හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනසක් – කොමිසමේදී අනාවරණයක්

ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙරයි; ශ්‍රීලනිපය ජාතික සභාවට නෑ

ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙරයි; ශ්‍රීලනිපය ජාතික සභාවට නෑ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව හමුදා බුද්ධි නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට එවකට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ඊයේ දිනයේ (14) ප්‍රකාශ කළේය.

ඔහු එම අනාවරණය කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

යුද්ධ හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික බලලත් නිලධාරි, ඩිලංජන් උපසේන මහතා කළ කරුණු දැක්වීමකට අදාළව සාක්ෂි විමසීමට හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ඊයේ දිනයේ (14) ජනාධිපති කොමිසමට කැඳවා තිබිණි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ඩිලංජන් උපසේන මහතාව 2015 සැප්තැම්බර් 08 වන දින සිට දින 90 කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගැනීමට අවසර දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇති ලිපියක් කොමිසම මෙහිදී උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අවධානයට යොමු කළේය.

ඔහු සඳහන් කළේ, එම ලේඛනයට යොදා ඇති අත්සනෙහි බැලූ බැල්මට වෙනස්කම් දක්නට ලැබෙන බවය.

2018 ජූලී 06 වැනිදා සිට 2019 නොවැම්බර් 19 වැනිදා දක්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත්, එම කාලයේදී ලේඛන දහස් ගණනකට ජනාධිපතිවරයා අත්සන් කර ඇති නමුත් එම අත්සන් සමග සසඳන විට අදාළ අත්සනෙහී බොහෝ වෙනස්කම් නිරීක්ෂණය වන බවත් උදය ආර්. සෙනෙවිරත්න මහතා එහිදී පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යායතනය පිහිටුවීමට අදාළව 2016 ඔක්තොබර් 03 වන දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන සහිත කැබිනට් පත්‍රිකාවක් ද කොමිසම සාක්ෂිකරුගේ අවධානයට යොමු කළේය.

එම අත්සන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බව උදය ආර්. සෙනෙවිරත්න මහතා තහවුරු කළ අතර පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම අවසන් බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

– මව්බිම

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *