ඇමරිකානු යෝජනා වහාම හෙළි කරනු – ජවිපෙ

ඇමරිකානු යෝජනා වහාම හෙළි කරනු – ජවිපෙ

ඇමරිකානු යෝජනා වහාම හෙළි කරනු – ජවිපෙ

ජ්‍යාතන්තර බල දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග මෙරට ජනාධිපතිවරයා ඇතුළු ආණඩුව ඇතිකර ගන්නා එකඟතා මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා මෙයට සුළු මොහොතකට පෙර පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි එම පක්ෂයේ ප්‍රධා කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව ප්‍රකාශ කළේ ය. ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ඇමරිකාව විසින් තරක ලද යෝජනාවලින් මෙරට ආණ්ඩුව එකඟවූයේ මොනවාටද බැහැරකරන ලද්දේ මොනවාද යන්න සවිස්තර සහිතව ජනතාවට හෙළි කරළ යුතු බවය.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

“මේ මාධ්‍ය හමුව පවත්වන මොහොත වනවිට (27) රාත්‍රීයේ මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු 36 දෙනෙකුගේ කණ්ඩායම ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා සමග සාකච්ඡා පවත්වා අවසන් වී තිබෙනවා. රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට පෙර විශාල කණ්ඩායමක් මෙරටට පැමිණි බව මතක් කරන්න ඕනෑ. ලෝකයේ බොහෝ රටවල් සමග ද්වීපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික සබඳතාවයන් පැවැත්වීම සහ ගිවිසුම්වලට එළඹීම සාමාන්‍ය තත්වයක්. එහෙත් මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණීමට පෙර දකුණු හා මධ්‍යම ආසියානු කලාපයේ සහකාර කටයුතු භාර නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩීන් තොම්සන් හා නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපය භාර සහකාර ලේකම් ඩේවිඩ් ස්ටිල් වෙල් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී මයික් පොම්පියෝ ලංකාවට පැමිණීමේ අරමුණු පැහැදිලි කළා.

ඒ අරමුණු අතර ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කළේ ලංකාව ඉදිරියේදී තමන් යන්නේ කවුරුන් සමගද කියන දුෂ්කර තීන්දුව ගන්න ඕනෑ කියලා. මෙම කරුණ මයික් පොම්පියෝ විසින් ඉන්දියාවේදී නැවත අවධාරණය කර තිබෙනවා. ඒ නිසා මේ කණ්ඩායම පැමිණෙන්නේම බලහත්කාරී අධිපතිවාදී හැසිරීමක් සහිතව. එක්සත් ජනපදය ලෝකය පුරා තමන්ගේ යුද, ආර්ථික සහ දේශපාලන ආධිපත්‍යය පැතිරීම වෙනුවෙන් විවිධ බලහත්කාරී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. සමහර ඒව කුමන්ත්‍රණ, සමහර ඒවා යුද්ධ, සමහර ඒවා ගැටුම් වශයෙන් ලෝකය පුරා පතුරුවමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික සහ යුදමය ගිවිසුම් කිහිපයකට පසුගිය කාලයේ එළඹී තිබෙනවා. 2007 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ සිටි ඇමරිකානු තානාපති රොබටෝ බ්ලේක් හා එවකට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ අතර ඇක්සා නම් ආරක්‍ෂක ගිවිසුම අත්සන් කළා. ඕනෑම මොහොතක ඇමරිකන් එක්සත් ජනපදයේ හමුදාවන්ට ලංකාවේ ගොඩබිම, ගුවන හා මුහුද පාවිච්චි කරන්න ඉඩකඩ ලබාදෙන බව එයින් එකඟතාවයකට ආවා. ඒ ගිවිසුම අනුව ජලය, ආහාර, ඉන්ධන ඇතුළු යටිතල පහසුකම් ලංකාවෙන් ලබාදෙන්න එකඟතාවයකට ආවා. ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළින් සන්නිවේදන පහසුකම් ලබාදීමටත් එකඟ වුණා. මේ අනුව එක්සත් ජනපද යුද සැලසුමේ කොටස්කරුවෙකු බවට ලංකාව ඒ ගිවිසුමෙන් පත්වුණා.

මේ ගිවිසුම ඒ කාලයේ හැඳින්වූයේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් වෙනුවට ඇමරිකානුවන් සහ ඇමරිකානුවන් අතර ගිවිසුමක් හැටියට. ඒ වනවිට මෙරට ආරක්‍ෂක ලේකම්වරයාත් ඇමරිකන් පුරවැසියෙකු වූ නිසා. ඇමරිකානු එක්සත් ජනපද යුද වුවමනාවන්ට අපේ රට යටත් කිරීම ඇක්සා ගිවිසුම අත්සන් කළේ මේ විදිහට. අවුරුදු 10ක වලංගු කාලයකින් පසුව 2017 කල් ඉකුත්වීමට නියමිත වුණා. එවකට සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කාල නියමකින් තොරව මේ ගිවිසුම දීර්ඝ කළා. ගෝඨාභය රාජපක්‍ෂ අත්සන් කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ විසින් දීර්ඝ කරනු ලැබූ ඇක්සා ගිවිසුම මගින් අපේ රට එක්සත් ජනපදයේ හමුදාවන්ට සියලුම ආකාරයෙන් බැඳී සිටිනවා.

ඊට පෙර 1995 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ රජය සෝෆා ගිවිසුම අත්සන් කළා. එහි දෙවැනි අදියරේ ගිවිසුම අත්සන් කිරීමට 2016දී සාකච්ඡා ආරම්භ කළා. එ් දීර්ඝ කිරීමේ අරමුණ වෙනුවෙන්. ඇක්සා ගිවිසුම මගින් ලංකාවට එන එක්සත් ජනපද හමුදාවන්ට රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලබාදීමට යෝජනා කෙරුණා. ඔවුන් අපේ රටේ නීතියට, අධිකරණයට යටත් නොවන රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ලබාදීමේ සාකච්ඡා දැන් දෙවැනි අදියරේ පවතිනවා. ආර්ථික වශයෙන් අපේ රටේ සුජාත පුරවැසියන් අතේ තිබෙන ඉඩම් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට ඉඩම් පනත් 07ක් සංශෝධනය කිරීමට සූදානමින් සිටිනවා. ආණ්ඩුවේ පොදු යාන්ත්‍රණයෙන් පිට ඒ සඳහා යාන්ත්‍රණයක් ගොඩනැගීමට සහ මහ බැංකුව හරහා නොවන විදේශීය මුදල් ලැබීම් පාවිච්චි කිරීමට අයිතිය ලබා දෙන එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සාකච්ඡා පවතිනවා. මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා පැමිණෙන්නේ මේ පසුබිම තුළයි. එම්.සී.සී. සඳහා මුදල් ලබාගෙන ඇමරිකානු සහශ්‍ර අරමුදලේ සභාපතිවරයා බවට නිල වශයෙන් පත්වී සිටින්නේ රාජ්‍ය ලේකම් පොම්පියෝ. ඒ අනුව මේ පැමිණ සිටින්නේ එම්.සී.සී, සම්බන්ධව කටයුතු කරන අරමුදලේ සභාපතිවරයායි.

මේ සංචාරය පිළිබඳව ඉන්දියානු මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් වෙමින් තිබෙනවා. ඒ අනුව මේ ගිවිසුම්වලින් ඔබ්බට යන වුවමනාවක් එක්සත් ජනපදයට තිබෙනවා. එක්සත් ජනපදය, ඉන්දියාව. ජපානය, ඕස්ට්‍රේලියාව එකතුවී එළඹෙන මැද භාගයේදී ඉන්දීය සාගර කලාපයේ නාවික යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍යය පිළිබඳ සැලැස්මක් චීනය ඉලක්ක කරගෙන තිබෙනවා. මයික් පොම්පියොගේ පැමිණීමේ ගමන ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව ඉලක්ක කර තිබෙන්නේත් මේ වනවිටත් ඉන්දියාව සමඟ අලුත්ම යුදමය ගිවිසුමට අත්සන් කර තිබෙන්නේත් ඉන්දියානු සාගර කලාපයේ යුද ආධිපත්‍යය මූලික කරගෙනයි. ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍යය සඳහා මේ වනවිටත් ඇමරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල යුදමය සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා.

ලංකාව ද්වීපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික සබඳතා පවත්වා තිබුණත් ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වය ගෙන ක්‍රියාකර තිබුණත් ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික ගිවිසුම් අත්සන් කර තිබුණත් ශ්‍රී ලංකාව කවදාවත් ජාත්‍යන්තර යුද සංවිධානයක් සමග ගිවිසුම් අත්සන් කර හෝ යුද සංවිධානයකට සහයෝගය පළකර නැහැ. රාජ්‍ය ලේකම්වරයාගේ මෙම ගමනේ අරමුණ ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යයේ කොටස්කරුවෙකු බවට, ඊට සහයෝගය දක්වන්නෙකු බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සැලැස්මක් ක්‍රියාවට නැගීමට මුල පිරීමයි. අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ කිසිදු ජාත්‍යන්තර යුද සංවිධානයක පංගුකරුවෙකු හෝ කොටස්කරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතු බවටයි. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ විදේශ අමාත්‍යවරයාගේ සාකච්ඡාවලදී එක්සත් ජනපදයේ ජාත්‍යන්තර යුද මෙහෙයුමේ කොටස්කරුවන් බවට පත්වීමට ඉඩ නොදිය යුතු බව අපගේ ස්ථාවරයයි.

පොම්පියෝ පැමිණීමට පෙර ඩීල් තොම්සන් සහ ඬේවිඞ් ස්ටීල්වෙල් ප්‍රකාශ කර තිබූ පරිදි එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ යෝජනාවලිය අනුව ඉදිරියේදී අප ගමන් කරන්නේ කවුරුන් සමගද යන්න තීරණය කළ යුතු බවට කර තිබෙන බලපෑම ගැන රටට එළිදරව් කළ යුතුයි. මෙය මැදමුලන පොල් වත්ත පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. නාමල් රාජපක්‍ෂ කියලා තිබුණ ආගන්තුක සත්කාර දක්වමින් තේ එකක් බීලා පිළිගන්නව වගේ දෙයක් නෙවෙයි. ජී.එල්.පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ පරිදි රාජ්‍යතාන්ත්‍රිකයන් එනවා යනවා වගේ අලුත් දේවල් නොවන බවට කර තිබූ ප්‍රකාශය වගේම බැසිල් රාජපක්‍ෂගේ සමීපතමයන් කියා තිබුණේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වගේ ප්‍රබල නායකයෙක් ලංකාවට පැමිණීම ජයග්‍රහණයක් බවයි. ඔහු මේ නැදෑ ගමනක් පැමිණීමක් නොවේ. ඉතා පැහැදිලිව ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යය තහවුරු කරගන්න ඉන්දියාව, ලංකාව, මාල දිවයින සහ ඉන්දුනීසියාව තෝරා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර යුද සැලසුමේ පංගුකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතුයි.

ඒ වගේම සෝෆා ගිවිසුම පිළිබඳ තිබූ සාකච්ඡාව මේ චාරිකාවේදී කොතෙක්දුරට ඉස්සරහට ගන්නවද කියල අපි දන්නේ නැහැ. ඒ සියල්ලම අභිබවා ඉන්දියානු සාගරයේ යුද බලය වෙනුවෙන් ලංකාව හවුල් කර ගැනීමේ වුවමනාව ඉදිරියට පැමිණ තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ගොඩනැගුවේ දේශප්‍රේමීත්වය තවරාගෙන. මෙයට පෙර එම්.සී.සී. ගිවිසුම පිළිබඳ මොවුන් ප්‍රකාශ කළේ එක්සත් ජනපදයේ ආධිපත්‍යය පතුරුවන්න එන බවට ඊට එරෙහිව සිංහනාද පැතිරවීමයි. ජනතාව කල්පනා කළා, ඔවුන් සැබෑ දේශප්‍රේමීන් බව. ඒ සිංහනාද පැවැත්වූ අය අද වෙනකොට හීන් කෙඳිරියක්වත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් පෙනී හිටියේ මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්. හැබැයි අපි ලෝකයේ රටවල් සමග එකට යා යුත්තේ අපේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගනිමින්. හැබැයි 70 වසරක් පුරා මේ පාලකයන් සිදුකර තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් මේ රට දුබල කර ටි්‍රලියන 14ක විශාල ණය උගුලක රට හිරකර එම ණය ප්‍රමාණයෙන් 48%ක් විදේශීය වශයෙන් ලබාගෙන බරපතළ තත්වයකට පත්කිරීමයි. මේ නිසා ලබන වර්ෂයේදි ඩොලර් කෝටි 600ක මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. අපේ අපනයන ආදායම ආනයන වියදමෙන් අඩක්වත් සපුරාගන්න අසමත්වී තිබෙනවා. එවැනි ආර්ථිකයක් හමුවේ බලගතු රාජ්‍යයන් විසින් රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය පා පන්දුවක් බවට පත්කරගෙන තිබෙනවා.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය ඒ පාපන්දුවට ප්‍රහාර එල්ල කරනවා. ලෝක බලවතුන් හමුවේ ශ්‍රී ලංකාව අසරණභාවයට පත්කර තිබෙනවා. චීනය පසුගිය කාලයේ ආර්ථිකමය මැදිහත්වීම වගේම දේශපාලන හැරවුම් ලක්‍ෂවලදී මුදල් වැය කර තිබෙනවා. 2015දී සහ ඊට පෙර මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ සඳහා මුදල් වියදම් කළ බව ලෝකයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අපි චෙක්පත් අංක සහිතව ඒ ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බැසිල් රාජපක්‍ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂගේ පදනමට චීන සමාගම් මුදල් යෙදූ බව චෙක්පත් අංක සහිතව අපි ඉදිරිපත් කළා. අපේ දේශපාලන අධිකාරිය කොමිස් කප්පම්වලට අත්පත්කරගෙන තිබෙනවා. ඒ මගින් රටට කිසිදු ප්‍රතිඵලදායක නැති විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් සඳහා ණය ගනිමින් උගුලක හිරකරනු ලැබුවා. චීන රජය පාලකයන්ට දොළ පිදේනි ලබාදෙමින් විවිධ අසාර්ථක ව්‍යාපෘති ලබාදී තිබෙනවා. මේ විදිහට ලෝක බලවතුන්ගේ ක්‍රීඩා පිටියක් බවට ශ්‍රී ලංකාව පත්කර තිබෙනවා.

ඒ නිසා මව්බිමට සැබෑ ලෙසම ප්‍රේම කරන ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ, අවුරුදු 70ක් රට පාලනය කළ මේ දෙපිරිස විසින් ක්‍රමානුකූලව මේ රට ලෝක බලවතුන් හමුවේ හිර කිරීමට එරෙහිව පෙරට එන්න කියලයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඊට නායකත්වය දී තිබෙනවා. ආණ්ඩුව වහාම ගෝඨාභය රාජපක්‍ෂ සහ මයික් පොම්පියෝ අතර සිදුකළ සාකච්ඡාවලදී එළඹුණු එකඟතාවයන් පිළිබඳ රටට හෙළිදරව් කළ යුතුයි. විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාවලදී එළඹුණු එකඟතාවයන් සහ බැහැර කළ යෝජනා පිළිබඳව ප්‍රකාශ කළ යුතුයි. මේ සාකච්ඡා සිදුවෙමින් තිබෙන්නේ අපේ මාතෘභූමියේ අනාගතය පිළිබඳව නිසා මේ රටේ සෑම පුරවැසියෙකුටම මේ තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. එසේ නැතිව ජනතාවගේ ඇස් වසා මෙරට ජාත්‍යන්තර යුද උගුලකට හසු කිරීමේ කිසිදු ගිවිසුමකට ඉඩ නොදිය යුතුයි.

බලහත්කාරයෙන් මෙරටට එනකොට රටේ නායකයින්, රටේ නායකයින්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් ඇමරිකානු පුරවැසියන්. අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය අපේක්‍ෂා කරන්නේ එක්සත් ජනපදයේ පුරවැසිභාවය ගත්තු මේ අයගෙන්දැයි අපි ජනතාවගෙන් අහනවා. ඔවුන් වෙනුවෙන් ව්‍යවස්ථාවත් වෙනස් කරනවා. ඕනෑම මොහොතක එක්සත් ජනපදයට පලා යන්න ඉන්න අය ගැන 2015දී අපි දැක්කා. තමන්ගේ සැඳැ සමය එක්සත් ජනපදයේ ගත කරන්න බලාගෙන ඉන්න අයට මේ රටේ ස්වාධීනත්වය හෝ ස්වෛරීභාවය ගැන කිසිදු හැඟීමක් නැහැ. මේ රටේ දේශප්‍රේමීත්වය පිළිබඳ අරගලය රට වෙනුවෙන් සැබෑ ලෙසම බැඳී සිටින අය අතට ගත යුතු බවට ආරාධනය කරනවා.”

ආණ්ඩුව වගකම් විරහිත වුණොත් කොවඞ්19න් මතුවිය හැකි අනතුර විශාලයි…

“කොවිඞ් වසංගතයේ දෙවැනි අදියර විනාශකාරී තත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන බව වාර්තා වෙනවා. පළවැනි අදියර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ, හමුදාවේ සහ පොලීසියේ, පොදු ජනතාවගේ තීරණාත්මක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව ඇගයීමක් අපිට තියෙනවා. පළමු අදියර පාලනය කර ගත්තාට පසුව මතුවිය හැකි දෙවැනි අදියරක අනතුර පිළිබඳව ආණ්ඩුව මුළුමන්නිම අත්හැර කටයුතු කළා. බලය වෙනුවෙන් මැතිවරණ, ව්‍යවස්ථා සංශෝධන කෙරෙහි අවධානය යොමු කරනවා හැරුණුකොට දෙවැනි අදියරේ අනතුරක් ගැන කිසිදු අවධානයක් යොමුකළේ නැහැ. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි අනිල් ජාසිංහ මහත්මයා, විශාල අත්දැකීම් තිබූ පබා පලිහවඩන වැනි වෛද්‍යවරියන් මුල් රැල්ල මැඩ පැවැත්වීමට දැරූ ප්‍රයත්නයන් පසෙක තබා වෙනත් තනතුරුවලට මාරු කළා. මෙම කාර්යයේදී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය වැදගත්ම තනතුරක්. එය දීර්ඝ කාලයක් හිස්ව තැබුවා. ඒ වගේම කොවිඞ් වසංගතය මැඩ පැවැත්වීමට ගොඩනගා තිබූ කාර්ය සාධක බලකාය මාස දෙකකින් පමණ රැස් නොකළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ජනාධිපතිවරයාගේ ගමන් බිමන්වල සිට ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම කොවිඞ් වසංගතය අවසන් බවට මිත්‍යාවක් සමාජය තුළ පතුරුවා හැරියා. දෙවැනි පියවර වඩාත් ප්‍රබල ලෙස සමාජගත වෙමින් තිබෙන්නේ මේ නිසා.

පළමු අදියරේදී වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගොදුරු වුණේ නැහැ. රෝහල් වාට්ටු වසා දැමුණේ නැහැ. පොලීසියට පළමු අදියරේදී වැළඳුනේ නැතත් දැන් වැළඳී පොලිස් ස්ථාන පවා වසා දැමීමට සිදුවෙලා. පළමු අවස්ථාව සංඛ්‍යාත්මකව මෙතරම් විශාල ප්‍රමාණයක් වාර්තා වුණේ නැහැ. නමුත් දැන් එක් දිනකට දහසක් වාර්තා වන තත්වයට පත් වී පැතිරීම වේගවත්ව වැඩි අවදානමක් ගෙන තිබෙනවා. ආණ්ඩුවක් හැටියට මීට මුහුණ දීම සඳහා සමාජය ඉතා වේගයෙන් සූදානම් කළ යුතුයි. නැවත රට වසා තබමින් හෝ රට පවත්වාගෙන යමින් ජන ජීවිතය ඉස්සරහට ගෙනයාම කියන ක්‍රියාමාර්ග දෙකෙන් එකක් තෝරා ගත යුතුව තිබෙනවා. රට වහන්නේ නැති බව ජනාධීපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබෙනවා. හැබැයි අපේ සෞඛ්‍ය අංශයේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක තිබුණත් ධාරිතාවය ප්‍රමාණවත් නැහැ. රෝහල් ඇඳන් සංඛ්‍යාව මේ ආසාදිතයින් සඳහා 5,000 ඉක්මවා යන තත්වයට පත්වෙලා. ඒවගේම ආසාධිතයන් හඳුනා ගැනීමේ සෞඛ්‍ය සහ බුද්ධි අංශ ධාරිතාවයත් දැන් බිඳ වැටෙමින් තිබෙනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාවයත් මදි වී ගෙදරදී ස්වයං නිරෝධායනයට පත්කිරීමට යොමුවී තිබෙනවා. ඊළඟ පියවරේදී ආසාදිතයන්ද නිවසේ රඳවා ගැනීමත් තවත් පියවරකදී රෝගී වී අසාධ්‍යභාවයට පත්වන අය පමණක් රෝහල්වලට ඇතුළත් කිරීමේ තත්වයත් ඇතිවිය හැකිව තිබෙනවා.

මේ ගමන් කරමින් තිබෙන බිහිසුණු විනාශකාරිත්වය දිශාවට ගමන් කරමින් තිබියදී රට මේ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න ක්‍රියා කරනවා නම් මතුවිය හැකි අභියෝගයන් පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. පී.සී.ආර්. පරීක්‍ෂණ කිරීමට අවශ්‍ය ටෙස්ට් ටියුබ් පවා ප්‍රමාණවත් නැති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර තිබුණා. පරීක්‍ෂණවලින් පසු ප්‍රතිඵල පැමිණීමට ගතවන කාලය දිග වන නිසා ඉතාමත් අනාරක්‍ෂිතභාවක් තිබෙනවා. දෙවන අදියරට මුහුණ දිය හැකි පරිදි සෞඛ්‍ය අංශවල යටිතල පහසුකම් ආණ්ඩුවෙන් සූදානම් කළේ නැහැ. යාන්ත්‍රණය ශක්තිමත් කරනවා වෙනුවට වැඩ බලන අයගෙන් එය පුරවමින් යටිතල පහසුකම් කඩාවැටීමට ඉඩ හැරියා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ තත්වයෙන් රට පවත්වාගෙන යනවානම් මතුවිය හැකි අනතුර අතිවිශාල බවයි. ඒ අනතුරට මුහුණ දිය හැකි ආකාරයේ සෞඛ්‍ය යටිතල පහසුකම් වර්ධනය කළ යුතුයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍යයට සම්බන්ධ පවුල්වල අයගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ 22ක කණ්ඩායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් තමන්ගේ ග්‍රහණයෙන් ගිලිහී යමින් තිබෙන බවත් ප්‍රකාශ කර තිබුණා. මේ අනුව ඇතිවිය හැකි ඛේදවාචකයේ තරම බරපතළයි.

වසා තැබූ ගම්මානවලට ආහාර, බෙහෙත් හේත් ළදරු කිරිපිටි හිඟයකින් පෙළෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග ඇහිරිලා. ඒ වගේම සාමාන්‍ය ජන ජීවිත මුළු රටේම අඩාල වී තිබෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කරන්නත් කොටුවී තිබෙන ගම්මානවලට ආහාර ලබා දීමටත් ආණ්ඩුව අසමත් වී තිබෙනවා. මේ නිසා ආණ්ඩුව ගතයුතු මූලික ක්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි කරමින් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, පොලීසිය සහ හමුදා යාන්ත්‍රණයට අවශ්‍ය පහසුකම් ලබාදී ආරක්‍ෂා කිරීමට වැඩපිළිවෙළක් සැකසීම සාමාන්‍ය ජන ජීවිතයේ මූලික අවශ්‍යතාවලට සහන ලබාදී වසා තබා තිබෙන ප්‍රදේශවලට මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගත යුතුයි. ආණ්ඩුවට රුපියල් කෝටි 200කට ආසන්න කොවිඞ් අරමුදලක් තිබෙනවා. ඒ වගේම විදේශ සංවිධානවලින් රුපියල් කෝටි 8200කට වඩා ආධාර ලැබී තිබෙනවා. නමුත් ඒ අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා විශාල මුදලක් වෙන්කරගෙන තිබෙනවා. නමුත් ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම අඩාල වී තිබෙනවා. ජනතාවටත් වගකීමක් තිබෙනවා. මේ පැතිරීම වැළැක්වීම සඳහා පෞද්ගලික සහ සමාජ වගකීමකින් කටයුතු කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතාම තීරණාත්මක මේ කාලය තුළදී ආණ්ඩුව තමන්ගෙ වගකීම් ඉටුකර ජනතාවගේ පැත්තෙන් යුතුකම් ඉටුකර මේ ව්‍යසනයෙන් මිදීමට ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තුවෙනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“දැන් ආණ්ඩුවේ කණ්ඩායම් එදා විපක්ෂයේ ඉන්නකොටත් කළේ බොරුව. 2007 ඇක්සා ගිවිසුම අත්සන් කරපු අය 2015න් පස්සේ සෝෆා ගිවිසුමට විරුද්ධ වෙනවා. 2005 අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තමයි මිලේනියම් අරමුදලෙන් ඉල්ලීමක් කරන්නේ මුදල් ආධාරයක් ලබාදෙන්න කියලා. 2015න් පස්සේ ඔහුම එයට විරුද්ධ වෙනවා. ඔවුන් හැම වෙලාවේම මෙම අධිරා්‍යවාදී බලපෑම් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යොදා ගත්තා. ඔවුන් දේශප්‍රේමය තවරාගත් අය. ඒ නිසා තමයි ඔවුන් තමන්ගේ රජයක් යටතේ එවැනි ක්‍රියාමාර්ගවලට අනුමැතිය දෙන්නේ. ඔවුන්ගේ ව්‍යාජ දේශප්‍රේමය තමයි නැවත නැවතත් එළිදරව් වෙන්නේ.

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ එකඟවන කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව මුළු රටම දැනගත යුතුයි. මේ එකඟතාවයන්ට එළඹෙන්නේ පාලකයින්ගේ පුද්ගලික දේශපල පිළිබඳව නෙවෙයි. මේ ගිවිසුම්ගත වෙන්නේ රටක ස්වාධීනත්වය, රටේ අනාගතය, රටේ සම්පත් පිළිබඳවයි. සෑම පුරවැසියෙකුටම ඒවා පිළිබඳව දැනගන්න අයිතිය තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ජනාධිපතිවරයා පළකළ එකඟතාවයන් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනා, දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා කළේ මොනවද කියලා රටට ඉදිරිපත් කළ යුතුයි කියලා. නමුත් හැමදාමත් මේ පාලකයින් කළේ යටින් ගිවිසුම්ගත වෙලා එළියෙදි දේශප්‍රේමීත්වය ගැන නන්දොඩවන එක. එනිසා අපි කියන්නේ ප්‍රධාන වශයෙන් මෙම සාකච්ඡා හෙළි කළ යුතුයි කියලා. මොකද පොම්පියෝ එන්න කලින්ම ඇමරිකාව විසින් ලංකාවට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කොරෝනා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ දේශපාලන ව්‍යාපාර නොවේ. ව්‍යාප්ත වෙන ආකාරය, පාලිත තත්වයෙන් බිඳවැටෙමින් තිබෙනවාද යන්න පිළිබඳ තොරතුරු තිබෙන්නේ සෞඛ්‍ය අංශ සතුවයි. අපි ගත යුතු දිශානතිය එනම් රටට වසා දමනවාද, නැත්නම් කොරෝනා තත්වය තුළ රට ගමන් කරනවාද යන්න තීරණය කළ යුත්තේ තාක්ෂණික කරුණු අනුවයි. නමුත් දැන් ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ කොරෝනා තත්වය තුළ රට විවෘතව තබාගෙන යෑමටයි. එසේනම් අපි කියන්නේ එම තත්වයට ගැලපෙන ආකාරයෙන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතු බවයි. නමුත් එහෙම දෙයක් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින් පෙන්නේ නැහැ.

මයික් පොම්පියෝගේ මෙම සංචාරයේදී වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ යුධ හා නාවුක බලය අත්පත් කර ගැනීමයි. ඒ සඳහා ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, ජපානය සහ ඇ.එක්සත් ජනපදය සංවිධානයක් පවා ගොඩනගා තිබෙනවා. ඔවුන් නාවුක මෙහෙයුම් සැලසුම් කර තිබෙනවා. මාලදිවයින, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව වැනි රටවල් මෙවර පොම්පියෝගේ සංචාරයට තෝරාගෙන තිබෙන්නේත් ඒ නිසා. ලංකාවේ සංචාරයේදී එම්සීසී, සෝෆා වැනි දේ ගැනත් සාකච්ඡා විය හැකියි. නමුත් ප්‍රමුඛතාවය වන්නේ යුධ හා නාවුක බලය තහවුරු කර ගැනීම පිළිබඳවයි. එනිසයි අපි එය අවධාරනය කරන්නේ. නමුත් පොම්පියෝ ගියාම එම්සීසී, සොෆා අත්සන් කළේ නැහැ කියලා ආණ්ඩුව පම්පෝරි ගහන්න ඉඩ තියෙනවා.

අපේ රට අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් නෙවෙයි. නොබැඳි පිළිවෙතක් අනුගමනය කරනවා නම් ඇමරිකාව විසින් කළ ‘ලංකාව තමන් ඉදිරියේදී කවුරු සමඟ ගමන් කරන්නේ යන දුෂ්කර තීන්දුව ගත යුතුයි’ කියන ප්‍රකාශය අපේ රටේ ජනාධිපතිවරයා විසින් හෝ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හෙළා දැකිය යුතුව තිබුණා. නමුත් එහෙම කළේ නැහැ. ඒ නිසා අපේ රට අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් නොව යටත් පිළිවෙතක්.

ඒ වගේම අපි දැක්කා පොම්පියෝගේ සංචාරය සම්බන්ධයෙන් අපේ රටේ විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශ කොයිතරම් ලඳබොඳ ප්‍රකාශද කියලා. මේ තරම් ජාත්‍යන්තර වශයෙන් වැදගත් දේශපාලන තත්වයක් හමුවේ ජාත්‍යන්තරව ගැටුමකට ලක් වෙන වටපිටාවක විපක්ෂනායකවරයා කියන්නේ අපේ රටේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ඇමරිකාව සඳහා ඇති ගමන් බාධක ඉවත් කරලා දෙන්න පොම්පියෝගෙන් ඉල්ලන්න කියලා. මොන නායකයෙක්ද මේ. පොම්පියෝගේ සංචාරය ගැන මේ කලාපයේම ජාත්‍යන්තර දේශපාලන වශයෙන් විශාල සාකච්ඡාවක් මතුවෙලා තිබෙන මොහොතක විපක්ෂනායකවරයා හැසිරෙන්නේ ඒ විදියට.

විමල් වීරවංශලා තමන්ට ලැබෙන කට්ටේ තරමට තමයි සද්දේ. 20 සංශෝධනයේ හරය තිබුණේ විධායකය විසින් සියල්ල යටත්පත් කර ගැනීමයි. අධිකරණය, රාජ්‍ය අංශය, පාර්ලිමේන්තුව මුළුමනින්ම විධායකය විසින් යටපත් කර ගැනීම තමයි 20 තිබුණ හරයාත්මක අරමුණ. නමුත් ඔවුන් එල්ලුනේ ඉතාමත් අනුශාංගික කරුණුවලට. ඔවුන්ගේ ව්‍යායාමය වුනේ ඒකාධිපති ගමනේ කරුණු වෙනුවට වෙනත් දේවල් මතුකිරීම. ඔවුන් දේශපාලන මතවාදී ලෙසත් සංවිධාන ලෙසත් අසරණ වූ කණ්ඩායම් බවට පත් වී අවසන්. ඒනිසා ඔවුන්ගේ හඬ, ක්‍රියාකාරකම්, ඝෝෂාව වම් කනට ගහන කම්මුල්පාරකින් අවසන් වෙනවා. ඒ තරමට ඔවුන්ගේ දේශපාලන භූමිකාව සරල වෙලා ඉවරයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *