මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගන්න කටයුතු කරනවා – අගමැති

0
මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගන්න කටයුතු කරනවා – අගමැති

මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගන්න කටයුතු කරනවා – අගමැති

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගැටලුවලට සවන් දීමට අවශ්‍ය ඕනෑම මොහොතක සූදානම් බවත්, තීන්දු තීරණවලට එළඹිය යුත්තේ සියලු අංශ සමඟ සාකච්ඡා කොට, පුළුල් අධීක්ෂණයකින් අනතුරුව බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ (18)වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නියෝජිතයින් අමතමිනි. මේ වන විට දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමටත්, ශක්‍යතා අධ්‍යයනයකින් පසුව සුදුසු කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැමිණ සිටි සිසුන් හමුවේ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද ප්‍රකාශ කළාය.

අවුරුදු ගණකට පස්සෙ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා අයවැයෙන් මුදල් වෙන් වෙලා තියෙන්නෙ. මීට පෙර 60% ක පැවති උසස් අධ්‍යාපන අංශයේ අයවැය ප්‍රගතිය 2025 දී 80% දක්වා වර්ධනය කරන්න අපි සමත්වුණා. ඒ ශිෂ්‍යයන්ගෙ හඬට ඇහුකම් දීමේ සහ රජයක් ලෙස ශිෂ්‍ය සුබසාධන ගැටලුවලට මැදිහත්වීමේ ප්‍රතිඵලයි. මල්වාන ඉඩමත් විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගෙන, ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර අනතුරුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගන්න අපි කටයුතු කරනවා.

මෙහිදී දැනට සිදුකරමින් පවතින ශිෂ්‍ය නේවාසිකාර ව්‍යාපෘතිවල ප්‍රගතියද, නව පීඨ සංකීර්ණ ඉදි කිරීම ඇතුළු නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම ආදී ඉදිරි යෝජනා පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය සහ ශිෂ්‍ය නියෝජිතයින් අතර සාකච්ඡා සිදු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com