නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථය සොයා ගත් අපේ විද්‍යාඥයා

නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථය සොයා ගත් අපේ විද්‍යාඥයා

ආචාර්ය අනුර රත්නායක මහතා නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පිළිගන්වමින්

ආචාර්ය අනුර රත්නායක
නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථය සොයා ගත් අපේ විද්‍යාඥයා

ගෝලීය රෙදිපිළි හා විලාසිතා නිර්මාණ කර්මාන්තය තිරසර පරිසර හිතකාමී කර්මාන්තයක් බවට පත් කළ හැකි පෙරළිකාර නව තාක්ෂණයක් ලොවට හඳුන්වා දෙමින් ග්ලෝබල් චේන්ජ් අවොර්ඩ් අන්තර්ජාතික සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලබා ශ්‍රී ලාංකික නාමය අන්තර්ජාතික තලය වෙත ගෙන ගොස් නූල් කැබැල්ලකින් ලොව ජය ගත් ආචාර්ය අනුර රත්නායක නම් වූ අපේ මේ විද්‍යාඥයා ලක් මවගේ දරුවකු වීම අපට මහත් ආඩම්බරයකි.

වසර 15ක් එංගලන්තයේ ජීවත් වෙමින් අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් වන අමෙරිකාව, එංගලන්තය, චීනය, ජපානය, ඉන්දියාව, ජර්මනිය, හොංකොං, නෙදර්ලන්තය, ඉතාලිය, ප්‍රංශය, ස්වීඩන්, සිංගප්පුරුව, ස්පාඤ්ඤය ආදී රටවල සංචාරය කරමින් එහි ප්‍රබල ආයතන සමග ඔහු සොයාගත් නව තාක්ෂණ පිළිබඳව පර්යේෂණ සහ මෙහෙයුම් සිදු කරමින් සිටින ආචාර්ය රත්නායක මේ වනවිට එංගලන්තයේ ස්ථාපිත අඩිටෙක්ස් සමාගමේ (www.adetexs.com) සභාපති ලෙස කටයුතු කරයි.

අමෙරිකාව සහ යුරෝපීය රටවල් සමඟ මෙම තාක්ෂණයෙහි ඇති නිවැරදිභාවය පිළිබඳව සිදු කරනු ලැබූ සියලු මෙහෙයුම් ව්‍යාපෘතිවල ප්‍රතිඵල අතිසාර්ථක වීම මත ලෝකයේ අධිතාක්ෂණ රෙදිපිළි සම්බන්ධ ප්‍රබල ආයතන මෙම නව තාක්ෂණය මිලදී ගැනීම සඳහා සැදී පැහැදී සිටී.

එහෙත් අපේ රටේ දුරබැහැර මායිම් ගමක ඉපිද ලක්මවගේ සුවඳ විදිමින් අධ්‍යාපනයෙන් පරතෙරට ගිය මේ අපේ විද්‍යාඥයා එම පෙරළිකාර නව තාක්ෂණය සුවිශාල මුදල් ආයෝජනයක් ද සමඟ ලක් මවට දායාද කරන්නට සැරසෙන්නේ විශාල වශයෙන් ආර්ථික ප්‍රතිලාභ ද සලසා දෙමිනි.

ඇඳුම් නැවත ප්‍රතිචක්‍රීකරණය කර භාවිත කිරීම සඳහා විවිධ උත්සාහයන් දැරුව ද නිමි ඇදුම් නිෂ්පාදනයේ දී යොදාගන්නා අමුද්‍රව්‍යවල සංකීර්ණභාවය හේතුවෙන් සහ යොදාගන්නා අමුද්‍රව්‍ය කුමක් ද යන්න හරිහැටි නොදැනීමෙන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

දැනට අදාළ අමුද්‍රව්‍ය කුමක්ද යන්න දැනගැනීම සදහා ඇති එකම ක්‍රමය ඇඳුමේ ලේබලය පරීක්ෂා කර බැලීම වුව ද බොහෝ පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා ඇදුම්වල ලේබලය ඉවත් කරන්නේ එය ශරීරයේ ස්පර්ශ වීම පීඩාකාරී වන බැවිනි.

ලේබලය තිබුණ ද එහි සටහන් බහුතරයක් සේදී මැකීයාම හේතුවෙන් තොරතුරු ලබාගැනීම අපහසුය. එබැවින් වර්තමානයේ ඇඳුම් ප්‍රතිචක්‍රීකරණය සිදුකරන්නේ අමුද්‍රව්‍ය කුමක්දැයි අනුමාන කරමිනි. එය ප්‍රතිචක්‍රීකරණය අධික වියදම් සහිත හා දුෂ්කර කටයුත්තක් වීමට හේතු වී ඇත.

මීට සාර්ථක විසඳුමක් වශයෙන් ආචාර්ය අනුර රත්නායක විසින් නිර්මාණය කර ඇත්තේ නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථයකි. (RFID THREAD). එය ඇඳුමක් නිෂ්පාදනය කරන අවස්ථාවේ දී ඇඳුම තුළට ඇතුළත් කරයි. මෙහි ඇති සුවිශේෂී ගුණාංගය වන්නේ එය සේදීම හා මැදීම වැනි ක්‍රියාවලින් විනාශ නොවීමයි. එය ඉතා සියුම් නිසා සහ එය පවතින ස්ථානය පවා ඇඳුම භාවිත කරන්නාට නොදැනෙන නිසා පාරිභෝගිකයාට ලේබල්වලින් දැනෙන අපහසුව මෙමගින් ඇති නොවේ.

රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය

ඉලෙක්ට්‍රොනික පරිපථය
නූලක ආකාර ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික පරිපථය සොයා ගත් අපේ විද්‍යාඥයා

දැනට ලෝකයේ රෙදිපිළි කර්මාන්තයේ දත්ත කළමනාකරණය සඳහා වඩාත් ජනප්‍රිය ක්‍රමය වුයේ බාර්කොර්ඩ් සංකේත ක්‍රමයයි. එමගින් තොරතුරු ලබා ගත හැක්කේ වරකට එක ඇඳුමක් බැගින් පමණි.

එහෙත් ආචාර්ය අනුර රත්නායක සොයා ගෙන ඇති මෙම නව තාක්ෂණය හරහා තෝරාගත් ඇඳුම්, බෑගයේ තිබියදීම අයකැමි වෙතට ළං වන විටම තත්පරයකටත් අඩු කාලයක දී සියලු ඇඳුම් ස්කෑන් වන අතර security tags භාවිත කිරීම ද අවශ්‍ය නොවේ. මෙම තාක්ෂණයේ දී වයර් රහිත රේඩියෝ තරංග භාවිත කරන නිසා කන්ටේනර් තුළ තිබියදීම වුව ද තත්පර කිහිපයකින් ඇඳුම් අති විශාල සංඛ්‍යාවක් ගණනය කිරීමට හැකියාව ඇත. එසේම මෙමගින් විශාල පරිමාණයේ ගබඩා කළමනාකරණය ඉතා පහසු වන අතර නිෂ්පාදකයාගේ පටන් පාරිභෝගිකයා දක්වා සමස්ත පද්ධතියටම දැවන්ත මූල්‍යමය ප්‍රතිලාභ හිමි වනවා මෙන්ම ඇඳුම් ප්‍රතිචක්‍රීකරණ ද අඩු වියදමකින් කිරීමට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම දැවැන්ත සමාගම් විසින් වරකට විශාල නිෂ්පාදන (RFID Threads) ප්‍රමාණයක් ඉල්ලුම් කරන බැවින් ඒ සඳහා විශාල ප්‍රමාණයේ මූල්‍ය ආයෝජනයක් කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කෙසේ වෙතත් විදේශ රටවලින් මෙම තාක්ෂණය මිල දී ගැනීම සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන අතර අන්තර්ජාතික RFID tags නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබල ඇමෙරිකානු සමාගමක්, කටාර් රාජ්‍යයේ ආයෝජකයෙක්, ඉන්දියාවේ සහ චීනයේ ආයෝජකයන් අමෙරිකන් ඩොලර් මිලියන 35කට අධික මුදල් ප්‍රමාණයක් පිරිනමමින් මෙම තාක්ෂණය එම රටවලට රැගෙන යෑමට උත්සාහ කර ඇත.

දැඩි කැපවීම් කරමින් ඔහු සොයාගත් මෙම තාක්ෂණය කෙසේ හෝ ලක්මවට දායාද කරන්නට ඔහුට සිත පහළ වීම ජාතියේ වාසනාවකි. මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවට දයාද කිරීම හරහා රැකියා දහස් ගණනක් බිහිවනවා පමණක් නොව විශාල වශයෙන් විදේශ විනිමයක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බව පැහැදිලි කරුණකි.

පුරා තිස් වසරක් කුරිරු ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබූ වැලිඔය ප්‍රදේශයේ නිකවැව නම් වූ දුෂ්කර ගම්මානයේ උපත ලැබූ ආචාර්ය රත්නායක මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය ලබා 2004 වර්ෂයේ දී එංගලන්තයට ගිය අතර එංගලන්තයේ බෝල්ටන් විශ්වවිද්‍යාලය මගින් විද්‍යාපති ඉංජිනේරු උපාධිය ලබාගත්තේ ය. 2016 වර්ෂයේ එංගලන්තයේ නොටිංහැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලය මඟින් නව පර්යේෂණ සම්බන්ධ පශ්චාත් උපාධිය හා අධිතාක්ෂණ රෙදිපිළි පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

රැකියා දහස් ගණනක් සහ සුවිශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාව තුළට ගෙන ආ හැකි මෙම නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරන මේ අපේ විද්‍යාඥයාට සහයෝගය ලබා දීමට මේ වන විට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම් – කර්මාන්ත අමාත්‍යාංශය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *