රුපියල් 84,000ක දඩය ගැන ‘බිං චුන් ශ්‍රී ලංකා’ ආයතනයෙන් නිල නිවේදනයක්!
නියමිත ආහාර ප්‍රමිතීන්ට අනුකූල නොවන අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28ක් සම්බන්ධයෙන් සමාගමට රුපියල් 84,000ක දඩයක් නියම වූ අධිකරණ නඩුව පිළිබඳ තත්ත්වය පැහැදිලි කරමින් බිං චුන් ශ්‍රී ලංකා (Bing Chun Sri Lanka) ආයතනය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ගොනු කළ චෝදනා 28කට සමාගම වරද පිළිගැනීමෙන් පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩය නියම කරන ලදී.
පරීක්ෂණ අතරතුර ලබාගත් සාම්පල කොළඹ මහ නගර සභාවේ රසායනාගාරය මගින් පරීක්ෂා කර ඇති අතර, එම අයිස්ක්‍රීම් නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බව එහිදී අනාවරණය වී තිබේ.
මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් බිං චුන් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කළේ, එම රසායනාගාර සොයාගැනීම් විශේෂයෙන්ම වැනිලා සහ චොකලට් අයිස්ක්‍රීම් ලෙස අලෙවි කරන ලද නිෂ්පාදන දෙකක මේද ප්‍රමාණය (fat content) සහ සම්පූර්ණ ඝන ද්‍රව්‍ය (total solids) සම්බන්ධයෙන් පමණක් අදාළ වූවක් බවයි.
අදාළ නිෂ්පාදන අපවිත්‍ර වී ඇති බවට, විෂ සහිත බවට, සෞඛ්‍යයට අහිතකර බවට හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට රසායනාගාර වාර්තා මගින් නිශ්චිතවම නිගමනය කර නොමැති බව සමාගම අවධාරණය කළේය.
”නිෂ්පාදනයක් නියමිත සංයුති ප්‍රමිතීන්ට අනුකූල වීම සහ නිෂ්පාදනයක් අනාරක්ෂිත හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තීරණය කිරීම අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වේ,” යනුවෙන් එම සමාගම පැවසීය.
ශ්‍රී ලංකාවේ ආහාර රෙගුලාසිවලට අනුකූල වීමේ වැදගත්කම පිළිගත් බිං චුන් ආයතනය, අධිකරණ ක්‍රියාවලියට සහ අධිකරණ තීන්දුවලට ගරු කරන බව සඳහන් කළේය.
අදාළ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම තහවුරු කිරීම සඳහා නිෂ්පාදන වට්ටෝරු, ගුණාත්මක පිරිවිතර සහ විස්තර සමාලෝචනය කරමින් සිටින බව සමාගම නිවේදනය කළේය.
සුදුසු පරීක්ෂණ ක්‍රියාපටිපාටි හරහා තවදුරටත් නිෂ්පාදන ඇගයීම් සිදු කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින අතර, සිය මෙහෙයුම් පුරාවටම අභ්‍යන්තර අධීක්ෂණ සහ තත්ත්ව සහතික කිරීමේ පියවර ශක්තිමත් කරන බව ද එමගින් පැවසීය.
සංයුති ප්‍රමිතීන්ට අනුකූල නොවීම, නිෂ්පාදනයක් මිනිස් සෞඛ්‍යයට අනතුරක් සිදු කරන බවට වන ස්වයංක්‍රීය සාක්ෂියක් ලෙස අර්ථකථනය කිරීමෙන් වළකින ලෙස බිං චුන් ආයතනය මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සිය කීර්ති නාමයට හානි කළ හැකි අසත්‍ය, නොමඟ යවන සුළු හෝ අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අයිතිය තමන් සතු බව ද සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමෙන් ඇති වූ කනස්සල්ල පිළිබඳව බිං චුන් ශ්‍රී ලංකා ආයතනය කනගාටුව පළ කළ අතර, දේශීය රෙගුලාසිවලට අනුකූල වීමට සහ පාරිභෝගික විශ්වාසය පවත්වා ගැනීමට ඇති සිය කැපවීම යළිත් තහවුරු කළේය.
