මාසයක් නිරෝධායනය වෙන්න සංචාරකයන් එන්නේ නෑ – වසංගත රෝග විද්‍යා අධ්‍යක්‍ෂ

සංචාරකයන්

සංචාරකයන්

සංචාරකයින් වෙනුවෙන් ගුවන් තොටුපළ විවෘත කිරීමේ ආරක්ෂිත ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලය ඇතුළු බලධාරීන් හා සෞඛ්‍ය අංශ එක්ව අධ්‍යයනය කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

සංචාරකයින්ට ගුවන් තොටුපළ විවෘත කරන්නේ නම් ඔවුන් දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථානයකදීත්, තවත් දින 14ක් ස්වයං නිරෝධායනයටත් යොමුකිරීම ප්‍රායෝගික නැතැයි කී විශේෂඥ වෛද්‍යවරයා මසකට ආසන්න කාලයක් නිරෝධායනයේ යෙදීමට සංචාරකයින් පැමිණෙන්නේ නැතැයි ද සඳහන් කළේය.
එබැවින් ඒ වෙනුවෙන් වෙනත් සුදුසු හා රටේ ආරක්ෂාව තහවුරු වන ක්‍රමවේදයක් ඇතිකළ යුතු බව ද සුදත් සමරවීර මහතා කීවේය. මේ සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලය, ගුවන් තොටුපල අධිකාරිය, යුද හමුදාව හා සෞඛ්‍ය අංශ එක්ව සුදුසු ක්‍රමවේදයක් අධ්‍යයනය කරමින් සිටින බව ද හෙතෙම පැවසීය. ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී මේ මස 15 දින පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, විදෙස් දූත මණ්ඩල හා ඔවුන්ගේ ඥාතීන්, මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් පැමිණෙන තාක්‍ෂණ නිලධාරීන් හා සේවකයන් ගුවන් මගින් මෙරටට ගෙන්වීම මේ වන විටත් සිදුවන බව කී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂවරයා සංචාරකයින් ගෙන්වීමට වඩා මුල්තැන ලබාදිය යුත්තේ දැනට විදේශයන් හි අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට බව ද කීවේය. විදේශයන්හි සිටින පිරිස් ගෙන්වන්නේ ද පී.සී.ආර් පරීක්‍ෂණ කළ හැකි ධාරිතාවය, නිරෝධායන පහසුකම්, රෝහල්වල පවතින ඉඩකඩ ආදිය සළකා බලමින් බව ද හෙතෙම සඳහන් කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *