යහපාලන සමයේ විදුලියෙන් බිලියන 181.5ක පාඩුවක් – ඩලස් අලහප්පෙරුම

සෑම දිස්ත්‍රික්කයකටම කසල වලින් විදුලිය නිපදවීමේ බලාගාරයක්

සෑම දිස්ත්‍රික්කයකටම කසල වලින් විදුලිය නිපදවීමේ බලාගාරයක්

පසුගිය ආණ්ඩුව පැවැති වසර 2015 සිට 2019 දක්වා කාලයේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 181.5ක අලාභයක් ලබා ඇති බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දිගු කාලීන විදුලි ජනන සැලැස්මට වසර 2013න් පසුව කිසිදු විදුලි බලාගාරයක් එක් නොකිරීම, ඩීසල් මත පදනම්ව විදුලිය නිෂ්පාදනය යනාදි කරුණු හේතුවෙන් මෙම අලාභය පසුගිය රජය ලබා ඇති බවත්, පසුගිය රජය කාලයේ ජාතික විදුලිය ජනනයෙන් ඩීසල් මත පදනම්ව නිපද වූ සියයට 32ක් වන විදුලිය ජනනය වසර 2025 වන විට සියයට 5 දක්වා වත්මන් රජය යටතේ අඩු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය. වසර 2019 දි ඩීසල් මත පදනම්ව විදුලිය ජනනයට රුපියල් බිලියන 100ක් වැය කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.

වසර 2013 දි මහින්ද රාජපක්ෂ මහතා ජාතික විදුලිබල පද්ධතියට ලක්විජය නොරොච්චෝලේ මෙගාවොට් 600 ක විදුලි බලාගාරය එක් කිරීමෙන් පසුව පසුගිය වසර හතක කාලයකදී කිසිදු බලාගාරයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර නැතැයි ද ඇමැතිවරයා පැවැසීය.

විදුලි ජනන පද්ධතියෙන් බාහිරව වෙන වෙන ව්‍යාපෘති කිරීමත්, වසර 2013න් පසුව පසුගිය වසර හතක කාලය තුළ විදුලි බිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමත්, විදුලි ඒකක පාඩුව ක්‍රම ක්‍රමයෙන් වාර්ෂිකව ඉහළ යාමත් යනාදී කරුණුවල බලපෑම මත ලංකා විදුලි බල මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය. විදුලිය ගමන් කරන මාර්ගවල අතු කැපීම, විසන්ධි කර ඇති විදුලිය සම්බන්ධතාව නැවත ලබාදීම යනාදී කටයුතු සඳහා බාහිරව පැවරීම පසුගිය ආණ්ඩුව යටතේ සිදු කර ඇති අතර එවැනි කටයුතු සිදු කිරීම බාහිරට පවරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ 16,000 ක් වූ සේවකයන් සංඛ්‍යාව 26,000ක් දක්වා ඉහළ නැංවීමට ද කටයුතු කර ඇති බවද ඇමැතිවරයා කීය.

සූර්ය බලයෙන් නිපද වූ ඒකකයක් සඳහා රුපියල් 23.10 ක මුදලක් පසුගිය ආණ්ඩුව යටතේ ගෙවීම සිදු කළද, සෞභාග්‍යයේ ප්‍රතිපත්තිය දැක්ම යටතේ එම මුදල රුපියල් 10ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ද ඇමැතිවරයා කියා සිටියේය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ප්‍රධාන විදුලි බලාගාර සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා බවත් ස්වාභාවික බලශක්ති භාවිතා කරමින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය ජනනය කිරීම ඉතා ඉක්මණින් ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *