“නරක් වූ ‘සැමන්’ ටින් සැඟවූයේ වෙළෙඳපොළට මුදා හැරීමටද?” – පරිසර සංවිධාන

ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබූ, ප්‍රමිතියෙන් තොර ටින් මාළු (සැමන් ටින්) කන්ටේනර් දෙකක් හලාවත රජයේ වත්තකට ගෙනවිත් ගොඩබෑවේ ඒවා රහසිගතව වෙළෙඳපොළට මුදා හැරීමට දැයි පරිසර සංවිධාන ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලමින් ‘වයඹ හඬ’ සහ ‘හරිත පරපුර’ යන පරිසර සංවිධාන දෙක හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

රේගුවේ සිට ගෙන ආ ටින් මාළු කන්ටේනර් පසුගිය සිකුරාදා (ඔක් 16) ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් හලාවත මාටින් ගොවිපොළ වෙත ගොඩ බෑමත් සමග ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පැතිර යාම හේතුවෙන් ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව පොලිසියට හා ආරච්චිකට්ටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දුන්හ.

ටින් මාළු තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද බව ඇසුරුම් වල සඳහන් වන අතර නිෂ්පාදිත දිනය ලෙස සටහන් වන්නේ 2013 ජුලි මස 10 වන දිනය. ඇසුරුමේ කල් ඉකුත් වන දිනය ලෙස සටහන් වන්නේ 2016 ජුලි මස 10 වන දිනය.

තත්ත්ව සහතිකය නොමැති වීම හේතුවෙන් වසර හයකට ආසන්න කාලයක් මේ ටින් මාළු රේගු භාරයේ තිබී ඇති බව එම කන්ටේනර් භාරව පැමිණි රේගු නිලධාරීහු පැවසූහ.

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් හලාවත මාටින් ගොවිපොලේ පාලනාධිකාරිය රේගුවෙන් කල් ඉකුත්වූ ආහාර ඉල්ලා ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් මෙම ටින් මාළු සහිත කන්ටේනර් දෙකක් අදාළ ගොවිපොලට එවා තිබේ.

‘සත්ත්ව ආහාර සඳහා’

ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ ටින් මාළු තොගයෙන් වැඩි ප්‍රමාණයක් සිකුරාදා පස්වරුව වන විට වල දැමීමට අදාළ ආයතන විසින් පියවර ගෙන තිබිණි. ඒ සඳහා කිසිදු ආයතනයක අවසරය ගෙන නොතිබූ අතර, ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව නැවත හලාවත පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කළහ.

පසුගිය 17 වෙනි දින ප්‍රදේශයේ පරිසර සංවිධාන නියෝජිතයන් අදාළ ස්ථානයේ කළ පරික්ෂාවේදී විනාශ නොකළ ටින් මාළු තොගයක් මේ ගොවිපොළේදී දැක තිබේ. ඒ පිළිබඳව කළ විමසීමේදී ගොවිපොළේ පාලනාධිකාරිය ප්‍රකාශ කළේ ඒවා සත්ත්ව ආහාර වශයෙන් ගැනීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ගබඩා කළ බවය. එම ටින් මාළු තොගය පිහිටි ස්ථානයෙන්ද දුගඳක් හැමූ බව වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් පැවසීය.

“අපි පරීක්ෂා කළා මේ සැමන් තොගයෙන් වැඩි කොටසක් සත්ත්ව ආහාර වශයෙන් භාවිතා කරන්නවත් සුදුසු නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් තිබුණා කල් ඉකුත් වුවත් හොඳ තත්ත්වයේ. මේ සැමන් පිටුපස ගබඩාවක තමයි සඟවලා තිබුණේ. අපිට සැකයක් තියනවා මේ සැමන් වෙළෙඳපොලට මුදා හරී ද කියලා. මේ සැමන් මුල් අවස්ථාවේ වෙළෙඳපොලට මුදා නොහැරියේ තත්ත්ව සහතිකය නොමැති නිසා කියලයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ. එසේ නම් මේ සැමන් ආපසු හරවා යවන්න ඕනෑ. වසර ගණනක් මේ සැමන් රේගුවේ තබා ගෙන ඉඳලා විශාල පරිසර හානියක් සිදුකරන තත්ත්වයට මේ සැමන් පත් කරලා, දැඩි පරිසර සංවේදී ප්‍රදේශවලට ගෙනවිත් දැමීම කෙතරම් යෝගයද කියලා විමසිය යුතුයි . මේ ස්ථානයට ඉතා ආසන්නයේ තමයි දැදුරුඔය හා ලුණු ඔය තියෙන්නේ.”

පුත්තලමේ පරිසරය විනාශය

“මාස කීපයක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම පරිසර විනාශය වෙලා තියෙන්නේ පුත්තලමේ,” යයි වයඹ හඬ පරිසර සංවිධානයේ සභාපති පූජ්‍ය විල්පොත පේමානන්ද හිමියෝ පවසති.

“ආනවිලුන්දාවේ අභය භුමිය ඩෝසර් කිරීම, කල්පිටියේ කඩොලාන විනාශ කිරීම, වනාතවිල්ලුවේ ගස් කැපීම හා ගිනි තැබීම, අඹකදවිල කඩොලාන විනාශය, මදුරන්කුලියේ කලපුව ඇල්ලීම්, මාදම්පේ වැලි කැපිල්ල, ආඩිගම බොරළු කැපීම් මේ වගේ තවත් ඕනෑ තරම් කියන්න පුළුවන්,” යැයිද පේමානන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

“කොහොමත් පුත්තලම දිස්ත්‍රික්කය ගත්තම ලංකාවේ කුණු බක්කිය වෙලා තමයි තිබුණේ. අපිට දැන් තිබෙන බය තමයි පිට රට කුණුත් පුත්තලමට ගේන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා. ආණ්ඩුව අරුවක්කාරු කුණු අංගනය හැදුවේ මේවට තමයි. ඉදිරියට පිටරට කුණු සැමන් නෙමෙයි, තව තව දේවලුත් ගෙනෙයි. ඒ නිසා අපි මේ පිළිබඳව විධිමත්ව සොයා බලන්න කියලා හලාවත පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.”

රජයේ ප්‍රතිචාරය

කල් ඉකුත්වූ බව පැවසෙන සැමන් කන්ටේනර් 25 ක් දේශීය වෙළෙඳපොළට මුදා හැර ඇතැයි යන්න පසුගිය දින කිහිපයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් විය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිහිපයක ද මේ ආන්දෝලනාත්මක පුවත ප්‍රචාරය වූ අතර ඒ සමග ක්‍රියාත්මක වූ වෙළෙඳ අමාත්‍යාංශය මේ පුවත නිවැරදි කරමින් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබිණි.

එහිදී වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කළේ කිසිසේත් මෙම ටින් මාළු වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. ආනයනික ටින් මාළු පරික්ෂා කර බලා නුසුදුසු තත්ත්වයේ ඇති තොග ප්‍රති අපනයනය කරන තෙක් රේගුව භාරයේ ඇති බවත් ඇය පැවසීය. කිසිසේත් මේ ටින් මාළු තොග රට තුළ බෙදා හැරීමට කටයුතු නොකරන බවද ඇය පැවසුවාය.

පසුගියදා රේගු නිලධාරීන්ගේ භාරකාරීත්වය ඇතිව හලාවතට ගෙන ආවේ එම ටින් මාළු තොගයෙන් කොටසක් නොවන බව රේගුව ප්‍රකාශ කළත් නුසුදුසු තත්ත්වයේ ටින් මාළු ප්‍රති අපනයනය කරන බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි. එවැනි තත්ත්වයක් තුළ හලාවතට ටින් මාළු කන්ටේනර් දෙකක් පැමිණියේ කෙසේදැයි හලාවත ප්‍රදේශවාසිහු ප්‍රශ්ණ කරති.

මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ද විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව සභාපති කන්දසාමි චෙච්චනාමුර්ති පවසයි. සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව තම බල ප්‍රදේශයේ කිසිදු වගකිවයුතු කිසිදු ආයතනයකට දැනුම් දී නොතිබූ බවය.

එසේම මේ ආයතනය මිට පෙර ද මෙලෙස කල් ඉකුත්වූ ආහාර මේ ස්ථානයට රැගෙන විත් තිබෙන බව වාර්තා වූ බව ඔහු පැවසීය.

‘මරණයට පවා පත්විය හැකියි’

පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආහාරයට ගැනීමෙන් මරණයට පවා පත් විය හැකි බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ: “මත්ස්‍ය ආහාර කල් තබා ගැනීම සදහා යොදා ගන්නේ සෝඩියම් නයිට්‍රයිට් වැනි රසායනික ද්‍රාවණයි. එම රසායනික ද්‍රාවණ වල සිදු වන යම් යම් ප්‍රතික්‍රියා නිසා රසායනික වෙනස්කම් සිදු විය හැකියි. ටින් මාළු බහාලුමේ ආලේප කරලා තියෙන්නේ සින්ක් කැඩ්මියම් මිශ්‍රිත ආලේපයක්. ද්‍රාවණ වල සිදු වන ප්‍රතික්‍රියා නිසා මෙම ලෝහ බහාලුම කඩතොලු විය හැකියි. ඒ නිසා මෙම ලෝහ අහාරයට එකතු වීමෙන් සෘජුවම ආහාර විෂ වීමක් සිදු විය හැකියි. මේ නිසා මරණය දක්වා රෝග ලක්ෂණ වගේම පිළිකා කාරක තත්ත්ව වැනි දීර්ඝකාලීන ආසාදනද ඇති විය හැකියි. ටින් මාළු කල් ඉකුත් වීමත් සමග විවිධ රසායනික වෙනස්කම් නිසා බහාලුම පිම්බීම වැනි ලක්ෂණ දැක ගන්න පුලුවන්. කල් ඉකුත් වූ ටින් සැමන් ආහාරයට ගැනීම කිසිසේත් සුදුසු නැහැ.”

ශ්‍රි ලංකාවේ මිනිස් පරිභෝජනයට යොදා ගන්නා ආහාර, සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැහැදිලි කළේය.

“මෙම ටින් මාළු සත්ත්ව ආහාර සදහා යොදා ගැනීමට නම් සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සාම්පලයක් යැවිය යුතුයි. එහීදී ඔවුන් මේවා සත්ත්ව ආහාර සදහා සුදුසුද යන්න නිර්දේශ කළහොත් ඒ සදහා යොදා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ මිනිස් පරිභෝජනයට ගන්නා ආහාරයක් සත්ත්ව අහාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගෙන් ලිඛිත අනුමැතියක් ලබා ගත යුතුයි,” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

“1980 අංක 26 දරණ ආහාර පනත යටතේ නීත්‍යනුකූල අනුමැතියක් නොමැතිව මිනිස් පරිභෝජනයට ගන්නා ආහාරයක් සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබා ගැනීම සහ විකිණීම කළ නොහැකියි,” උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය.

– bbc news

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *