පවත්වාගෙන යන්න අවශ්‍ය මූල්‍ය උපකාරයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා. එතැනදී තමයි ඔවුන්ගේ ඔලුවට කසළ ප්‍රතිචක්‍රීකරණය ගැන අදහසක් එන්නේ. ඔවුන් ඒ සැලසුම ක්‍රියාත්මක කරනවා.

අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ
අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

2016 වසරේදී ඇසෑම් ප්‍රාන්තයේ ගුවාටි කියන ප්‍රදේශයේ ඔවුන් ” අක්ශාර් පදනම ” ආරම්භ කළා. මේ පදනම හරහා ඔවුන් තව තවත් පාර්ශ්වවලින් කසළ කළමනාකරණය වෙනුවෙන් උදව් උපකාර වගේම මූල්‍ය සහයත් ලබා ගත්තා. මේ ඉස්කෝලෙන් දරුවන් ඉගෙන ගන්නවට මුදල් ගෙවනවා. හැබැයි එක කොන්දේසියක් උඩ. ළමුන් සියලු දෙනාම ඉස්කෝලෙට එද්දී ඉවත දමන ප්ලාස්ටික් අරගෙන එන්න ඕන. සතියකට අඩුම තරමේ ප්ලාස්ටික් බෝතල් හෝ ප්ලාස්ටික් කැබලි 25ක්වත් ඔවුන් අරගෙන ආ යුතුයි. ඒ අරගෙන එන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණයට යවන්න කලින් වෙන් කරලා කළමනාකරණය කරන්නෙත් ඒ ළමන්ගේ දායකත්වයෙන්. ඒ වෙනුවෙන් දවසකට ඔවුන්ට ඩොලර් තුනක විතර වේතනයක් ලැබෙනවා. ඉන්දියාවේ විදිහට ඒක ඒ ළමයින්ට සෑහෙන ගාණක්. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙනවා. උසස් පන්තිවල ඉන්න දක්ෂ දරුවෝ පහළ පන්තිවල කනිෂ්ට ශිෂ්‍යයන්ට උගන්වනවා.

අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ
අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

මුල් කාලේ මේ පාසලට දරුවන් එවන්න සමහර දෙමව්පියන් කැමැති වුණේ නෑ. නමුත් මෙහෙකාරකම්වල යෙදුණු දරුවන්ට ඉගෙන ගන්න ගමන් පොඩි පඩියකුත් ගෙවන නිසා කල් යද්දී දෙමව්පියෝ වුණත් දරුවෝ ටික ඉස්කෝලෙට එවන්න කැමැති වුණා. ඉස්කෝලේ පටන් ගත්තේ ළමයි 20කින්. ඒත් අද වෙද්දී ළමයි සිය ගණනක් මේ පුදුම ඉස්කෝලේ ඉන්නවා. අද ඔවුන් දරුවන්ට අධ්‍යාපනයට අමතරව වෙනත් වෙනත් හැකියාවන් වර්ධනය කරගන්න පවා අවස්ථාව හිමිකරදී තියෙනවා. නවීන තාක්ෂණික මෙවලම්, යන්ත්‍ර සූත්‍ර භාවිත කරන අයුරු සම්බන්ද විශේෂ පුහුණුවක් ඔවුන්ට ලැබෙනවා. ඉහළ පන්තිවල සිසුන්ට ඉගැන්වීම පිළිබඳව පුහුණුව ලැබෙනවා. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පාසල තුළම තිබෙන නිසා අද වෙද්දී ඔවුන් ඒ ප්‍රදේශයේ කසළ කළමනාකරණය වෙනුවෙන් දක්වන්නේ අසමසම දායකත්වයක්. තැන් තැන්වල මෙහෙකාරකම් කළ සිසුන් මේ අපූරු ඉස්කෝලෙට එන්නේ සතුටින්. ඔවුන්ට අවශ්‍ය දැනුම, ආදරය, කරුණාව සියල්ල අද එතැන තියෙනවා.

අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ
අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

පුදුම ඉස්කෝලේ ආරම්භකයා වුණු මසින් මාධ්‍යයට මෙහෙම කිවුවා….

” මේ පළාතේ ගල්කොරිවල මෙහෙකාරකම් කරපු දරුවන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන්න අපිට පුළුවන් වුණා. ඒ අයගේ ජීවිත තිබුණේ අවදානමක. ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණේ නෑ. අපිට පුළුවන් වුණා ඒ අයට සුරක්ෂිත පරිසරයක් හදන්න. අපි උත්සාහ කරන්නේ තවත් දරුවන්ට ඒ අවස්ථාව දෙන්න පුළුවන් විදිහට මේ පාසල ව්‍යාප්ත කරන්න. ඔවුන් අද වෘත්තිමය අධ්‍යාපනය පවා ලබනවා. අලුත් තාක්ෂණය භාවිතා කරනවා. අපේ අරමුණ සාර්ථකයි”

අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ
අල්ලපු රටේ හරි පුදුම ඉස්කෝලේ

ඉතා සුළුවෙන් ආරම්භ කරපු අක්ශාර් පදනම අද ජාත්‍යන්තර සහයෝගයත් ඇතිව වෙනම භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වෙනවා. සමහර වෙලාවට සම්ප්‍රදාය වෙනස් කරන්න ලොකු පරිශ්‍රමයක් දරන්න ඕන නෑ. වෙනස් විදිහට හිතුවොත් ඇති.

උපුටාගැනීම-දැනුම සොයන්න මේ පාරෙන් එන්න /the better india

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *